ජාතික හොරකම හා මාතෘ භූමිය.
Posted on December 9th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

හොරකම. වංචාව හා දූෂණය, සම්බන්ධව කථා කිරීම, කාලාන්තරයක් පුරා අඛණ්ඩව මෙරට සියලු වේදිකා දෙදරවමින් කතාකල මාතෘකාවකි. හොරකමට විරුද්ධව, වේදිකා දෙදරවූ පල් හොරුන්ද, එම පල් හොරුන්ට එරෙහිව උස් හඩින් කථා කල හොරුන්ද, මෙරට සුලභය. කොටින්ම කිවොත් මේ මුළු රටම හොර ගුබ්බෑයමක් කීවද වරදක් නැත.

මෙම මිනිස් සමාජය, ජාත්‍යන්තරව හා ජාතිකව බොරුව,සොරකම්, දූෂණයන් හා වංචාවන් ගෙන් සමන්විත යාන්ත්‍රණයක් හා බද්ධව කටයුතු කරමින් සිටී. මේ හේතුවෙන් මෙරට ජනතාවගෙන් විශාල සංඛ්‍යාවක් කුමන ආකාරයක හෝ හොරකමකට දූෂණයකට වංචාවකට බද්ධව ක්‍රියා කිරීමට පුරුදුව සිටි. තමන් කැමති වුවද, අකමැති වුවද. මෙය අනිවාර්යෙන්ම ඔවුන් කල යුතුවේ. මෙය මුලු සමාජයම සසල කරවන ප්‍රකාශයකි. නමුත් සත්‍යය එයයි.

මිනිස්සු මොනවද හොරකම් කරන්නේ කියලා ප්රශ්න කරනවාට වඩා, මිනිසුන් මොනවද හොරකම් නොකරන්නේ යයි ප්රශ්න කිරීම ඉතා වැඩදායකය.. කවුද හොරකම් කරන්නේ යයි ප්රශ්න කරනවාට වඩා, කවුද හොරකම් නොකරන්නේ යයි ඇසීම පහසුය. හොරකම සමාජයේ සෑම තැනකම එලිපිට සිදුවෙන තත්වයක් තුල ඒවා නොදකින්නා සේ‌ සිටින අපම, අපට ඉලක්කයක් ඇවැසි විට, ඒ ඉලක්ක ගත පුද්ගලයාට ඇගිලි දිගු කරමින් හොරකමේ චෝදනාව සමග ඉදරියට කඩා පනී.

මිනිසා නිපදවන දෑට වඩා සොරකම් කරන දෑ අති විශාලය. මිනිසාගේ උපතේදීම තම මෙලොව පැවැත්ම සදහා පලමුව ලබාගන්නේ ඔක්සිජන් වායුවයි. අප අවට වාතයේ නිදහස්ව ඕනෑම ජීවියකුට ලබාගත හැකි ආකාරයකට මෙම වායුව නිදහස්ව විසිරී, පැතිරී පවතී. මෙම වායුව කිසිවෙකුගේවත් පෞද්ගලික බූදලයක් නොවේ. නමුත් මෙය අද තමන්ගේ පෞද්ගලික බූදලයක් කරගත් මහා ව්‍යාපාරයක් ලෝකය පුරාම පවතී. මේ ලෝකයේ ඔක්සිජන් නිශ්පාදනය කරන සැබෑ යාන්ත්‍රණය ගොඩනැංවීමට හැක්කේ ස්වභාව ධර්මයට පමණි. එම කාර්යය සිදු කරන්නේ, හරිත ශාක ප්‍රජාවයි. මෙම ප්‍රජාවන් ඔක්සිජන් නිශ්පාදනය කරනුයේ, ඔක්සිජන් සිලින්ඩර් ගත කරන කර්මාන්ත ශාලා හිමියා සදහා නොවේ. නමුත් ලෝකයේ ජීවීන්ගේ පැවත්ම උදෙසා ඔබේ, මගේ හා අන් ජන කොටස් වලට අයත් හරිත ශාක ප්‍රජාවන් නිපදවන අපට නොපෙනෙන ඒ ඔක්සිජන් වායුව,  කර්මාන්ත ශාලා හිමියා එකතු කර සිලින්ඩර් ගත කර අපට විකුණයි. මේ හොරකමට නීත්යාණුකූල භාවයක් ලබාදී ඇත. මෙම කර්මාන්ත ශාලාව නිපදවන ඔක්සිජන් වායුවක් නැත. ලෝකයේ කොතනක කලද, ඔවුන් කරනුයේ, අප උදෙසා ශාක ප්‍රජාව නිශ්පාදනය කරන ඔක්සිජන් සොරා ගැනීමයි. සමාජය මෙය සොරකමක් සේ දැකීමට මැලිකමක් දක්වයි. කිසිදු පරිසරවේදී සංවිධානයක් මෙම ක්‍රියාවලිය මහා පරිසර දූෂණයක්සේද නොදකියි. නමුත් මෙය ලෝකය තුල සිදුවෙන බලවත් හොරකමකි. පරිසර දූෂණයකි.

ඒ උපත ලද බිළිදාට උරුම කිරි වලට මොකද වෙන්නේ? ඇයි බිලිදාට පිටි කිරි බොන්න වෙන්නේ? කවුද ඒ දරුවාගේ මව්කිරි සොරා ගන්නේ? කිසිවෙකුටත් ඒ සම්බන්ධව සෙවීමට කිසිදු‌ු උවමනාවක් නැත. කිරිපිටි වෙලෙන්දා වෙනුවෙන් ලක්ෂ ගනනක දරුවනගේ උරුමය සමාජය විනාශකර ඇත. ඒ උරුමය සොරාගත් හොරා කවුද?  මේ බිළිදා මව් කුස පිලිසිද ගත්දා සිටම ස්වභාවය, මවගේ ශරීරය බිළිදාට අවශ්‍ය ආහාර සම්පාදනය කිරීම සදහා සකසයි. ඔහුට උරුම ආහාර වේල වන මව් කිරි ලබා ගැනීමට තරම්, වාසනාවන්ත වන්නේ මෙරට දරුවන් කීදෙනෙක්ද? විශේෂයෙන් බිළිදාගේ උපතේ සිට මව් කිරි ලබාදීම සදහා මවට නිවාඩු ලබා දෙන රටක, එම රට අපේක්ෂා කරන ආකාරයට එම බිළිදාට මව්කිරි සැපයීමට සූදානම් නැත්තේ කවුද? මව හා බිලිදා අතර තිබිය යුතු බන්ධනයට වඩා, මේ මව හා සිය රැකියා ස්ථානය අතර බන්ධනය බලවත් වන්නේ කෙසේද? ස්වභාවයේ අවශ්‍යතාව බිඳ දමන ඒ සොරා කවුද?

මේ සමාජය තුල ලමා හොරුන්ද සිටින තත්වයක් තුල ඔවුන්ගෙන්ද ගැලවී්ගත ලමයා තම අධ්‍යාපන කටයුතු වලට සුදුසු පාසලක් සෙවීමේ ඉලක්කය වෙත ලගා වෙන විට, මුලු රටේම ලක්ෂ තුනක දරුවන් සංඛ්යාවක් පාසල් වලට ඇතුලත් වීමේ සටනට පිවිසේ. සෑම දරුවෙකුටම මේ කටයුත්තේදී අවම වශයෙන් රුපියල් 1000ක් වත් සන්තෝෂමක් වශයෙන් වැය කිීරීමට සිදුවේ. මේ අනුව සමාජයේ විවිධ සථානවලදී වාරෂිකව දෙමව්පියන්ගෙන් අවම වශයෙන් ලක්ෂ 3000ක මුදලක් පැහැදිලිවම සොරාගනී. එසේ සිදුකොට, එම දරුවාව පාසලට ඇතුලත් කර ගැනීමේ කඩඉමක් කරා ලගාවේ. මෙම කඩඉම අපූරු රංගනයන් ගෙන් යුක්තය. බොරුව සත්‍යය සේ පෙන්වීමට සමහර දෙමව්පියන්ට සිදුවේ. සත්‍ය බොරුව බවට පත්කර ළමයින්ව කපා දැමීමට විදුහල්පතිවරුද සුදානම්ව සිටි. ඒ මුදල් උදෙසාය. එවන් විදුහල්පති වරුන් අතට, රටේ අනාගතය මෙහෙය වීමට සූදානම් කරන දරුවාගේ වගකීම බාරදේ.

පාසලට ඇතුලත් වූ දරුවාට පාසල තුලදී ප්‍රමුකත්වයක් ලබා ගැනීම උදෙසා සමහර දෙමව්පිය පරපුර, පන්තිය භාර ගුරුතුමාට හෝ ගුරුතුමියට ලගාවන්නේ විවිධ භාණ්ඩ අල්ලස් වශයෙන් ලබාදීමෙනි. එසේ  අල්ලස් ලබාගත් ගුරුවරයා, නිසි ලෙස තම සමාජ වගකීම ඉටු නොකර අමතර පංති මගින් එම දරුවන්වම ගසා කන සමාජයක් අපට උරුමව තිබේ. මෙවන් මිනිසුන්ගෙන් පිරුණ සමාජයක් තුල මහා තරගයක් කර විභාගයට ඉදිරිපත් වන දරුවාගේ ඒ විභාග උත්තර පත්‍රය ඇපයට තබාගෙන, ඒවා පරීක්ෂා කිරීමට නම් අපගේ මේ මේ ඉල්ලීම් ලබාදිය යුතුයයි මොර දෙන ගුරු පරපුරක් වසන හා එසේ කිරීම සාධාරණයයි දකින මිනිසුන්ගෙන් සමන්විත ගුරු වෘත්තීය සමිතිද, ඇති සමාජයක්, මේ අසරණ දරුවන්ට උරුමව ඇත. විභාගය සමත් වන හා නොවන දරුවන් වශයෙන් තරුණයින් කණ්ඩායම් දෙකක්, සමාජයට උරුමවීමත් සමගම මොවුන්, අති ප්‍රබල සමාජ ගැටලු රැසකට මුහුණදීම අරඹයි.

මේ සෑම අභියෝගයකටම මුහුණ දී විභාග සමත් වී හෝ නොවී රැකියා ලබා ගන්නා හෝ දේශපාලඥයින් බවට පත්වෙන තරුණයා හෝ තරුණිය දකින්නේ තමා ආ මග දිගටම තමාව තලා පෙලා සූරා කෑ සමාජයක් මිස, තමාව ආදරයෙන් සුරැකි සමාජයක් නම් නොවේ. උපතේ සිට මේ දක්වා තමාගෙන් සැම දෙයක්ම සොරා ගත් මේ සමාජයෙන් තමන්ට හැකියාව ලැබී ඇති මේ මොහොතේ ගත හැකි සෑම දෙයක්ම සොරා ගැනීමට බොහොමයක් තරුණ තරුණියන් ඉටා ගනී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු හෝ ඇය එම අරමුණ ඉලක්ක කරගෙන එම කාර්යයන් කිරීමට උචිත ආකාරයට සිය මනස හැඩගස්සා ගනී. ඒ අනුව ඔහු සමාජයේ විවිධ ස්තරවල විවිධ තරාතිරම්වල විවිධ ස්වරූපයෙන් ස්ථානගත වේ.

ඒ අනුව, අතිගරු ජනාධිපතිතුමා හෝ ජනාධිපතිතුමිය, ගරු අග්‍රාමාත්‍යතුමා හෝ අග්‍රාමාත්‍යතුමිය, ගරු ඇමතිතුමා හෝ ගරු ඇමතිතුමිය, ස්ථිර ලේඛම් තුමා හෝ තුමිය, ආයතන ප්‍රධානියා , ලිපිකරුවා ගුරුවරයා කම්කරුවා ආදී වශයෙන් සමාජයේ විවිධ වේශයන්ගෙන් සමාජය තුල ස්ථාන ගතවී, බොරුව, හොරකම, වංචාව, දූෂණයන් හා බද්ධව තම ඉලක්කයන් කරා හඹා යයි.

මේ අනුව, අතිගරු ජනාධිපතිතුමා හෝ ජනාධිපතිතුමිය, රජයේ දේපල විදේශිකයින්ට හා ස්වදේශීය ඥාතීන්ට හිමි කරවමින් මුදල් උපයන අතර, ත්‍රස්තවාදය හා රාජ්‍යපාලනය එක මවකගේ දරුවන්සේ කටයුතු කරවමින්ද මුදල් උපයයි. ත්‍රස්තවාදය ව්‍යාපාරයක් බවට පත්කර, මුදල් අවශ්‍ය විට මුදලුත් ආයුධ අවශ්‍ය විට ආයුධත් ක්‍රමානුකූලව සපයමින් පවත්වා ගෙන යයි.
හමුදා ප්‍රධානීන් බුද්ධි තොරතුරු ත්‍රස්තවාදීන්ට සපයා මුදල් උපයන අතරම කොළඹ නවාතැන්ද සපයමින් ත්‍රස්තවාදය රැක බලා ගනී.  
මැති ඇමතිවරු පොහොර සහනාධාරයෙන්, ගොවි ආපදා වන්දි වලින්, රටට හිමි සහල් තමා සතු කර සගවා විකිණීමෙන්ද, ඩෙංගු මදුරුවා නිරුපද්‍රිතව රැක බලා ගැනීමෙන් මුදල් උපයයි. කොටින්ම කිවහොත් රට කරවන අය රට විකුණනයි. දේශපාලන පක්ෂ මෙහෙයවන අය සිය පක්ෂ විකිණීමද කරයි. සමාජ යාන්ත්‍රණයේ සෑම අංගයක්ම කුමන හෝ දූෂණයකට බද්ධව මුදල් උපයයි. පහලම කොටස් බොරු ඕවර් ටයිම් වලින් හෝ මේ වංචාවට සම්බන්ධ වේ. තමන් දිනපතා යන එන මාර්ගය සෑදීම සදහා පාරට ගෙනත් දමන කලු ගල් කැබලි හවසට සොරා ගෙන තම වත්තට ඇදගන්නා තරමට, හොරකම ජරා ජීර්ණ වූ සමාජයක; හොරකම, දූෂණය හා වංචාවට එරෙහිව සටන් කිරීමට සිදුව තිබේ. අරුමය වන්නේ සිය දෛයිනික ජීවිතයේදී මෙම යාන්ත්‍රණයට බද්ධව කටයුතු කරන පරපුරක්ම, එම යාන්ත්‍රණයට බද්ධව කටයුතු කරන හෝ කල තම ප්රතිවාදීන්ට, එරෙහිව, දූෂිතයන් යයි මහා හඩක් නැංවීමයි.

මෙරට මැති ඇමති වරු සොරකම් කලේ  අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොව, පුරුද්දටය. රාජ්‍යයේ ප්‍රතම වතාවට යුද්ධය ජාවාරමක් කර නොගත් ජනාධිපතිවරයකු බිහිවීම හරහා මෙම යාන්ත්‍රණය තුල දෙදුරුම් කෑමක් හටගත්හ. යුද්ධය නම් වූ මහා දූෂිත යාන්ත්‍රණය විනාශවීමත් සමග රට තුල නව සංස්කෘතියකට මග විවර වුවද, එහි තුල වූ මහා ගසා කෑමට හුරුවූ මිනිසුන්ට යුද්ධයෙන් ගසා කෑමට තිබූ ඉඩ ඇසුරා දැමීමත් මහා ගසා කෑමක් සේ දිස්විය.

සොරකමට ස්වරූප දෙකක් පවතී. ඉතාම සරල විදියට කිවහොත් හොද හොරකම හා නරක හොරකම ලෙස දැක්විය හැක.

අද හොරකම වංචාව  දූෂණයට එරෙහිව සම්බන්ධව මහා හඩක් නංවන ජනතා විමුක්ති පෙරමුණ, ගොඩනැංවීම සිදුකරන ලද්දේ මුලු රටපුරාම පැතුරුණ හොරකම් ජාලයක් සථාපිත කිරීමත් සමගමය. මේ හොරකම් කරන මුදල් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැංවීම උදෙසාම පමණක් වැය කිරීමට, එවකට හිටිය එහි සාමාජික පරපුර අවංකවම කටයුතු කලහ. එහි ඵලය වූයේ මහා සටන් සංවිධානයක් රජයකට බලකල හැකි සංවිධානයක් ගොඩනැංවීම විය ඒ ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණ තුල හොරකමේ දායකත්වය ක්රියා කල ආකාරයයි එය හොද හොරමකට ඇති එක්තරා උදාහරණයකි.

නරක හොරකමටද කරුණු කාරනා එම පක්ෂයම සපයයි. එදා “අධිරාජ්යවාදයට විනාශය ජනතාවට විමුක්තිය” හා “ඉන්දීය දේශ ව්යාප්තවාදයට විනාශය ජනතාවට විමුක්තිය” යයි හඩතැලූ එම ව්යාපාරයම අද එම විනාශකාරී බලවේගයන් හා මුසුව එම සටන් පාඨවලටම එරෙහිව  මහා වංචාවක යෙදී සිටී. මෙය මුලු මහත් ජාතික ව්යාපාරයන් විනාශ කරමින් සිදුකරන මහා වංචාවකි.

මෙය වෙනත් උදාහරණයකින්ද අපට පෙන්වාදිය හැක.. දේශප්‍රේමය ගැන කථා කරන විට, ඒ සදහා හොදම තෝතැන්න බටහිර ජාතීන් පැලපදියම් කල කොටි ත්‍රස්තවාදය හා බැදුන යුද්ධයයි. මෙම යුද්ධය සදහා බටහිර  හාම්පුතුන් සැපයූ මහා ධනස්කන්ධය, මුදාහල ස්ථානයේ සිට එය ලැබිය යුත්තා දක්වා ගලා එන යාන්ත්‍රණයේ සෑම තැනකම සිටින්නේ පල් හොරුන්ය. ඔවුන් සිටින ස්ථානය පසුකර මුදල් ගලා යන සෑම අවස්ථාවකදීම තමන්ට ඩැහැගත හැකි උපරිමය ඔවුන් විසින් ගිල ගනී. එනම් සොරකම් කරයි. මේ මුදල්, එරික් සෝල්හයිම්ලා හා රොබොටෝ බ්ලේක්ලා අතරින් ගලා එනවිට, ඔවුන්ගේ කොටස වශයෙන් විශාල ප්රමාණයක් ඔවුනද සොරාගෙන, පසුව මේ රටට ලගා වන්නේ ඉතා අල්පයක්වූ මුදලකි. එම මුදල් මෙරට තුලදී තවත් විකණ්ඩනයට භාජනය වී ඉලක්කයට ලගාවනවිට සොච්චමක් පමණක් ලැබේ.. මෙම ක්‍රියාන්විතයේදී සිදුවන හොරකම, අපට සාපේක්ෂව හොද හොර කමකි. මෙරට දේශප්‍රේමීන්ට උදව් උපකාර කරන හොරකමකි. මෙවැනි ඉතා හොද වර්ගයේ ක්‍රියාවන් මෙරට සිටි NGO නඩය ඉටු කල බැවින් යුද්ධය ජයග්රහණයට එයද විශාල පිටුවහලක් විය.

යුද්ධයෙන් හෙම්බත්ව, ගරාවැටී ජරා ජීර්ණව තිබුණ රටට යුධ ජයග්රහණය උරුම කරදීම, හොරකමක් වත් වංච්වක්වත් නොවේ. නමුත් වසර, 30ක් පුරා ජනාධිපතිවරුන්  4 දෙනෙකුට කල නොහැකිවූ වැඩක් වසර 4ක් වැනි කෙටි කාලයකදී නිමාකරලීමට අවශ්ය සම්පත් ලගාකරගත් ආකාරය කෙසේදැයි යන්න මෙරට ජනතාවට අවබෝධ කරදිය යුතු වැදගත් කර්තව්යකි.

යමෙකුට අද පාර්ලිමේන්තුව තුල මහා රංගනයක යෙදෙමින් රාජපක්ෂ රෙජිමය මහා මුදල් සොරා ගැනීමක්  සිදුකර ඇති බව කිව හැක. ඒ හැමෝටම යුද්ධය අමතකව ඇති බැවිණි. අද පාර්ලිමේන්තුව තුල රගදෙන අධිරාජ්යවාදී රූකඩ කිසිවක්, රාජපක්ෂ රෙජිමය,
1. වසර 30ක යුද්ධය වසර 4කින් නිම කලේ කෙසේදැයි අසන්නේ නැත.
2. යුද්ධය නිම කිරීමට ඇවැසි මුදල් ඊට පෙර තිබූ රජය භාණ්ඩාරය තුල තබාගිය බවක් පවසන්නේද නැත. නමුත් රාජපක්ෂලාගේ සොරකම් සම්බන්ධව රටපුරාම වපුර වපුරා යමින් තමන් කිසිදු දෙයක් රටට සිදු නොකරමින් සිටී. පික්පොකට් කාරයා ඉදිරියෙන් යන මිනිහාට ඇගිලි දිගු කරමින් හොරා! හොරා! යයි කියමින් දුවනවා සේම යහපාලන රජයටද සිදුව ඇත්තේ ඒ පික්පොකට් කරුවාව අනුගමනය කිරීමටමය.

මහා යුධ උගලක පටලවා තිබූ රට, දැන් ණය උගුලක පටලවා ඇති බව පෙනෙන්නේ; දැන් යුධ උගුල නැති බැවිණි. යුධ උගුල තිබුණ යුගයේද ණය උගුල අඛණ්ඩව තිබුණි. යුධ උගුල ශුද්ධ කරදුන් පසුවත් රට පාලනය කරන්න බැරි මිනිස්සුන්ට, ඔය උගුල් දෙකම ඇති විට රට පාලනය කිරීම කෙසේවත් සිදුකල නොහැකි බව ඔවුන් විසින්ම ඔප්පුකර පෙන්වා දෙන ලදී.යහ පාලනය ආරම්භ කල විගසම,
1.රටේ සංවර්ධන කටයුතු සියල්ලක්ම වසර දෙකකට නවතා දැමුවේ ඇයි?
2. මහා බැංකුව අගමැතිවරයෙකුගේ අනුග්‍රහයෙන් බින්දේ ඇයි?
3.අර්ජුන මහේන්ද්‍රන් නම් සිංගප්පුරු ජාතිකයෙක් මහා බැංකුවේ අධිපති කලේ ඇයි ?

මිට හේතුව වන්නේ, 2005 එක්සත් ජාතික පක්ෂයේ පරාජයත් සමග 2015 වේ ජනවාරි මස 8 වෙනිදා තෙක්ම එම පක්ෂය හා විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නඩත්තු කරන ලද්දේ, ජෝර්ජ් සොරෝස් වැනි ජාත්‍යන්තර හොරු කණ්ඩායමක් විසිනි. උන් සමග ඇමරිකන් හා ඉන්දීය රජයන්ද එම කටයුත්තට දායක විය.එම සියලුම මුදල් කන්දරාව බලය ලද ක්ෂණයකින් පොලියත් සමග ගෙවා දැමීමට යහපාලන රජයට සිදුවුණා බැවින් ජාත්‍යන්තර හොරුන්ගේ උපදෙස් පරිදි,

1.අර්ජුන මහේන්ද්රන්ව මහා බැංකුවේ අධිපති බවට පත් කිරීම,
2. මහා බැංකුව බිදීම.
3.රටේ සංවර්ධනයට නවතා වසර දෙකක් සඳහා වෙන්කර තිබු මුදල් කොල්ල කෑම’
4.විදේශ රටවලින් මුදල් ණයට ගෙන ඒවා කොල්ල කෑම.
5. රටේ ඉඳිකර තිබු වටිනා සම්පත් විකුණා එම මුදල් කොල්ල කෑමද සිදුවිය.

මෙරට ජනතාව පන්නා දමන ලද්දේ එවන් සොර දෙටුවන්ගේ පාලනයකි.

නව රජයක් පත්වුනද, සොරුන් තවම ඒ ඒ ස්ථානවල ස්ථානගතව සිටි. සොරකම නැවතී නැත. නමුත් අඩුවී ඇත. එය ඉතා පැහැදිලිය.හොරකම නවතා දැමීමේ හැකියාවක්ද ඇත. එය තාක්ෂනය විසින් අනාගතයේදී සිදුකරනු ඇත. එබැවින් හොරුන් බොහෝවිට තාක්ෂණයට එරෙහිව නැගී සිටිනු ඇත. මුදල් නෝට්ටුව සංසරණය වන සමාජය අහෝසිවුදාට, ඉලෙක්ට්‍රොනික් මුදල් බාවිතය මුළු රටම වෙලාගත් දවසට මහා පරිමාවේ හොරුන් අර්බුදයකට මුහුණ දෙනු ඇත. ඒ යුගය ලඟා වෙනු ඇත. මෑතකදී නම් නොවේ.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress