පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීම අවඟ්‍යද?
Posted on December 19th, 2020

එස්. අකුරුගොඩ

මාධ්‍ය වාර්තාවලට අනුව, හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ අලුතින් පත් කරන ලද සාමාජිකයින්ට උපදෙස් දී තිබේ. කොළඹ විජේරාම මාවතේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවති රැස්වීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට මේ බව දැනුම් දී තිබේ.
මීට මාස කිහිපයකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුලින් සංහිඳියාව ඇති කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු පොරොන්දුවක් දීමෙන් වැළකී, ඒ වෙනුවට,  ඔහු දෙමළ ජනයා ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් ගැන සිහි පත්කර, ශ්‍රී ලංකා ජනතාවගෙන් තමාට ලැබුණු වරම සහ අදාළ ව්‍යවස්ථාමය විධිවිධාන අනුව ජාතික සංහිඳියාව රැකබලා ගැනීමේ තම අභිප්‍රාය බැව් ප්‍රකාශ කර තිබිණ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අගමැතිවරයාට ලබා දුන් ඉහත ප්‍රතිචාරය, ඉන්දියානු අවශ්‍යතා, 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ආරම්භය සහ ප්‍රතිවිපාක පිළිබඳව ඔහු දරණ ස්ථාවරය පෙන්නුම් කරන බව අපි සිතුවෙමු. කෙසේ වෙතත්, 2016/12/09 දින දිවයින පුවත් පතෙහි පළ වූ 'මාගම්පුර' නම් ප්‍රවෘත්ති විශේෂාoගයට අනුව, පළාත් සභා මැතිවරණය අපේ‍්‍රල් මාසයේ පැවැත්වීමට ගත් තීරණය පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ අගමැති අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් බැව් සඳහන් වේ. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ බලතල හා තනතුරු අහිමි වීම නිසා ඔවුන් කෙතරම් කලකිරීමට පත්ව ඇත්ද යන්න එම පුවතින් හෙළි වේ. සාමාන්‍ය පුරවැසියන් වශයෙන් අපට තනතුරු, ආදායම, ධනය, ප්‍රතිලාභ ආදිය අහිමි වන අයගේ කලකිරීම ගැන කිසියම් ප්‍රමාණයකට සිතෙහි මවාගත හැකිය. එහෙත් පළාත් සභා මහ ඇමතිවරු 9 ක්, ඇමතිවරු 34 ක්, මන්ත්‍රීන් 410 ක් නඩත්තු කිරීම සඳහා ඔවුනගේ වැටුප්, දීමනා, කාර්යාල වියදම්, වාහන, ආරක්ෂාව යනාදිය සැපයීම සඳහා විශාල මුදලක් වැය කිරීමෙන් සාමාන්‍ය ජනතාවට යම් ප්‍රතිලාභයක් තිබේද යන්නත්, පසුගිය වසර දෙක තුළ පළාත් සභා සක්‍රීය නොකිරීම නිසා මහජන අරමුදල්වලින් කෙතරම් රුපියල් මිලියන ගණනක් ඉතිරි කර තිබේද යන්නත් දැනගත යුතුය.
අප දන්නා පරිදි, පළාත් සභා වියදම් 2017 දී රුපියල් මිලියන 286,031.000 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය 2016 සඳහා පෙර පැවති රුපියල් මිලියන 276, 147.000  සංඛ්‍යාවට වඩා වැඩි වීමකි. 1996 දී වාර්තාගත රුපියල් මිලියන 22,128,000ක් වූ වියදම 2017 දී රුපියල් මිලියන 286,031,000 දක්වා ඉහල ගොස් ඇත. මේ අනුව පළාත් සභා වියදම 1996 දෙසැම්බර් සිට 2017 දක්වා වසරකට සාමාන්‍යයෙන් රුපියල් මිලියන 103,769.000 ක් පමණවේ.  (https://www.ceicdata.com/en/sri-lanka/provincial-councils-revenue-and-expenditure/provincial-councils-expenditure)
මහජන මුදල් මුළුමනින්ම නාස්ති කිරීම හැරුණු විට, පළාත් සභා විසින් වාර්ගික පදනම් මත පිහිටුවා ගත් පක්ෂ නියෝජනය කරන දේශපාලකයින්ගේ දෑත් ශක්තිමත් කර තිබේ.  මාධ්‍ය වාර්තාවලට අනුව මහ ඇමති විග්නේශ්වරන් යටතේ උතුරු පළාත් සභාව විසින් ජාතිවාදී හැඟීම් අවුස්සන සහ සමස්තයක් වශයෙන් රටට හානිකර වන යෝජනා 100 කට වැඩි ප්‍රමාණයක් (දෙමළ ජනතාවගේ ඊනියා ජන සංහාරයක් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් ඉල්ලා සිටින යෝජනාවක් ද ඇතුළුව)  සම්මත කරගෙන ඇත.
නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමේදී, ජාතිවාදී පදනමින් පිහිටුවා නම් කරන ලද දේශපාලන පක්ෂ විසින් මැතිවරණ මෙහෙයවන ආකාරය අපි දුටුවෙමු. මේ අනුව  බලය බෙදා හැරීම, සංහිඳියාව යනාදී නාමයෙන් ජාතිවාදී පදනම් වලට අනුව මිනිසුන් වෙන් කිරීමෙන් සිදුවනුයේ, රටේ විවිධ ප්‍රදේශවල තවමත් පන ගැන්වී සිටින බෙදුම්වාදී ව්‍යාපාරවල දෑත් ශක්තිමත් කිරීම පමණි..
ආණ්ඩුකාරවරුන් සහ නිලධාරීන් සමඟ වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ පළාත් සභා කිසිදු වාද විවාදයකින් තොරව ක්‍රියාත්මකවන බැව් පෙනේ. ‘ප්‍රජාතන්ත්‍රවාදය’, මානව හිමිකම් යනාදිය පිළිබඳව සෑම විටම රoගනයන් දක්වන රාජ්‍ය නොවන ආයතන ඇතුලු පිරිස් ඊනියා ‘යහපාලන’ රජය තුළ පළාත් සභා මැතිවරණයක් නොපැවැත්වීමේ ප්‍රශ්නය කිසි විටෙකත් මතු නොකිරීම විශේෂ කරුණකි. මේ අනුව අද අපට විසඳිය යුතු මූලික ප්‍රශ්න වන්නේ අවස්ථාවාදී හා වාර්ගික කොටස් සතුටු කිරීම සඳහා මහජන මුදල් නාස්ති කිරීමට ඉඩක් නොදී බලය විමධ්‍යගත කිරීම / බෙදා හැරීම යනාදිය සදහා කලයුතු/ නොකලයුතු දෑ සොයා බැලීමයි.
අනෙක් අතට, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පොදුජන පෙරමුණ ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරණයේදී දැවැන්ත ජනවරම් දෙකක් ලබා ගෙන තිබේ. මාධ්‍ය වාර්තාවලට අනුව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව මාස හයක් ඇතුළත සිය වාර්තාව අවසන් කිරීමට නියමිත බැවින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර නව ව්‍යවස්ථා නිර්දේශ  එළිදැක්වීමට බොහෝදුරට ඉඩතිබේ.. බලය විමධ්‍යගත කිරීම / බෙදා හැරීම  ඇතුළු ප්‍රධාන කරුණු 11 ක් පිළිබඳ යෝජනා කමිටුව ජනතාවගෙන් අදහස් විමසා ඇත. මේ අනුව, කඩිමුඩියේ, අපේ‍්‍රල් මාසයේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමේ ක‍්‍රියාවලිය වේගවත් කිරීමේ තීරණය අතිශයින්ම ප‍්‍රශ්නකාරී වේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress