බෞද්ධ ජනරජ ප්‍රවාදය – 2 වැනි කොටස-රාජ්‍යයේ බලය
Posted on January 30th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සංස්කෘතික ආධිපත්‍යයකින් තොරව රාජ්‍යයකට පැවැත්මක් නොමැති බව අපි දැන් දනිමු. සැබැවින් ම රාජ්‍යය යනු ද සංස්කෘතික නිර්මිතයකි. එය ස්වභාවික නිර්මාණයක් නොවේ. එකී මූලික අවබෝධය මත පිහිටා රාජ්‍යයක බලය තීරණය වන ආකාරය පිළිබඳ ව අපි විමසා බලමු. තව ද, අප රටෙහි රාජ්‍ය බලය තහවුරු කිරීම උදෙසා එම කරුණ බල පා ඇති ආකාරය ද අපි මෙයින් හඳුනා ගනිමු.

යම් රාජ්‍යයක සීමාව තීරණය කරනුයේ එය සතු සංස්කෘතියේ ශක්තිය අනුව ය. ඇතැම් ජාතිහු තමන්ට උරුම භූමියේ සීමාව ඉක්මවා වෙනත් බල ප්‍රදේශ ද තමන් සන්තක කර ගනුයේ එහි සංස්කෘතික බලය ක්‍රියාත්මක කරවීමෙනි. පසුගිය සියවස් පහක කාලය තුළ අපි අත්දුටු යටත්විජිතවාදය යනු ස්වභාවික සංසිද්ධියක් නොවේ. එය හුදෙක් ම සංස්කෘතික බලහත්කාරකමකි. ඔවුහු ඒ උදෙසා හමුදා, තුවක්කු, වෙඩි බෙහෙත්, නැව් යන නිමැවුම් යොදා ගත්හ.

ආර්ථික සහ තාක්‍ෂණික බලය යොදා ගනිමින් රාජ්‍ය බලය වෙනත් භූමි ප්‍රදේශ කරා ව්‍යාප්ත කරවීමට ද ඇතැම් ජාතිහු කටයුතු කරති. මෙකී ආර්ථික – තාක්‍ෂණික කාර්යයන් අයිති වන්නේ ද මිනිසාගේ නිමැවුම් තුළට ය. මේ සියල්ල ඒ ඒ සංස්කෘතිය සතු දැනුමෙහි සහ එම දැනුම භාවිතයෙහි ප්‍රතිඵල වේ. මුල දී කඩු, දුනු, ඊතලවලට සීමා වූ තාක්‍ෂණික බලය පසුව තුවක්කු, නැව්, ගුවන් යානා දක්වා වර්ධනය කෙරිණි. යටත්විජිත සමයේ දී ආක්‍රමණිකයෝ තාක්‍ෂණයේ බලයෙන් ආර්ථිකය ද ආර්ථිකයේ බලයෙන් තාක්‍ෂණය ද වර්ධනය කර ගත්හ.

පශ්චාත්-යටත්විජිත සමයේ බලවත් ජාතීහු තම ආධිපත්‍යය පතුරුවන්නේ දැනුම සහ සංස්කෘතික ඇගැයීම් ඔස්සේ ය. බලහත්කාරයෙන් හෝ විවිධ උපාය යොදා හෝ තම සංස්කෘතියට පොළඹවා ගත් මිනිසුන්ගේ සේවය ද ඔවුහු මේ සඳහා ලබා ගනිති. එයට අමතරව, විවිධ වූ තොරතුරු තාක්‍ෂණික යෙදවුම් ද මේ අරභයා ඔවුහු භාවිතා කරති. මෙ ලෙස පශ්චාත්-යටත්විජිත සමයේ ආධිපත්‍යය පැතිරවීමට බලවත් ජාතීන් විසින් යොදා ගනු ලබන්නේ ඔවුන් සතු මෘදු බලය ය. මෙකී සියල්ල ම සංස්කෘතික නිර්මිතයෝ වෙති.

විවිධ වූ ආක්‍රමණ හමුවේ නො සැළී සිටීමේ ශක්තිය රාජ්‍යයකට ලබා දෙනුයේ ද එය සතු සංස්කෘතිය විසිනි. හමුදා ආක්‍රමණවලට එරෙහිව මිනිසුන් සටන් කරනුයේ ඒ අරභයා ඔවුන්ගේ මනස සූදානම් කර තිබෙන බැවිනි. මෙය කරනුයේ ද සංස්කෘතිය විසිනි. ඉතිහාස අත්දැකීම්, වීරයන් පිළිබඳ ප්‍රවෘත්ති, තම සංස්කෘතියේ විශේෂත්වය, හැම දෙනාට ම පොදුවේ පිළිගත හැකි සංස්කෘතික සංස්ථාවක් රැක ගැනීමේ අවශ්‍යතාව යන කරුණු විසින් ඔවුන්ව මෙහෙයවනු ලබති. එහෙයින් තමන් මියයන බව දැන දැන ම සන්නද්ධ ගැටුම්වල ඉදිරි පෙරමුණෙහි සටන් කිරීමට ඔවුහු කැප වෙති.

වසර දෙදෙහසකට වැඩි කාලය තුළ මෙ ලෙසින් සිංහලයන් කළ කැපකිරීම්වල සහ සටන්වල ප්‍රතිඵල තුළින් ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය තීරණය වී තිබේ. එහි දී, පොදුවේ සියලු දෙනා හට පිළිගත හැකි සංස්කෘතික සංස්ථාවක් රැක ගැනීම අරමුණු කරගෙන ඔවුහු ක්‍රියා කළහ. එම සංස්කෘතික සංස්ථාව අන් කිසිවක් නොව අප විසින් උරුම කරගත් ශ්‍රී සම්බුද්ධ ශාසනය යි.

මෙයින් වසර දෙදහස් තුන්සියයකට පමණ පෙර මහා විහාරය ස්ථාපිත කළ මොහොතෙහි සිට බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය පිළිබඳව සිංහලයෝ සැළකිලිමත් වූහ. ක්‍රම ක්‍රමයෙන් එය මෙ රට වසන අතිමහත් බහුතරය හට පොදුවේ පිළිගත හැකි සංස්කෘතික සංස්ථාව බවට පත්විය. ඉක්බිතිව එය සුරක්‍ෂිත කිරීම සහ පෝෂණය රාජ්‍යයේ වගකීම බවට ද පත් කෙරිණි. මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව හුදෙක් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ම වන්නේ ය” යනුවෙන් දුටුගැමුණු මහ රජතුමා කළ ප්‍රකාශයෙන් එම ජාතික අරමුණ ප්‍රකාශ කෙරිණි.

රුවන්වැලි මහා සෑය ප්‍රමුඛ වෙහෙර විහාර ඉදිකිරීම, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම, අටුවා ලිවීම, ශාසන ශෝධන සිදුකිරීම, ධර්ම ග්‍රන්ථ ලිවීම, අග්නිදිග ආසියාතික රටවලට ධර්මය ප්‍රචාරය කිරීම, අපගේ සම්මතයන් අනුව සැකසුණු ශාසනික ආයතන එම රටවල පිහිටුවීම, උපසම්පදාව නැවත ගෙන ඒම, ක්‍රිස්තු වර්ෂ 1815 දී ඉංග්‍රීසීන් සමඟ අත්සන් කළ ගිවිසුමට ශාසනය රැකීමේ කොන්දේසිය ඇතුළත් කරවීම සහ මෑත කාලීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල එය රජයේ වගකීමක් ලෙසින් සඳහන් කරවීම යන කරුණු මගින් එම අරමුණ නැවත නැවත ද අඛණ්ඩව ප්‍රකාශ කිරීමට සිංහලයෝ සමත් වූහ.

ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය තහවුරු කර ගැනීම අරභයා සිංහලයන් හට අරමුණු කරගත හැකි වෙනත් පොදු සංස්කෘතික කාරණයක් නොමැති ද? මෙම කාර්යය වෙනුවෙන් සිංහල භාෂාව සුරැකීම වැනි අරමුණක් යොදා ගත නො හැකි ද? එසේ නොමැති නම් වෙනත් සමාජ – ආර්ථික අරමුණක් මූලික කරගෙන මෙම කාර්යය සිදු කළ නොහැකි ද? මෙම කරුණු අපි මී ළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress