අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් විදේශීය ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ
Posted on February 3rd, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන විදේශීය ශ්‍රමිකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් පත් කළ කොමිසමේ නිර්දේශ අනුව මෙම ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ ගරු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය  2021.01.26 දා උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව සතියක කාලයක් ඇතුළත ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) සමඟ සාකච්ඡා කර විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව ඔවුන්ගේ ඥාතීන් හා මහජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.

ආර්ථික අපහසුතාවලින් පෙළෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.

ඒ අනුව කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට අග්‍රාමාත්‍යතුමා විශ්වාසය පළ කළේය.

මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32000ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22483 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress