නව වසර සුභාශිංසනය
Posted on December 31st, 2020

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

සෞභාග්‍යයේ බලාපොරොත්තු පිබිදෙන 2021 නව වසරට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

සුරක්ෂිත දේශයක් වෙනුවෙන් අපගේ මාතෘභූමියේ අනාගතය උදෙසා ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරමු.

නව රජයේ මේ දක්වා ගෙවී ගිය කාලය ඉතා කෙටි වුවද එම කාලය ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් යෙදවීමට හැකිවීම අභිමානයකි.

වසර පහක කාලයක් ඇණහිට තිබූ රටේ මානව හා භෞතික සංවර්ධන කටයුතු සඳහා නැවත පණ දීමට අපට හැකිවිය. මැදහත්ව ඒ දෙස බලා ජනතාවට සතුටු විය හැකිය.

ලොව අන් සියලු රටවල් මෙන්ම කොවිඩ්-19 වයිරසයේ අභියෝගයට අප ද මුහුණ දෙමින් සිටියි.

වයිරසයේ බලපෑම අවම කිරීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් හා කාර්ය මණ්ඩල විසි හතර පැයේ නිරත මෙහෙවර අපමණය.

රජය කොව්ඩ්-19 වසංගතය කළමනාකරණය කිරීම වෙනුවෙන් ජනතාව මත බර නොවැටෙන පරිදි උපරිම මැදිහත්වීමට දායක වී සිටියි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින විනයගරුක ජනතාවගෙන් රජයට ලැබෙන සහයෝගය ද සුළුපටු නැත.

නව වසරේ රට හමුවේ ඇති මෙම අභියෝග එක්ව ජයගත හැකිය.

දේශීයත්වයට මුල් තැන ලැබෙන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිමය දැක්ම තුළ නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් රට තුළ ඇතිවන බව ස්ථීරය.

ඒ තුළ ඔබගේත් රටේත් අනාගතය සුභවාදීව දියුණුවන සෞභාග්‍යමත් දේශයක් උදාවනු ඇත.

ඉතා ලඝු වූ කාරණා අරඹයා තවදුරටත් අප බෙදී වෙන්වී සිටිය යුතු නැත.

අද අප මෙම මාතෘභූමිය වෙනුවෙන් වෙහෙසෙන්නේත් කැපවන්නේත් අපේ මතු පරපුරේ දරුවන්ගේ අනාගතය වෙනුවෙනි.

ඒ නිසා සමාජයීය සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩනැගීමට එළැඹෙන මෙම නව වසර අවස්ථාවක් කරගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

අභිමානවත් ශ්‍රී ලාංකික සියලු ජනතාවට නිරෝගීමත් සුබ නව වසරක් වේවා ! යි ප්‍රාර්ථනා කරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress