පලාත් සභා මර උඟුල නමැති මිණී වල හෑරීම – 3 කොටස
Posted on December 24th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

මෙම ලිපියේ 1 හා 2 කොටස් වලින් සළකා බැලූ මාතෘකා වූයේ:

  • පලාත් සභා නමැති රන් ආකරය
    *රට කැබලි කිරීමේ විෂබීජය
    *ජේ. ආර්- ලංකාවේ කපුටු බෝගස
    *ජේ. ආර්. රටට කල එකම සේවය
    *කළුසුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය
    *අනාගාරික ධර්‌මපාලතුමාගේ ආගමණය
    *වයිට් මෑන්ස් බ‌ර්‌ඩන්- බෙදා පාලනය

*වයිට් මෑන්ස් බර්‌ඩන්- හීනමානය රිංගවීම

*හීනමානයේ රඟ
*බුද්‌ධාගම කියන්නේ බොරුවක්
*විද්‍යෝදය-විද්‍යාලංකාර පිරිවෙන් බිහිකිරීම
*ඕල්කොට් බෞද්‌ධයින්
*ඩොනමෝර් බෞද්‌ධයින්
*වතු හිමියන්ගේ අන්තඃප්පුර

*1915 මුස්ලිම්-සිංහල කෝලාහලය

ආටිගල බූදලය

ඇමෙරිකන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ බිරිඳගෙන් <දුක් හැහැට> විඳි අයෙකි. ඔහු හා ඇය අතර විවාහ වීම තහවුරු වූයේ, ඔවුන් දෙදෙනා අතර තිබූ සම්බන්‌ධය නතර කිරීමට ඔහු ගත් තීරණය ඇයට දැනුම්දීමට ගිය අවස්ථාවේය! ඇය එවර ජනාධිපති තරඟය සඳහා ඉදිරිපත්‌වූ අපේක්‍ෂකයින් දෙදෙනා සමඟම අර්‌ධ ආදර සම්බන්‌ධතාවක් පවත්‌වාගෙන ගිය නිසා කවුරු දිණුවත් පැරදුනත් ඇය රටේ ජනාධිපති ආර්‍ය්‍යාව වන්නේය. ලංකාවේ සිරිමා රත්‌වත්තේ මෙනෙවියද එවැනි දෛවයක් සහිතව සිටි බව මේ ලිපි පෙලේ 1 කොටසේ සඳහන් කරන ලදී. එලීනා බණ්ඩාර රූපසිංහ මෙනෙවියද එවැන්නියක් විය. දෙන්නා අතර වෙනස නම් ඇගේ බූදලයෙන් ජේ. ආර්.ට ඔහුගේ පුද්ගලික ආර්ථික ප්‍රශ්ණ විසඳාගෙන පවුලේ වැඩිමලා වශයෙන් බාල සහෝදරයින්ට උගන්‌වා ගන්නට හැකිවීමය. සිරිමාගේ විවාහය දේශපාලන වශයෙන් උඩරට-පහතරට භේදයද මකා විසඳා දුන්නේය. ඩී. එස්. සේනානායක විවාහයද එවැන්නක් විය. විශ්ව විද්‍යාලයේදී යාළුවීම නිසා, ක්‍රිස්තියානි මාක්ස්වාදී එස්මන්ඩ් වික්‍රමසිංහටද (රනිල්ගේ පියා) නලිනි විජේවර්‌ධන මෙනෙවියගේ දෑවැද්ද හිමිවිය. ඔහු සිංහල බෞද්‌ධ දේපලක් (ලේක් හවුස්), කැතලික් ඇක්‍ෂන් සඳහා (ජාතිද්‍රෝහී හා බෞද්‌ධ විරෝධී ක්‍රියා) භාවිතාවීමට ඉඩදී සිටීම ගැන 1964-කේ. ඩී. ද. සිල්වා පුවත් පත් කොමිෂමේදී අවධානය යොමුවිය. සිංහල බෞද්‌ධ විරෝධී දේශපාලනයට ඔහු කල ඇඟිලිගැසීම් බරපතලය (නිදසුන්: 1952/03/26 දින ඩඩ්ලි අගමැති කිරීම, මන්ත්‍රීන්ට අල්ලස් දී [මංගල සමරවීරගේ පියා මහානාම ඇමතිද ඇතුළු] 1964/12/03 දින සිරිමා-ඇන්. ඇම්. සභාග රජය එක චන්දයකින් පරාදය කිරීම).

ලංකාවේ කළුසුද්දන්ගේ <අබෞද්‌ධ> දේශපාලනය සඳහා ස්ත්‍රින්ගේ බූදල් වලින් දැන හෝ නොදැන සිදුවූ දායකත්‌වය අතිමහත්‌ය. සුද්දන්නට කත් ඇඳීමේ ප්‍රතිඵලයක් වශයෙන් <හාමුලා> වූ අයගේ වලව්වල ළමාතැනීලා දැන හෝ නොදැන, මේ බොහෝ පිරිමින් අතන මෙතන පවත්‌වා ගෙන ගිය හොර අඹු සම්බන්‌ධකම්, පැවති පාලන ක්‍රමයෙන් ඔවුන් ලබාගත් ජීවන වින්ඳනයේ එක් අංගයක් පමණය. යැස්මින් ගුණරත්න මේවා ගැන නොකියා කියන්නේ වලව්වේ ඉලව් යනුවෙනි. 1987 දී රජිව් ගාන්‌ධි නිසා කඩා වැටුණ රන් ආකරයක්‌වූ පලාත් සභා මර උගුලෙන් සැපවත්‌වී ඉන්නා ලක්‍ෂයක පමණ පිරිසක්, දැන් ඒවා වෙනුවෙන් කඳුළු සලනවා මෙන් මේ වලව්කාරයින්ට ඒකාලයේ සුද්දා නැතිවම බැරිවිය.

අගමැති බණ්ඩාරනායකගේ පියා කසාද බැන්ඳේ ඔහුගේ සහෝදරියගේ දුවවය (මේ අන්දමට මාමා ලේලිව බැඳගැනීම අදටත් ඉන්දියාවේ කර්‌ණාටක ප්‍රාන්තයේ පවතින චාරිත්‍රයක් බව මා දැනගත්තේ කැනඩාවේදි මා සමඟ ඉගෙනගත් කන්නද ජාතික පිරිමියෙකු ගෙන්‌ය). තම ස්වාමිපුරුෂයාට ඇය ආමන්ත්‍රණය කලේ අන්කල් සොල් (සොලමන්) යනුවෙනි. දැන් ඕස්ට්‍රේලියාවේ වසන තුප්පහියා නමින් වෙබ් අඩවියක් පවත්‌වාගෙන යන මයිකල් රොබට්ස් කරාවේ කුලය ගැන කල ආචාර්‌ය උපාධි නිබන්‌ධනයේ රටේ එම කුලයේ පවුල් අතර සිදුවූ විවාහ-අවාහ ජාලය (නෙට්වර්ක්) පෙන්‌වා දේ. පලාත් සභා හා දිස්ත්‍රික් මනාප පොර චන්ද ක්‍රමය නිසා, දැන් කුල භේදය යටින් නොව උඩින්ම දුවන සාධකයකි. රටේ සජිත් ප්‍රේමදාසට හා මාතර මංගල සමරවීරට චන්දය දීමේදී කුලය අදාලවේ. 1911 දී, කොළඹ අළුත් ආසනය සඳහා, කරාවේ මාකස් ප්‍රනාන්‌දු පැරදවීමට ගොවිගම කළුසුද්දන් විසින් විශ්‍රාම ගොස් සිටි පොන්නම්බලම් රාමනාදන් මැඩ්‍රාස් වලින් ආපසු ගෙන්වා ගත්තේය.

මේ ලිපියේ මෙවැනි විස්තර සඳහන් කරන්නේ, රට බෙදීමේ ඉහළම පියවර වන පලාත් සභා මර උඟුලට උල්පන්දම් දෙන අද ජීවත්‌වන කළුසුද්දන්ද මේ අයගෙන් පැවත එන හා නොෙන කල්ලි, මෙසේ නෙට්වර්ක් වලට අයත් වන අය නිසාය. ඔවුන්ගේ පසුබිම හොයා බැලූවිට සත්‍යය එලියට පණින්නේය. ගමේ මිනිසුන් හෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් හෝ මේවා දන්නේ නැත. අළුතින් ධනය උපයාගෙන සුද්දන් යටතේ සමෘධිමත් වූ ගෙමෝරිස් ආටිගල නම් මිනිරන් පතල්ද හිමි ඉඩම් හිමියාගේ දූවරුන්ගේ තුන් දෙනාගේ කසාද සමහරවිට ලෝක වාර්‌තාවකි. ඇලිස් නම් වැඩිමල් දුව ජෝන් කොතලාවලත් (සර් ජෝන්ගේ පියා), දෙවැනියා ජයවර්‌‌ධනත් (ජේ. ආර්. ගේ මහප්පා හෝ බාප්පා), බාලම එකී, එෆ්. ආර් සේනානායකත් (ඩී. එස්. ගේ අයියා) සමඟ විශාල දායාද රැගෙන එක්‌විය. 1901 දී දොන් ගෙමෝරිස් මුදලි මළ පසු ඔහුගේ පුතාව, කොතලාවල මස්සිනා විසින් බූදල් පාලන ප්‍රශ්ණයක් මත, වෙඩිතබ්බවා මැරුවා යයි එල්ලුම් ගහට නියමවී සිටියදී, හිරමැදිරියේදී සියදිවි නසා ගත්තේය. අකාලයේ මියගිය එෆ්. ආර් ගේ පුතා රිචඩ් ගෝඨාභය පසු කලෙක ත්‍රිකුණාමළයේ සිංහල ජනයා පදිංචිකරවීමට මූලික විය. ඔහුගේ සහෝදරිය නීලා, තම බාප්පාගේ පුතා, ඩඩ්ලිගේ මල්ලී, රොබට් හා විවාහ විය. යූ.එන්.පී. එකට මාමලාගේ-බෑණලාගේ පක්‍ෂය යයි කිව්වේ මේ අන්තර් ලේ සම්බන්‌ධතා නිසාය.

නොබෙල් හා ඩයිනමයිට්

1901 සිට ඇරඹුණ නොබෙල් සාම ත්‍යාගය, යුද්‌ධ උපකරණයක්‌වූ ඩයිනම්‍යිට් නිෂ්පාදනය සොයාගත් ඇල්ෆ්රඩ් නොබෙල් (1833-96) විසින් ලෝකයට කල පව් සමා කිරීමක් වැනිය. ඔහු හා මිත්‍රව සිටි ස්ත්‍රියක් ඔහුව ලෝක සාමය දෙසට යොමුකර වූයේය. මෙවැනිම කණගාටුවීම් පරමාණු බලය සොයාගත් ඇල්බට් අයින්ස්ටයින් හා ඇමෙරිකාවේදී පරමාණු බෝම්බය නිපදවීමට දායක‌වූ රොබට් ඔපෙන්හයිමර් විසින්ද කරණ ලදී. පසුව ඔපෙන්හයිමර් ජලකර බෝම්බය සැදීමට විරුද්‌ධව ක්‍රියාකර සතුරන් ඇතිකර ගත්තේය. ඔපන්හයිමර් භගවත් ගීතාව අධ්‍යයනය කල හා කොමියුනිස්ට් සමාජවාදය අනුමත කල අයෙක්ද විය. ලංකාවේ කරාවේ පවුල් බුද්‌‌ධාගම වෙනුවෙන් පානදුරා වාදයට පෙර සිටම කල සේවයද එක අතකින් බලන විට, අරක්කු රේන්ද මඟින් ඔවුන් උපයාගත් ධනය ගැන ඇතිවූ කලකිරීමක්, වික්‍ෂොපයක් වැනිය. ධනය තිබුණත් සුද්දන්ගෙන් තැනක් නොලැබීම ඔවුන් තුල හීනමානයක්ද ඇති කල බව නිසැකය. සුද්දන් කලේ, කරාව-දුරාව-සලාගම හා ගොවිගම කුල, දිය යටින් ගින්දර ගෙනියනවා මෙන් එකිනෙකාට විරුද්‌ධව කුලප්පු කිරීමය. ලංකාවේ සුද්දන්ට පන්දම් අල්ලා ධනවත්‌වූ කළුසුද්දන් ගැන කරණ කතාවකදී, එවැනි බොහෝ අය දානපතියන් වශයෙන් පන්සල්, පාසැල් සැදීමට උපකාර කල උපාසකයින්ද විය. කොළඹ විශාඛා විද්‍යාලය එක උදාහරණයක් පමණය.

වික්ටෝරියා රැජිණ හා මුත්තු කුමාරස්වාමි

දකුණේ කළුසුද්දන් ගත කල සශ්‍රීක ජීවිතවල රහ, උතුරේ, යාපනේ දමිළ වෙල්ලාලයින්ට හිමිවූයේ ඉස්තරම්ම විධියටය. සුද්දන් සමඟ විවාහ-අවාහ සම්බන්‌ධතාද සහිතවය. මන්නාරමේ මුතුපර ජාවාරම නිසා ධනවත්‌වූ කුමාරසූරියර්-කුමාරස්වාමි-පොන්නම්බලම් පවුල් සුද්දන්ගේ හීලෑවුණු බැටළු පැටව්ම විය. ආනන්ද කුමාරස්වාමිගේ පියාවූ මුත්තු කුමාරස්වාමිගේ ත්‍රීපීස් ඇඳුමට වික්ටෝරියා රැජිණ පවා ආකර්‍ශණය වූවායයි කියැවේ! ඔහු විවාහව සිටියේ සුදු කාන්තාවක් සමඟය. බොහෝ දෙනා අමතක කරණ කරුණක් නම් 1505 සිටම විදේශිකයින් හා සටන් කලේ සිංහලයින් බවය. එහිදී දෙමළ, මුස්ලිම්, බර්‌ගර්, මැලේ ජන වර්‌ග ගත්තේ සුද්දන්ගේ පැත්තය. 1948 ලංකාවට නිදහස දෙනවාට වඩා සුද්දන් යටතේම සිටින්නට ඔවුන්ගේ යටි හිත ඔවුන් සමඟ අරියාදු කලේය. එහෙත්, හිට්ලර්‌ට, ගාන්‌ධිට (හා සුබාෂ් චන්ද්‍රබෝෂ්ට) හා ජපානයට, පින්සිදුවෙන්නට දෙන්නට යන නිදහසට විරුද්‌ධවීමට මේ ජනවර්‌ග වලට ශක්තියක් නොතිබුණේය. දැන් සම්බන්‌ධන්, විග්නේශ්වරන්, සුමන්තිරන්, ගජේන්ද්‍ර පොන්න්මබලම් හා ඉස්ලාම් අසාද් සාලි සිංහලයා මට්ටුකිරීමට සිතා ඇමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව හා ජිනිවා පස්සේ යන්නේ ඔවුන්ගේ අතීත හැසිරීම සිහිපත් කරවමිනි.

මනි‌ඕ‌ඩර් ඉකොනොමි

කළුසුද්දන් විසින් පෙත්සම් ගැසුවත් නැතත්, ඉන්දියාව අතහැර යාමට සිදුවූ සුද්දා, ලංකාව අල්ලාගෙන ඉන්නේ නැත. එහෙත් ඉන්දියාව දෙකඩ කැඩුවා මෙන් ලංකාව දෙකට කඩාදී යාමට රටේ භූගෝල විද්‍යාව අනුව සුද්දාට ඉඩක් නොවීය. යාපනය, දකුණේ සිට යවන මනිෝ‌‌ඩර් වලින් යැපුනා පමණක් නොව දමිළ නායකයින් කොළඹ සිට දේශපාලනය කල අයවිය. වෙල්ලාල සුළු කොටසක් හැර, සෙසු ජනයා යාපනයට වඩා කොළඹට කැමති වූයේ දකුණේ ඉන්නා වෙල්ලාලයින්ගෙන් මිස, දකුණේ සිංහලයින්ගෙන් ඔවුන්ට කුලය නිසා වෙනසක් සිදුනොවූ නිසාය. ප්‍රභාකරන් එලොව ගියපසු කුලභේදය නැවත යාපනයට පැමිණ ඇති හැටි ආවා කල්ලියේ යැයි සැළකූ අරුලානන්දන් සිද්‌ධා‌ර්‌තන් පෙන්‌වා දේ. යුද හමුදාව සමඟ මේ ජනයා මේ වනවිට මෙතරම් කුළුපග, යාපනේ තිබුණේ, තිබෙන්නේ අර්‌ධ වහල් සමාජ ක්‍රමයක් නිසා නොවේද? කෙටියෙන් කියනවා නම් වෙනම දෙමළ රටක් යනු කොළඹ වසනා දමිළ හා සිංහල කළුසුද්දන්ගේ එකිනෙකාගේ පිටකසා ගැනීමේ නිර්‌මාණයකි. ගෝඨාභය රැල්ලට අසුව <මුන් 225 ම එපා> යන අය අතරෙන් නැවත චන්දය දිණූ පරණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පෙඩරල්කාරයින් විසින් දැන් පොහොට්ටු පක්‍ෂය ලෙස පලාත් සභා මිණීවල හෑරීමේ උත්සාහය පරාජය කල යුතු මේ නිසාය.

ක්‍රිස්තියානි සිංහල කළුසුද්දන් සිංහලේ පාවාදීමේ ආරම්භය

1915 සිට 1931 අතර කාලය දේශපාලන නායකයින් යයි කියාගන්නා සිංහල හා දමිළ කළුසුද්දන් දෙපක්‍ෂය අතර සිදුවූ ආත්මාර්‍ථකාමී, වංචාසහගත හැසිරීම පිළිඹිඹු කරන්නකි. 1883 කොටහේන ගැටුමේදී සුද්දාත්, කළුසුද්දාත් ගත්තේ ක්‍රිස්තියානි පැත්තය. 1873 පානදුරා වාදයෙන් පසු මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ඔවුන්ගේ වෛරයට ලක්‌විය. 1911 වන විට ධර්‌මපාලතුමා කළු සුද්දන්ගේ දේශපාලන සමිති, සංගම් සමඟ එකතුව වැඩකිරීමට ගත් උත්සාහයද ව්‍යවර්‌ථවිය. 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය, සිංහල ක්‍රිස්තියානි-සිංහල බෞද්‌ධ බෙදීමකට හේතුවූයේ, සිංහල ක්‍රිස්තියානීන්, සුද්දාගේ මර්‌දන ක්‍රියාවලට පක්‍ෂ‌වූ නිසාය. මේ සිද්‌‌ධිය, නෝ බොඩීස්ලා සම්බොඩීස්ලා වෙන්නට හැදූ උත්සාහයක් යයි, ඩී.එස්-ඩී. බී.ජයතිලකලාව හංවඩු ගැසුවේ, අල්විස්-ද සේරම්-බණ්ඩාරනායක යන පරණ සම්බොඩීස්ලාය. අනිත් අතට දමිළයින් අතරේ මතුවූ අරුමුගනවලාර් ශිව ලිංග වන්දනාව ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරයක් අරඹා තිබුණේය. එහි ප්‍රචන්ඩ ස්වරූපයක්ද විය. එය දකුණේ ධර්‌මපාලතුමා දෙසූ සංකලපයට වෙනස් මුහුණුවරක් ගත්තේය. මෙම ශිව ලිංග වන්දනාව මේ වනවිට විග්නේශ්වරන් විසින් ප්‍රාග් ඓතිහාසික යුගයේදී ගෙනා ශිව ලිංග (කෝවිල්) පහක් මඟින් දිවයින බ්‌ලෙස් කර ඇතැයි අළුතින් සොයාගෙන ඇත!

මැනිං ආණ්ඩුකාරයාගේ කූඨ උපාය

සිංහල ක්‍රිස්තියානි, සිංහල බෞද්‌ධ, උඩරට සිංහල, පහතරට සිංහල, අනාගාරික ධර්‌මපාල, දමිළ, නැඟෙනහිර මුස්ලිම්, කොළඹ මුස්ලිම් යන බෙදීම් අතරට, ආණ්ඩුකාරයාද මැදිහත්‌වූයේ ජාතිවාදී නියෝජනය වෙනුවට භූමිය අනුව නියෝජනය හා චන්ද බලය ඉදිරියට ඒම නැවැත්‌විය නොහැකි යථා‌ර්‌ථයක් වීම නිසාය. ව්‍යවස්ථාදායක සභාවේ නිලලත් කොටස අභිභවා නිල නොලත් කොටස වැඩිවීමේ ප්‍රවනතාව ඉදිරියේ, 1921/24 කාලයේදී, විශේෂයෙන් මැනිං ආණ්ඩුකාරයා යටතේ, සිංහල මහජාතිය හා දමිළ-මුස්ලිම් සුළු ජනව‌ර්‌ග අතර ගැටුමක් ඇතිකිරීම සුද්දාගේ උපාය විය. පසුකාලයකදී ඉන්දියාවේ ගාන්‌ධි හා අලි ජින්නා අතර සිදුකලේද මෙයමය. මැනිංගේ සූත්‍රයට අනුව සුළු ජනව‌ර්‌ගවල මන්ත්‍රී සංඛ්‍යාව එකතු කල විට ඔවුන් මහජාතිය හා කරට කර සිටින්නේය. 1987 න් පසු ජේ. ආර්. ගේ හා ප්‍රේමදාසගේ කැත හැසිරීම් නිසා මෙම මැනිං ප්ලෑන මුල්වරට ක්‍රියාවේ යෙදුනේ විෂ්මය උපදවමිනි.

සම්බන්‌ධන් ආණ්ඩු පක්‍ෂයටම අයත් විපක්‍ෂ නායකවුනේත්, රිෂාඩ් බදිුද්දීන් හැමදාම ඇමතිවුනේත්, බලවත් අමාත්‍යාංශ, හා වැදගත් ආයතන 50 ක් පමණ අල්ලාගත්තේත්, පාස්කු ප්‍රහාරයට යහපාලනකාරයින් විසින් මඟ පෑදුවේත් ඒ යටතේය. මේ සියල්ල වෙනස්කර එක රටක්-එක නීතියක් කරා යාමට 2019/20 දී ගෝඨාභයට බලය දුන්නේ බාගෙන කණවා වෙනුවට ඉහගෙන කෑමේ තන්හාව සීමාව ඉක්මවා ගිය නිසාය. හිස්බුල්ලාට ලෝකයටම ශාරියා ගුරුවරුන් බිහිකරන්නට රට ඉඳි ගස් වලින් පිරුණු විශ්වවිද්‍යාලයක්, අරාබි නමකින් හදාගන්නට පාර කපාදීමට ඩලස් අලහප්පෙරුම අන්‌ධවූයේත් ඒ නිසාය. විල්පත්තු වන විනාශයට හේතුවත් මැනිං සූත්‍රයේ හොල්මන් බලයය. පලාත් සභාව මිණිය වලෙන් ගොඩගෙන, සමහර පොහොට්ටු කාරයින් විසින් සියදිවි නසාගන්නට හදන්නේත් කෙහෙල්මල්
ප්‍රජාතන්ත්‍රවාදයක් රකින්නට නොව, වෙනත් සැඟවුණු ආශාවන් හිතේ ඇති නිසා වන්නේ පලාත් සභා රටට බලෙන් පැටවූ මර උඟුලක් බව ඔප්පුවී තිබෙන නිසාය.

වඳුරන්ට දැලි පිහිදීම

අද මෙන් ඒ කාලයේත්, සිංහල කළුසුද්දන්, සිංහල හෝ දමිළ සාමාන්‍ය දුක් විඳින ජනතාව වෙනුවෙන් වත්, දමිළ නායකයින් යයි කියාගත් පිරිස දමිළ ජනයා ගැනවත් තැකීමක් නොකල බව ඩොනමෝර් කොමිෂම 1928 දී සර්‌ව ජන චන්ද බලය දීමට කල යෝජනාවට, ලේබර් ලීඩර් ඒ. ඊ. ගුණසිංහ හැරුණු විට අන් හැම දේශපාලකයාම ඊට විරුද්‌ධවීමෙන් ඔප්පු විය. අනුරාධපුරයේ ගැමියන් සුදු ඉංග්‍රීසි ජාතික ෆ්රීමන් මහතාව 1931 දී වැඩි චන්ද විශාල ප්‍රමාණයකිනුත්, 1936 දී නිතරඟයෙනුත් මන්ත්‍රණ සභාවට යැවීම මේ කළුසුද්දන්ට දුන් පා පහරක් ‌විය. 1948 න් පසු 2020 දක්‌වාම ඇත්තටම සිදුවී ඇත්තේ දේශපාලකයින් වඳුරන් සේ හැසිරීම නොවේද? පාර්ලිමේන්තුව පමණක් නොව ප්‍රාදේශීය සභා පවා වඳුරන්ගෙන් පිරී නැද්ද?

මීළඟ කොටස- මැලේරියා මඳුරුවා කල සේවය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress