අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පොතුහැර සිට ගලගෙදර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියරේ ඉදි කිරීම් ඇරඹෙයි
Posted on December 19th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මධ්‍යම අධිවේගී මාර්ග කඩිකම් කිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද 2020.12.19 දින ආරම්භ විය.

කුරුණෑගල, වදාකඩ – පොතුහැර මාර්ගයේ ලිහිණිගිරිය අසල පැවති මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියරේ සමාරම්භක අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍යතුමා මෙලෙස අදහස් පළ කළේය,

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

මම ඉතාම සතුටු වෙනවා අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරන්න ලැබීම පිළිබඳව. මේක හුගක් කල් ඉදන් අපේ තිබ්බ සිහිනයක් කියලා කිව්වොත් මම නිවැරදියි. කන්ද උඩරට ගියාම සියලු දේශපාලඥයෝ මගෙන් අහන්නේ කවදද අපිට අධිවේගී මාර්ගයක් දෙන්නේ කියලා. ඉතිං ඒ අධිවේගී මාර්ගයේ අපිට දැන් බලාපොරොත්තු තියා ගන්න පුලුවන්. අදින් ආරම්භ වෙන අධිවේගී මාර්ගයේ ඉතිරි වැඩ කොටස තව අවුරුදු කිහිපයකින් අපිට ඉටු කරන්න පුලුවන්කම ලැබේවි.

මම වැඩියෙන්ම සතුටු වෙනවා ජොන්ස්ටන් ඇමතිතුමත්, ලේකම්තුමත් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා සමාගම්වලට දෙන්නේ නැතුව, මග නැඟුම වැඩපිවෙළ ක්‍රියාත්මක  කිරීම තුළින් මහා මාර්ග අමාත්‍යංශය ඒ වැඩපිළිවෙළ කරන්න තමයි බලාපොරොත්තුව. එහි සම්පූර්ණ වගකීම අරගෙන පාර රජයෙන් හදන්න කටයුතු කරලා තියෙනවා. මේක ඉතා වැදගත් අවස්ථාවක්. මොකද මේක භාරදූර කාර්යයක්. සාමාන්‍යයෙන් අපි කළේ පිටරටකට කොන්ත්‍රාත් එකක් දීලා මේ වැඩේ කරන එක. පිටරට කොන්ත්‍රාත්කරුවන්, එහෙම නැත්නම් ලාංකික කොන්ත්‍රාත්කරුවන්. දැන් රජය විසින්ම අධිවේගී මාර්ගය හැදීමේ වැඩපිළිවෙළ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒක ලොකු දෙයක්.

තමුන්නාන්සේලා දන්නවා අප බලයට පත්වූ පසුගිය කාලය තුළදී,මේ රටේ විශාල වෙනසක් ඇති කළා. අවුරුදු ගණනාවක් තිබ්බ යුද්ධය අපි අවසන් කළා. රටේ සංවර්ධනය අපි ආරම්භ කළා. හැම අංශෙකින්ම. මහා මාර්ග විතරක් නෙමෙයි සෞඛ්‍ය ගත්තත්, යාපනය ගත්තත්, හැම පැත්තකින්ම රටේ සංවර්ධනය අපි ඇති කළා.  පසුගිය අවුරුදු පහ අපිව පැත්තකට කරලා, පරාජය කරලා තිබ්බා. ඒ අවුරුදු පහ රට ආපස්සට ගියා. ආපස්සට ගිය ඒ අවුරුදු පහ එක්ක තමයි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා 2015 ඉදන් 2019 වෙනකන් පස් අවුරුද්දක් පස්සට ගිය සංවර්ධනයට කර තියලා, අපිට ආපහු එතැන් සිට  ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාලට, මේ ඉන්න ඇමතිවරුන්ට, හැම පළාතකම හැම අමාත්‍යංශයකම වැඩ කරන්න වෙන්නේ. මහා මාර්ග වේවා, නිවාස වැඩපිළිවෙළ වේවා, අධ්‍යාපන වේවා, අවුරුදු පහක් ආපස්සට ගිය ගමන අපි ඉදිරියට යන්න ඕනි. ඒක තමයි අපිට දැන් තියෙන කාර්යය. මේ තත්ත්වය තුළ අපට සියලු දෙනාගේ සහය  අවශයයි. රටේ ජනතාවගේ සහය අපිට අවශ්‍යයි. මොකද ජනතාව මේ වැඩපිළිවෙළත් එක්ක ඉන්නවා. මේ ඉඩකඩම් සමහර වෙලාවට අපිට ගන්න වෙනවා. ඒවා ගන්න ගියාම ප්‍රමාද කරන්න නඩු පවරන වැඩපිළිවෙළවල් තියෙනවා. මට මතකයි දකුණු අධිවේගී මාර්ගය පටන් අරගෙන ඉදිරියට යනකොට සංවිධානාත්මකව නඩු පැවරීම් කළා. සාකච්ඡා කරලා තමයි අපි ඒවා විසඳා ගත්තේ.

දැන් අපිට ඒ බාධා නැහැ. ඒ නිසා ජනතාව අද සංවර්ධනය පිළිබඳව අවබෝධයක් ඇතුව කටයුතු කිරීම අපි‌ට සතුටට කරුණක්. වැදගත්. ඒ නිසා ජාතියක් වශයෙන් රටක් දියුණු කරන්න යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි. අපිට කළ හැකි සියලු කටයුතු අපි සිදු කරමින් යනවා.  විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් තිබෙන ප්‍රදේශ සංවර්ධනය කිරීම, නිවාස වැඩපිළිවෙළ, අලි මිනිස් ගැටුම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර විශේෂ වැඩපිළවෙළක් සකස් කිරීමට අපි කටයුතු කරනවා. ජනාධිපතිවරයා ඒ සඳහා උපදෙස් දීලා තියෙනවා.  තිබෙන ප්‍රශ්න හා ගැටලු හඳුනාගෙන අපි අපේ වැඩ  කරනවා. ඒ සඳහා මහා සංඝ රත්නයේ වගේම ජනතාවගේ සහය අපිට අවශ්‍යයි.

අපි පත්වෙලා තාම මාස තුනක වගේ කාලයක් වෙන්නේ. ජනාධිපතිතුමාට පමණයි වසරක කාලයක් වෙන්නේ. මාස තුන තුළ අපි කරපු වැඩ ප්‍රමාණය අති විශාලයි. ජනතාව අපි වෙනුවෙන් තබපු විශ්වාසය අපි තියලා තියෙනවා. ඒ විශ්වාසය කඩ නොකර රැක ගැනීමට ඉදිරියටත් කටයුතු කරන බව ප්‍රකාශ කරමින් ඔබ සැමට සුභ අනාගාතයක් ප්‍රාර්ථනා කරනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර  පොතුහැර සිට ආරම්භ වී රඹුක්කන හරහා ගලගෙදර දක්වා කි.මි.31.7 ක ප්‍රමාණයක ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම අද දිනයේ සිදුවිය. මෙම අදියර මංතීරු හතරකින් සමන්විත වේ.

මෙම කොටසේ ඉදිකිරීමේ කටයුතු, ඉදිකිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණ කටයුතු මහා මාර්ග අමාත්‍යංශයේ සෘජු මඟ පෙන්වීම හා උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි.

මාස 42 ක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ඇස්තමේන්තුගත ඉදිකිරීම් පිරිවැය රුපියල් බිලියන 142.5 කි.

තෙවන අදියරේ ඉදිකිරීම් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට බිලියන 5ක මුදලක් වැය කර ඇති අතර, තවත් කෝටි 100 ක මුදලක් වැය කිරීමට නියමිතය.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු හා දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

පළමු අදියර යටතේ කඩවත සිට මීරිගම දක්වා කි.මි.37 ක ප්‍රමාණයක් හා දෙවන අදියර යටතේ මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි.41 ක ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු සිදු වන අතර එම ඉදි කිරීම් කටයුතු අවසන් වූ පසු අධිවේගී මාර්ග ජාලය කුරුණෑගල දක්වා සම්බන්ධ වේ.

එසේම, කඩිනමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ද රජය මේ වන විටත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කටයුතු සිදු කරමින් පවතී.

උපරිම ආර්ථික ඵලදායිතාවයකින් යුතු අධිවේගී මාර්ග පද්ධතියක් ඉදි කිරීම, කොළඹ – නුවර හා අඹේපුස්ස – කුරුණෑගල -ත්‍රිකුණාමලය  මාර්ගයේ පවතින මාර්ග තදබදය අවම කිරීම, ආර්ථික-සමාජීය සංවර්ධනය හා සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම,දේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ හා අපනයන කෘෂි කර්මාන්තයේ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම, උතුරු නැගෙනහිර හා කන්ද උඩරට ප්‍රදේශ සංවර්ධනය සඳහා මාර්ග ජාලය පුළුල් කිරීම, ආයෝජකයින්ට ආයෝජන අවස්ථා සඳහා අධිවේගී මාර්ගය තුළින් ඉඩ ප්‍රස්ථා සැලසීම මේ මඟින් අපේක්ෂිතය.

මෙම අවස්ථාව සඳහා දෙමටලුව, දික්වැහැර උභය විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ශ්‍රී ජිනරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, පියල් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, ලොහාන් රත්වත්තේ, නිමල් ලන්සා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.බී. හේරත්, අසංග නවරත්න, ගුණපාල රත්නසේකර, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර, චරිත හේරත්, සුමිත් උඩුකුඹුර, මංජුලා දිසානායක, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, වයඹ පළාත් සභවේ සභාපති ටිකිරි අධිකාරී, මහා මාර්ග අමාත්‍යංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.ප්‍රේමසිරි ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress