පලාත් සභා මර උඟුල නමැති මිණී වල හෑරීම – 1 කොටස
Posted on December 16th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත…
සුභාෂිතය

මාර යුද්‌ධය-1956 අප්‍රේල් මැතිවරණය

හැඳින්‌වීම

මෙම ලිපිය ලිවීමට සිතුනේ රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර වෙනුවට අළුතින් පලාත් සභා ඇමති‌ ලෙස පත්කරණ ලද, ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් තම නිවසේ පැවති කාන්තා සම්මේලනයකදී පලාත් සභා චන්දය පැවැත්‌වීමට කැබිනට් තීරණයක් ගන්නවාය යනුවෙන් පවසා ඇති බව දුටු විටය (දෙසැම්බර් 14, ලංකාසීනිව්ස්). කාන්තා චන්දයෙන් ඒවා දිණනවා යයි ඔහු කියයි. මෙම වැඩේ ජනකට භාරදීම මතක් කරන්නේ රනිල් විසින් මහින්ද සමරසිංහව ඇමතිකර, හම්බන්තොට වරාය අවුරුදු 200 කට චීනයට විකුණන්නට ඔහුගේ අත්සන ගැනීමේ සිද්‌ධියටය.

1956 දී ගොවියන් සමඟ තැපැල් පියුන් කෙනෙක් හා කවිකොලකාරයෙක් පාර්ලිමේන්තුවට ඒමේ මහජන විප්ලවයක් සිදුවිය. එය සැළකුවේ මාර යුද්‌ධයක් ලෙසය (ඉහත කාටූනයේ අලියාගේ නැට්ට අල්ලගෙන ඉන්නේ ජේ.ආර්‌ය) මේ ජනක, පසුව ඇමති කෙනෙකුදවූ, ඒ නම්බුකාර කවිකොලකාරයාගේ පුතාය. එම්. එස්. තේමිස් නම් තැපැල් පියන්ට, සර් ජෝන් විසින්, ඔහුට හලෝ ජෝන් කියා ආමන්ත්‍රණය කල නිසා පාර්ලිමේන්තු පඩිපෙලේ හතර ගාතෙන් වැටෙන්නට පයින් ගැසුවේය (මෙම ලිපි මාලාවේදී දිගින් දිගටම මෙවැනි සත්‍ය කරුණු ඇතුලත් කරන්නේ ඒවා නොදන්නා අයගේ <අධ්‍යාපනය> පිණිසය). <මේ යුද්‌ධය නම් කවදාවත් දිනණන් බෑ> යයි පසු කාලයක මොරගෑ කළුසුද්දන් පිරිස හැරෙනවිට, මේ පලාත් සභා මර උගුලට පක්‍ෂවූයේ රජිව් ගාන්‌ධි හා ඩික්‍ෂිට් පමණය කියා සිතේ.

මුතු බෙල්ලා වැලිකැටය මුතු ඇටයක් කරනවා මෙන්, මේ දුෂ්ඨ පලාත් සභා ක්‍රමය රන් ආකරයක් කරගත් පිරිසක් අද ඒ වෙනුවෙන් මුග්‌ධ තර්‌ක ඉදිරිපත් කරමින් සිටී. පරිහානිය කරා මුළු රටම යන ගමනේ ඇති කැතම දේශපාලක ක්‍රියාව මේ පලාත් සභා කොල්ලයය. මේ පලාත් සභා මිණිය ගොඩගන්නට වලිකන්නේ, ඉන්දියාවට, ජිනීවාවලට හෝ ඇමෙරිකාවට භයෙන් හෝ පටු දේශපාලන වාසියකට හෝ ඥාති-මිත්‍ර සංග්‍රහයකට හෝ නොව, හුදෙක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන පෝෂණය කරණවාය යන උදාර පරමාර්‌ථයෙන්, ඊළම් ව්‍යාපාරය (හා දැන් ශාරියා වහබ් ආක්‍රමණය) පරාද කිරීමටය කියා විශේෂයෙන්, සිංහල බෞද්‌ධ ජනයාට ඒත්තු ගැන්‌විය හැකිද? ටැමිල් මොඩරේට් කෙනෙක් යයි සිතූ විග්නේෂ්වරන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගෙන් 2013 දී සිට ඉල්ලා ගෙන කෑවේ මුළු රටමය.

රට කැබලි කිරීමේ විෂබීජය

1987 දී පලාත් සභා යනු 1923/4 දී ඇරඹුණ, සිංහලේ (සිලෝන්) දෙකඩ කිරීමේ අරුණාචලම් පොන්නම්චලම්ගේ, ටැමිලක්කම් ව්‍යාපාරයේ උච්චතම අවස්ථාවය. මෙවැනි ඉරණමක් රටට අත්‌වූයේ 1948 ට පසුව සිට සිංහල බෞද්‌ධ යයි කියාගත් පක්‍ෂ දේශපාලන කළු සුද්දන්ගේ ආත්මාර්‌ථකාමී, මිස්මැනේජ්මන්ට් ක්‍රියා පටිපාටියය. මොවුන්ගේ මේ අබෞද්‌ධ කටයුතු ඉදිරියේ මේ දිවයින මෙතෙක් විනාශ නොවී බේරී සිටින්නේ එය රැක ගන්නා යම් අදෘෂ්‍යමාන බලවේගයක් නිසාමය. මේ රටේ සිදුවු ජාති ද්‍රෝහී පාවාදීම් වලට වඩා ඒවා බෙහෙවින් අඩුවෙන් සිදුවූ රටවල් අද වන විට කැබලිවී විනාශවී ගොස්‌ය. සිය වංක හැසිරීම නිසා, රජිව් ගාන්‌ධි නම් තම ආරක්‍ෂක වාහන සමඟ <රේස් කාර් එලවපු කොල්ලා> ඉදිරියේ දණගසන්නට ජේ.ආර්. නම් <ලංකාවේ කපුටු බෝගසට> සිදුවිය. ඩික්‍ෂිට් නම් <කපටියා> එය සිදුකර ගත්තේ 1987 ගිවිසුමෙනි (කපුටෙකු ගෙන් උපත ලැබුවත් බෝගසක් නිසා ලංකාවේ බෞද්‌ධයින් එය කපා දමන්නේ නැතිබව කියා සිටියේ සිරිමාවෝ හා ජේ. ආර්. යන දෙන්නාටම විරුද්‌ධව චන්දය ඉල්ලූ ජේ. ආර්. පී. සූරියප්පෙරුමය).

ජේ. ආර්- ලංකාවේ කපුටු බෝගස

ප්‍රදීප් නම් ඔහුගේ මුනුපුරා විසින් <ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා> ලෙස සුදුහුණු ගා ඇති ජේ. ආර් විසින් රටේ ඔහු අත ගැසූ හැම දෙයක්ම විනාශය කරා ගෙන ගියේය. 1962 පොලිස්-නාවික හමුදා ක්‍රිස්තියානි කුමන්ත්‍රණය, <බෞද්‌ධ කුමන්ත්‍රණයක්> යයි කුමන්ත්‍රණය මෙහෙයවූ සී. සී. දිසානායක ගේ පුතා (රවි කරුණානායකගේ මාමා) ලිව්වේ, ඇමතිලා,මන්ත්‍රීලා අත් අඩංගුවට ගන්නට යන කිසිවෙකුට පිස්තෝල රැගෙන නොයන ලෙස අණදී තිබුණ නිසාය! මෙයත් තම පියාට සුදුහුණු ගෑමකි. ගවමුත්‍රා බොන මොරාජි දේශායි සමඟ එකතුව වසු පැටියා හා එළදෙන කියමින් ඉන්දිරා හා ඇගේ පුත් සංජයට උපහාස කලේය (මෙය කලේ ජේ. ආර්.ද නැත්නම් ප්‍රේමදාසද යන්න මට මතක නැත). ඇගේ මිත්‍ර සිරිමාවෝගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි නොකරණ ලෙස කල ඉල්ලීමද නොසළකා හැරියේය. ඉන්දිරා හා පසුව රජිව් විසින් ඔවුන් දමිළ ත්‍රස්තවාදීන් පුහුණු කරන්නේ නැතැයි ලෝකයට බොරු කිව්වේ මේ වෛරය නිසාය. වික්ටර් අයිවන් විසින් මෙතෙක් රට නොදත් ජේ.ආර්.ගේ වංචා තුනක්ද නොබෝදා එලිකලේය (එස්.එල්.වී.ලොග්, දෙසැම්බර් 9). නාටු පොල් අක්කර 50 ක් ඉතාම සරු ඉඩමකට මාරුකර ගැනීම ඉන් එකකි. අක්කර දාස් ගණනක් රජයට දුන් සිරිමාවෝ, අක්කර 5 ක් අයථාලෙස තබාගත්තේයයි බොරු කොමිෂමකින් තීරණයක් ලබාගෙන, ඇය තමාට දේශපාලන අභියෝගයක් වීම නැවැත්‌වීම, ප්‍රදීප් දන්නා (බොරු) ප්‍රජාතන්ත්‍රවාදයය!

ජේ.ආර්. රටට කල එකම සේවය

බොහෝ අය සිතන්නේ වික්ටෝරියා ජලාශය ජේ. ආර්. රටට ලබාදුන් රැජිනගේ තෑග්ගක් ලෙසය. හුනුගල් පාෂාණ උඩ මෙවැනි යෝධ ජලස්කන්‌ධයක් කෙතෙක් කල් තිබේවිද යන්න මේ වනවිට භූමි කම්පා වලින් මතුකරදී ඇත. වී සෆර් ෆ්රොම් ද ඩෙඩ් කියන්නේ මෙයටය. පෘතුගීසීන් ගොඩකල කොළඹ නම් එක මඩ වගුරකින්, සැතපුම් 15 ක් දුරින් තවත් මඩ වගුරක් ගොඩකර දියවන්නා පාර්ලිමේන්තුව සැදීමද මෙවැනි ජේ. ආර්. දායාදයකි. දැන් වර්‍ෂා ජලයෙන් කොළඹ 7 පවා යටවෙන්නේ මෙහි එක් ආනිසංශයක් ලෙසය. විශාල ජලගැල්මක් ආ දාට දියවන්නා ඔය උතුරා ගොස් පාර්ලිමේන්තුව කොට උඩ යනු ඇත. සිය නම දාගන්නට අගනුවරක් මඩේ හදනවා වෙනුවට රටට-දැයට ආදරය ඇති දේශපාලකයින් නොවන රාජ්‍ය පාලකයෙක් නම් කරන්නේ රටේ පරිපාලන අගනුවර අවුරුදු 20 ක සැලැස්මක් යටතේ <රජ රටට> රට මැදට, ගෙන යාමය. කොළඹ තදබදයට විසඳුම ලෙස අහසේ දුම්‍රිය පාරවල් දැමීම දිගුකාලීන මහජන ශුභසිද්‌ධිය ලඟාකර දෙන්නේ නැත.

කෙසේ වෙතත්, සිය ජීවිත කාලය පුරාම සුවච කීකරු ඇමෙරිකන් බලු පැටියෙක්‌ව සිටි යැංකි ඩිකී නම් ලත් ජේ.ආර්. (ඉහත කාටූන් එකේ කලු පාට කෝට් එක බලන්න), රොනල්ඩ් රීගන් විසින් අළුයම ලූ කෙළපිඬක්සේ ඔහුව අතහැරදැමූ විට, ඉන්දියාවේ හිරකාරයෙක්ව අතරමංව සිටියදීත්, ඩික්‍ෂිට්ගේ ප්ලෑන බකල් කල හැකි උපායශීලි මනසක් විදහා පෑ බව පේන්නේ ඔහුට පසුව ආ අය හැසුරුණු නැණවිකල් (වෙස්සන්තර?) අකාරය සමඟ සසඳන විටය. මේ දිවයින රැකබලා ගන්නා යම් නොපෙනෙන බලයක් ජේ.ආර්.ට ආරූඪ වූවා වැනිය! ඔහු ඩික්‍ෂිට්ලා ඉදිරියේ දණ නොගැසුවා නම් අද වනවිට සිංහලේ (සිලෝන්) යනු, ඊළම හා මායිම් සටන් කරමින් වැනසෙන, දිවයිනේ කොටසක් (කුඩා පලස්තීනයක්) පමණය.

මුරුංගා ගහක් මෙන් සිට කඩා වැටෙනවා වෙනුවට ගොයම් ගසක් මෙන් පරාජයට අකුලා ගෙන හුලඟට නොනැවුනේ නම් ඉන්දියන් හමුදා පැමිණ, නැවත පිටව යන්නේ ඊළමක් සදා දීය. බොහෝ අයතුල ඇති මිථ්‍යාවක් නම් ඉන්දියන් <සාම> හමුදා ආපසු ගියේ ප්‍රේමදාසගේ බල කිරීම නිසාය කියාය. ඔවුන් ගියේ තමන් අල්ලාගෙන ඉන්නේ සැබෑම කොටි වලිගයක් බව දිල්ලියේ හා මැඩ්‍රාස් දේශපාලකයින්ට ප්‍රත්‍යක්‍ෂ වීම හේතුවෙනි. ඊළඟට ඔහු කලේ, බණ්ඩාරනායක විසින් 1957 ජූලි 26 දී චෙල්වනායගම්ගේ උ-නැ දෙපලාතේ මිථ්‍යා නිජබිමට, සිය තනිමතයෙන් දුන් තල්ලුවට (ඔහු මැදිහත්‌ව යළි 1965 මාර්තු 24 දින ඩඩ්ලි-චෙල්වා හොර ගිවිසුමක් මඟින් මේ තල්ලුව තවත් තීව්‍ර කලේය), සරදම් කරමින් සෙසු පලාත් හතද නිජබිම් කිරීමය! මේ මඟින් රටේ අසමමිතික එක පලාත් සභාවක් වෙනුවට නීතියෙන් එක හා සමාන සභා 8 ක්ම ඇතිකලේය. මෙය එක්තරා ආකාරයකට, ඩික්‍ෂිට් විසින් කොපිකල 1935 ගවර්‌මන්ට් ඔෆ් ඉන්ඩියා ජාතිවාදී නියෝජන පණත බාල්දු කිරීමකි. තුන්‌වෙනුවට ඔහු කලේ ඔහුට වගකියන ආණ්ඩුකාරවරයෙක් බැගින් පලාත් වලට පත්කිරීමය.

කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය

1551 දී දොන් ජුවන් ධ‌ර්‍මපාල ක්‍රිස්තියානි රජු වීමත් සමඟ දිවයිනේ ක්‍රිස්තියානි කළු සුද්දන් පරම්පරා බිහිවීම ආරම්භ විය. සුද්දන්ට දරදිය ඇද. ඔත්තු සපයා වරප්‍රසාද ලබාගත් කොටස් මතුවිය. 1815 දී සිංහලේ <ද්‍රවිඩ බෞද්‌ධ> රජුව අල්ලාගත් ස්ථානයට, බණ්ඩාරනායක, ජයවර්‍ධන හා කුමාරසූරියර් (පොන්නම්බලම්) යන <මුදලිලා> තුන්‌දෙනාම සුදු භටයින් සමඟ එහි ගියේ ඒ නිසාය. අවුරුදු 200 කටත් පසුව අදද මේ අයගේ ලේ ඥාතීන් තවමත් රටේ හොල්මන් කරණ කළුසුද්දන්‌ය. රනිල්ට හෙළ වෙදකමේ පැණි, එන්ජින් ඔයිල් ලෙස පේන්නේ ඒ දුර නෑකම නිසාය. ඔහුට අනුව පොසොන් යනු දිවයිනටවූ ප්‍රථම ආක්‍රමණයය. පෘතුගීසීන් ඇවිත් අවුරුදු 500 ක් වීම සමරන්නට පෘතුගාල අගමැති කොළඹට ගෙන්නන්නට ඔහු ප්ලෑන් කලේ ඒ නිසාය. අනිත් අතට චන්ද්‍රිකා නෝනා නිර්‍වස්ත්‍රම් පරමං සුඛම් කියමින් බුදුදහමට අපහාස කලේය. 1832 සිට සුද්දන්ගේ ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සාමාජිකයින් ලෙස ජාතිය අනුව පත් කල අය ආවේ මේ පවුල් වලින්‌ය. දමිළ මුහන්‌දිරම්ලාට දුර නෑකමක් ඇති විග්නේෂ්වරන්ට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේදී ඉන්දියාවේ සිට ගෙනා ශිව ලිංග පහකින් (ත්‍රිකුණාමළය, කීරමලෙයි, මන්නාරම, හලාවත හා දෙවුන්දර කෝවිල්) දිවයින බ්ලෙස් කර ඇත. මේ, බුදුරදුන් ලංකාවට තුන් වරක් වැඩියා යන මහාවංශ කතාවට, තේසවලම් මනසෙන් ඔහු දෙන උත්තරයය!

අනාගාරික ධර්‌මපාලතුමෙකුගේ ආගමනය

එංගලන්තයට ගොස් ඉගෙන ගෙන ආ මේ කළුසුද්දන්ගේ අළුත් පරම්පරාව 1910 පමණ සිට තමන්ටත් සුද්දන්ගේ රක්‍ෂා වලින් කොටසක් ඉල්ලා සිටියේය. ඔවුන්ගේ අරගලය වූයේ එයය. මේ කාලයේදී පෙරමුණේ සිටියේ 1820 ටත් පෙර සිටම යාපනේ ඉංග්‍රීසි මිෂනාරි පාසැල් වලට ගිය මලබාර් ඉන්හැබිටන්ට් (දමිළ නම නිලවශයෙන් දාගත්තේ පසු කලෙක අරුණාචලම් විසිනි) යයි කියනලද කොටසය. සිංහල බෞද්‌ධයින්ට ඉංග්‍රීසි පාසැල් ලැබුනේ කර්‌නල් ඕල්කොට් ආපසු 1880 න් පසුවය. ක්‍රිස්‌තියානි පාසැලක ඉගෙනගත්, ඕල්කොට්ගේ භාෂා පරිවර්‌තකයා වශයෙන් කටයුතු කල දොන් ඩේවිඩ් හේවාවිතාරණ නම් තරුණයා මේ කාලයේ සමාජ-දේශපාලනයේ නිරතවූ අනිත් හැමෝටම වඩා වෙනස් ‌විය. ජාතිවාදී තරඟය ඉදිරියේ ඔහු සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටියේ බෞද්‌ධ ප්‍රතිපත්ති වලට අනුකූලවය. එනම් කිසිම මිනිසෙකුට ජාතිය, කුලය හෝ ලබ්ධිය අනුව වෙනස්කම් නොකල යුතුය යන්නය.
මෙම දර්‌ශනයට අනුව යමින් පිරිහී ගිය සිංහල ජාතිය නඟා සිටුවන්නට, අරුණාචලම්, මාකස් ප්‍රනාන්‌දු, එඩ්මන්ඩ් සමරවික්‍රම යනාදීන් බලයේ සිටි ලංකා ජාතික සංගමය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන්නට ඔහු ගත් උත්සාහය අසර්‌ථක විය. <සිංහල බෞද්‌ධ> කළුසුද්දෝ, සුද්දන් හා එකතුව එතුමාව රටින් එලවා ගත්තේය. 2019 දි ගෝඨාභය ජනාධිපතිකලේ, පරණ වයින් බෝතල් වල පරණ වයින්ම දැමීමට නොව, අළුත් වයින් බෝතල් වල අළුත් වයින් දැමීමටය. මෙතෙක් රටේ සිටි අගමැතිලාට, ජනාධිපතිලාට වඩා වෙනස් පක්‍ෂ දේශපාලකයෙක් නොව, දූරදර්ශී සිංහලේ රකින රාජ්‍ය පාලකයෙක් පතාය. 1815 දී සිට සිංහල බෞද්‌ධයාට අහිමිකල සිංහල උරුමය සාධාරණ සීමා සහිතව (ඩිස්ක්‍රිමිනේෂන් විත් රීසන්) නැවත ලබා දීමටය. ධර්‌මපාල දර්‍ශණය හා එය ගම් මට්ටමෙන් ක්‍රියාවට යොදවා සාර්‌ථක ජාතික සේවයක් කල කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන්ගේ ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාධ මර්‌දන ව්‍යාපාරය (1940 දශකය), සෞභාග්‍යයේ දැක්ම සංකල්ප සමඟ හොඳටම පෑහේ.

වයිට් මෑන්ස් බර්‌ඩන්-බෙදා පාලනය

යටත් විජිත වාදයේ මූලික උපක්‍රමයක්‌ වූයේ ජාතීන් බෙදා පාලනය කිරීමය. එයද කලේ තමන්ට උපරිම වාසිය ලැබෙන ලෙසටය. සිංහල-දෙමළ වශයෙන් බෙදා ඉන් පසු උඩරට සිංහල-පහතරට සිංහල කියා බෙදුවේය. ඒ අතර ගොවිගම-කරාවේ-දුරාවේ-සලාගම යනාදී වශයෙන් තාන්න මාන්න බෙදාදී අභ්‍යන්තර කුලල්කා ගැනීම්වලට උල්පන්දම් දුන්නේය. මුස්ලිම් කියා කොටසකට නිල නොලත් මන්ත්‍රීකම් දුන්නත්, සිංහල බෞද්‌ධ-සිංහල ක්‍රිස්තියානි වශයෙන් සළකා බෞද්‌ධයින්ට නිල නියෝජනයක් දුන්නේ නැත. ඊනියා නිදහස ලබන කාලය වනවිට රටේ තිබුණේ කැතලික් ඇක්‍ෂන් වලට විරුද්‌ධ බෞද්‌ධ බලවේගයේ සටනය. මෙය සිංහල-දෙමළ භාෂා සටනක් බවට පෙරලීම කළුසුද්දන්ගේ ශූක්‍ෂම උපක්‍රමයක් විය. ඩොනමෝර් බෞද්‌ධයින් (ඕ මයි ගෝඩ් බෞද්‌ධයින්) මේ ලණු ගිල්ලේ දැනගෙනමද නැද්ද යන්න අදටත් ප්‍රශ්ණයකි. යාපනේ තිබුණේ මීට වෙනස් තත්‌වයකි. සුද්දන් සමඟ විවාහ-අවාහ මගින් පවා සම්බන්‌ධවූ මලබාර් වෙල්ලාලයින්, කොළඹ සිට <පහල කුලවලට අයත් යයි කියන> සෙසු ජනතාව අර්‌ධ වහල් භාවයෙන් තබා ගත්තේය. මේ කොළඹ සිටි නායකයින් බොහෝ දෙනෙක් දකුණු ඉන්දියා‌ණු ක්‍රිස්තියානි පල්ලි නිකායට අයත් විය.

වයිට් මෑන්ස් බර්‌ඩන්-හීන මානය රිංගවීම

යටත් විජිත වාදයේ අංග දෙකක් නොව තුනක් විය. අප දන්නේ බයිබලය හා කඩුව අරගෙන ආවා යන කතාවය. එහෙත් ඊට අමතරව (අරක්කු) බෝතලයද විය. මේ තුනෙන්ම සිදුකලේ යටත් වැසියා තුලට හීනමානය රිංගවීමය. ම්ලේච්ච ජනයා ශීලාචාර කොට ඔවුන්ව දෙවියන් වහන්සේට භාරදීම දේවකාරියක් ලෙස සිතා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියාකල පූජකවරු සිටින්නට ඇත. එහෙත් බොහෝවිට සිදුවූයේ බයිබලය, පාලකයින්ගේ සූරාකෑමේ ක්‍රමයට අතිරේක රෝදයක් වීමය. කච්චේරියට ගොස් සුදු ඒජන්ත ඉදිරියේ බලු පැටියෙක් ලෙස හැසිරෙන මුදලි, මුහන්දිරම්, හෙඩ්මන්ලා ගමට ගොස් අසරණ ගැමියාට පුස්පාට් දාන්නේ මේ හීනමානයේ ප්‍රතිපලයක් වශයෙනි. 1835 දී ඉන්‌දියාවේදී මැකෝලි විසින් ආරම්භකල දුඹුරුපාට බ්‍රිතාන්‍යයින් පිරිසක් බිහිකිරීමේ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය මෙම හීනමානය ඉහල සිට පහලට මුළු රටක් පුරාම පැතිරවීමට හේතු උපකාර විය. පරණ යටත් විජිත වාදය අදත් ලොව පුරා ගෙනයන්නේ මෙසේ බිහිකල කළුසුද්දන් කල්ලි හරහාය. කොරෝනාවට සිංහල බේත් තිබිය නොහැකිය යන මතයක් අදටත් ගෙන යන්නේ මෙම හීනමානයෙන් පෙලෙන කළුසුද්දන් විසින්‌ය. හීනමානය නිසා ඔවුන් දීන පංචස්කන්‌ධ වී ඇත. විවෘත මනසකින් ලෝකය දෙස බලන්නට යුරෝපයේ හැමදේම ශ්‍රේෂ්ඨය යන මිථ්‍යාව ඔවුන්ට ඉඩ නොදේ.

දෙවන කොටස

ඩී.එස්.ලා, බණ්ඩාරනායකලා, ඩඩ්ලිලා රටට කල දේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress