මහාචාර්ය සේනක බණ්ඩාරනායක පුරාවිද්‍යා ක්ෂේත්‍ර පුහුණු පාසල අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් වෙයි
Posted on December 20th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයේ ඉදිකරන ලද මහාචාර්ය සේනක බණ්ඩාරනායක පුරාවිද්‍යා ක්ෂේත්‍ර පුහුණු පාසල, ගරු අග්‍රාමාත්‍ය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද 2020.12.20 දින ජනතා අයිතියට පත්විණි.

රුපියල් මිලියන 50 ක වියදමකින් ඉදිකරන ලද මෙම පුහුණු පාසල ඔස්සේ නවක පුරාවිද්‍යාඥයින් සඳහා නේවාසික පහසුකම් සහිතව ප්‍රායෝගික හා න්‍යායික අධ්‍යයන කටයුතු සිදුකිරීමට අවස්ථාව සැලසේ.

කුසලතා සහ ආකල්ප වලින් සපිරි ක්ෂේත්‍ර පුරාවිද්‍යාඥයින් බිහිකිරීමේ අභිලාෂයෙන් මෙම පුරාවිද්‍යා ක්ෂේත්‍ර පුහුණු පාසල මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘතිය තුළ ස්ථාපිතය.

ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික පුරාවිද්‍යාත්මක සංදර්භය ශුද්ධ විද්‍යාත්මක විෂය ධාරාවන් සමඟින් අධ්‍යයනය කර, කාලය හා අවකාශය තුළ විද්‍යාත්මකව ස්ථානගත කිරීමේ විෂයානුකූල කාර්යය සඳහා අවැසි දැනුම ලබාදීමත්, විනයානුකූල පුරාවිද්‍යාඥයින් බිහිකිරීමේ අපේක්ෂාවත් පෙර දැරිව මෙම පුරාවිද්‍යා ක්ෂේත්‍ර පාසල ආරම්භ වේ.

දෙස් විදෙස් පුරාවිද්‍යා පර්යේෂකයින්ට ද සිය පුරාවිද්‍යා කටයුතු සඳහා මෙම පුහුණු පාසල විවෘත ය.

මහාචාර්ය සේනක බණ්ඩාරනායක වියතාණන් පුරාවිද්‍යා විෂය ධාරාවේ පාරිසරික පුරාවිද්‍යාව, ජනාවාස පුරාවිද්‍යාව, මානව වංශ පුරාවිද්‍යාව ආදී ක්ෂේත්‍ර පුරාවිද්‍යාවන්හි පුරෝගාමියෙකි.

සීගිරිය ව්‍යාපෘතියේ ආරම්භක පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා වූයේ මෙතුමාය.

විදේශීය විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් බහු විෂයාත්මක පදනමකින් පුරාවිද්‍යාත්මක පර්යේෂණ ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් සීගිරියේ රාජකීය නාගරික අංග හඳුනා ගැනීමටත්, තදාශ්‍රිතය සහ නිෂ්පාදනාගාර හඳුනාගැනීමටත්, එහි ජීවත් වූ ජනතාවගේ ජනාවාස රටාව හඳුනා ගැනීමටත්, එමඟින් තාක්ෂණික විශේෂඥතාවය අධ්‍යයනය කිරීමටත් හැකියාව ලැබුණි.

මහාචාර්ය සේනක බණ්ඩාරනායක පුරාවිද්‍යා ක්ෂේත්‍ර පුහුණු පාසල දේශන ශාලා, පර්යේෂණාගාර හා නේවාසික පහසුකම්වලින්ද සමන්විතය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහන කුමාර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, දඹුල්ල මහ නගරාධිපති ජාලිය ඕපාත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress