ඇල්පෙනෙත්තක්වත් හදන්නෙ නැති ජාතියක් ලෙස තවදුරටත් අපි අපටම චෝදනා කර ගැනීම ඵලක් නැහැ – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on January 20th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඇල්පෙනෙත්තක්වත් හදන්නෙ නැති ජාතියක් ලෙස තවදුරටත් අපි අපටම චෝදනා කර ගැනීම ඵලක් නොමැති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.01.20 දින පැවැසීය.

පන්නිපිටිය, මාකුඹුර ප්‍රදේශයේ ඉදිකළ යෝ බ්‍රෑන්ඩ් (Yoo Brand) පාවහන් කර්මාන්ත ශාලාවේ සාමාරම්භක උත්සවයට විඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන පාසල් පාවහන් වෙළඳපොළ මිලට සියයට 30ක් අඩුවෙන් ඉදිරියේ දී සතොස වෙළඳසැල්වලින් ලබා ගැනීමට හැකියාව උදා වේ.

පාවහන් කර්මාන්ත ශාලාව විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම අද සතුටු වෙන්න පුළුවන් දවසක්.

මිත්‍රවරුනි,

අපි දන්නවා. අපේ රටේ අනාගතය ගැන ශ්‍රී ලාංකිකයන්වන අපි හැමෝටම බලාපොරොත්තුවක් තිබෙනවා. හැමෝම දකින්නෙ එක සිහිනයක්. ඒ සිහිනය මේ රට සංවර්ධිත රටක්වන සිහිනය.

අපි ලෝකය හමුවේ අනෙකුත් රටවල්වලට නොදැවිනි මානුෂීය ගුණාංගවලින් පොහොසත් ජාතියක්. පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටට ඉතිහාසය පුරාවට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වටිනාකම් ලැබී තිබෙනවා.

වාරි තාක්ෂණය ඇතුළු ලොව මවිත කළ විශ්මිත දැනුමෙන් අප රටක් ලෙස කලක් සන්නද්ධව සිටියා. ඒ අයුරින්ම ඉදිරියට ආව නම් අද අපි ලොව දියුණුම රටක්.

මෑත කාලයෙත් විවිධ ආණ්ඩු යටතේ රටේ අරමුණු වෙනස් වුණා. රටේ ජනතාවගෙත් රටේත් අරමුණු සමඟ අපි නම් හැමදාමත් වගකීමෙන් කටයුතු කළා.

අද කොවිඩ් අර්බුධය මුළු ලෝකයම ගිලගෙන තිබෙනවා. අනෙකුත් රටවල වගේම අපේ රටෙත් ජන ජීවිතයට එය විශාල බලපෑමක්. වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්යය මණ්ඩල, ආරක්ෂක අංශ, රාජ්‍ය සේවකයන් වගේම, පෞද්ගලික අංශයේ ඔබත්, රටේ සමස්ත මහජනතාවත් නිසි සෞඛ්‍ය ආරක්ෂක විධි පිළිපදිමින් මේ අභියෝගය ජයගන්න වෙහෙසෙනවා. රජයක් ලෙස අප ඊට අවශ්‍ය මැදිහත්වීම් කර තිබෙනවා.

විරුද්ධ පක්ෂයේ ඇතමෙක් නම් අපි දැක්කා දැන් කොවිඩ් ප්‍රශ්නෙ එල්ලිලා ඒකෙන්වත් ගොඩයන්න පුළුවන්ද බලනවා. මිත්‍රවරුනි, අපට වයිරසයක් මතින් දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍යය රටේ සියලුදෙනාගේ යහ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි.

ඔබ දන්නවා, ජනතාව අපට හැම වෙලාවෙම ආණ්ඩු බලය දුන්නෙ රට හමුවේ අභියෝගයක් තිබෙන වෙලාවක. එහෙම වෙන්නෙ මහජනතාවට අප ගැන විශ්වාසයක් තිබෙන නිසා. රටේ ආරක්ෂාව වේවා, වසංගත අර්බුධයක් වේවා, ජනතාව වෙනුවෙන් රජයක් ලෙස උපරිමය අපෙන් ඉටුවන බව ඔබ දන්නවා. ඒ වගේම ඒ විශ්වාසය අපි හැමදාම රැකලා තියෙනවා.

විවිධ අභියෝගවලට මුහුණ දෙමින් වුවත් අන් කවරදාටත් වඩා දේශීය කර්මාන්ත කරුවා නගා සිටුවීමට අපට හැකි වී තිබෙනවා.

අද විවෘතවන මෙම පාවහන් කර්මාන්ත ශාලාව මුළු රටටම සම්පතක්. දේශීය වෙළදපොලේ පාසල් දරුවන්ගෙ පාවහන් පවතින මිලෙන් සියයට තිහක් අඩුවෙන් ලබාදීමට මෙමගින් හැකිවෙනවා. ඒ වගේම ක්‍රීඩා හා ඇවිදීමේ පාවහන් ජාත්‍යන්තර සන්නාමවලට සමාන උසස් තත්ත්වයෙන් මෙහි නිර්මාණය වන බව දැනගන්න ලැබුණා.

මේ හැම පාවහන් යුගලයක්ම නිර්මාණය වන්නෙ Made In Sri Lanka සංකල්පය පෙරදැරිවයි. නිටඩ් තාක්ෂණය යොදාගනිමින් සියයට 70ක් පමණ එකතු කළ අගයක් මත මෙම නිෂ්පාදන කාර්ය ඉටුවීම විශේෂිතයි. ඒ නිසා මේ හැම පාවහන් යුගලකම තිබෙන්නෙ ශ්‍රී ලාංකික අභිමානය.

මිත්‍රවරුනි,

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව අපේ ඉලක්කය මේ රට දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් තුළ සංවර්ධනය කිරීම. ආනයන සීමා කරමින්, අපේ දේශිය ගොවියා මෙන්ම කර්මාන්තකරුවා දියුණු කරන්න අප ප්‍රතිමත්තිමය තීන්දුවක් ගත්තා. කහ ඇතුළු කුළු බඩු විතරක් නෙමෙයි අපේ රටේ වැවෙන බව බෝග රටින් ගෙන්වන එක නතර කළා. දැන් ඉබේම අපේ රටේ ගොවියාට එහි වාසිය ලැබෙනවා. තව පැත්තකින් මහජනතාවටත් අපේ රටේ උසස් තත්ත්වයේ නිෂ්පාදන පරිභෝජනය කරන්න අවස්ථාව උදාවෙනවා.

මේ කර්මාන්තශාලවත් අද පටන් පාවහන් නිෂ්පාදනය කළාම, රබර් කිරි ගොවියන්ටත් ඉන් ආර්ථික වාසි අත්වෙනවා. ඔවුන්ගේ පවුල්වල අදායම ඉහළ යනවා. ඒ විතරක් නෙමෙයි අපේ තරුණ පරපුරට රැකියා අවස්ථා උදාවෙනවා.

වෙනදා මේ වගේ කර්මාන්ත ශාලාවක තාක්ෂණික දැනුම ගන්න පිටරටම යන්නම ඕනි. දැන් අපේ තරුණ පරපුරට ඒ දැනුමත් මෙහේම ලබන්න පුළුවන්. මේ හැමදේම එකතුවුණාම අගය එක් කළ නිෂ්පාදනයකින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභය රටටම ලැබෙනවා.

දකුණු ආසියාවේ දෙවැනි විශාලතම මේස් අපනයන නිෂ්පාදන ආයතනයත් ඔබට අයත් මේ ආකාරයේම දැවන්ත සේවාවක් සපයන ආයතනයක්.

ඒ නිසා ඇල්පෙනෙත්තක්වත් හදන්නෙ නැති ජාතියක් ලෙස තවදුරටත් අපි අපටම චෝදනා කර ගැනීම ඵලක් නැහැ. අතීතයෙන් හොද දේ රැගෙන අනාගතය වෙනුවෙන් අද අපි ක්‍රියාත්මක වෙන්න ඕනි.

සෞභාග්‍යමත් දේශයක් කරායන ගමනට මෙවන් කර්මාන්ත ශාලවක් ලබා දෙන ශක්තිය අති විශාලයි. මේ සදහා සම්බන්ධ සියලු දෙනාටම මගේ සුබ පැතුම් එක්කරනවා.

ඔබ සැමට සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවැසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වෙළෙඳ කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත, යෝ බ්‍රෑන්ඩ් (Yoo Brand) පාවහන් සමාගමේ සභාපති හේමන්ත පෙරේරා මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress