අග්‍රාමාත්‍යතුමාට සෙත්පතා තෙසැත්තෑ ඥාණ පූජාවක්
Posted on January 29th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ 2021.01.28 දින රාත්‍රියේ පැවැත්විණි.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි මෙම තෙසැත්තෑ ඥාණ පූජාව පැවැත්වූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයන් හා බැතිමතුන් පිරිසක් මෙම ආශිර්වාදාත්මක වැඩසටහන හා එක්වූහ.

නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වහන්සේ මෙහිදී තෙසැත්තෑ ඥාණ පූජාවේ නිමිත්ත පැහැදිලි කළහ.

මේ රටේ පහල වූ ජන නායකයන් අතර එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා හැරුනම යන යන තැනට ජන ගඟක් ගලන්නෙ අපේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාටයි. එය අතිශෝක්තියක් නෙමෙයි. කාටවත් ඒක නෑ කියන්න බැහැ. එදා ඉදන් ජන හදවත්වල ජීවත්වුණ ජන නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා.

ජේ.ආර්.ජයවර්ධන මහත්මයාගේ කාලේ අභයාරාමයට බෝම්බ ගැහුවා. හැබැයි ජේ.ආර් ජයවර්ධන මැතිතුමා හයෙන් පහක බලයක් ගත්තෙත් මෙතෙන්ට ඇවිත් පළවෙනි පහන මෙතන තියලයි. එතුමා ජය ගත්තෙ මෙතනින්.

 හැබැයි බෝම්බ ගහපු වෙලාවේ කිසිම ජන නායකයෙක් මෙතෙන්ට ආවේ නැහැ. පොලිසිය ආවෙත් නැහැ. නමුත් එවකට මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මැතිතුමා පිජාම සරමක් ඇදගෙන එවලෙම මෙතනට ආවා. ඇවිල්ලා මොකද හාමුදුරුවනේ වුණේ කියලා ඇහුවා. ජනතාවට කරදරයක් වු අවස්ථාවල මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා අවංක ජන නායකයෙකු ලෙස කටයුතු කළා. මේ රටේ හැම ජනතාවම ඒක දන්නවා. මිනිස්සුන්ගෙ විශ්වාසය තියෙන්නෙ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟයි. ඒ නිසා ඔබතුමා ආරක්ෂා කරගැනීම කෘතවේදී මහා සංඝරත්නය සහ ජනතාවගේ පරම යුතුකමක් යැයි අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි එහිදී අනුශාසනාවක් කරමින් මෙසේ පැවැසූහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැ දකින්න ආවම, උන්වහන්සේ ඇහුවා, අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට සෙත්පතා ආශිර්වාද පිංකමක් කරන්න ඕන කියලා. මම කිව්වා අපි එතුමාට සෙත් පතන්නෙ නැතිව වෙන කාට සෙත් පතන්නද කියලා, අපි අහල තියෙනවා අතීතයේ එළාර ගැන දුටු ගැමුණු ගැන. අවුරුදු 44ක් එළාර මේ රට පාලනය කෙරුවා. දුටු ගැමුණු කියන රුහුණෙ පුත්‍රයෙක් ඇවිල්ලා අවුරුදු 44ක් අපිව පාගගෙන හිටපු එළාරගෙන් මේ රට බේරා ගත්තා. දාගැබ් මහ වැව් ඉදිවෙලා අපි එදා අභිමානවත් ජාතියක් හැටියට මේ පුණ්‍ය භූමියේ නැගී සිටියා.

අවුරුදු 30ක් අපි ප්‍රභාකරන් නිසා මරණය අතේ තියාගෙන ඇවිදපු ජාතියක් බවට පත්ව සිටියා. දිනන්න බෑ කිව්වා. අවුරුදු 30කට පස්සෙ රුහුණෙන් ආපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2009 මැයි මාසේ 18 වැනිදා නන්දිකඩාල්වලදි ප්‍රභාකරන්ට උත්තරය දීලා අවුරුදු 44කට පස්සෙ එළාරගෙන් රට බේරා ගත්ත වගේ අවුරුදු 30කට පස්සෙ මේ රට එක්සේසත් කළා.

මිනිස්සුන්ට ජීවිත දානය දුන්නා.

ඒ පිනම ඇති ඔබතුමාට. දේශපාලන මතිමතාන්තර කුමක් වුවත් අපේ හදවතේ ගැඹුරුම තැන ජීවත්වන ජන නායකයකු වන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යැයි ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පැවසූහ.

මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන ගුණපාල රත්නසේකර, ප්‍රේමනාත් සී දොලවත්ත, ‍ගෙවිදු කුමාරතුංග මහත්වරු ඇතුළු බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress