එක නීතියක්
Posted on February 14th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

නීතිය හැමෝට ම සමානව ක්‍රියාත්මක වෙන්න ඕන කියලා ලිබරල් අදහස්වලින් කියැවෙනවා. නීති ගොඩක් තියෙනවා නම් මේක කරන්නේ කොහොම ද කියලා අපේ ලිබ්බෝ කියන්නේ නෑ. අපේ ලිබ්බෝ වටේ අඳුරු තැන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ අයට එක රටක් – එක නීතියක්” කියන හඬ ඇහෙන්නේ නෑ. අපේ ලිබ්බෝ කියන්නේ මහ කුහක පිරිසක් හින්දා අපි ඒ ගැන වදවෙන්න ඕනත් නෑ.

අපිට අවශ්‍ය එක නීතිය” මොකක්ද? ඒ, රෝම – ලන්දේසි නීතිය ද? අපි එහෙම හිතනවා නම් ඒක අපේ ලොකු අවුලක්.

රටකට තමන්ගේ ම කියලා නීතියක් හදාගන්න බැරි නම් ඒක ලොකු අඩුවක්. අපේ රටට හැබෑ නිදහසක් ලබා ගන්න ඕන නම් අපි මේ ටයි-කෝට් නීතියෙන් ගැලවෙන්න ඕන. අපේ අවශ්‍යතාවලට ගැලපෙන නීති ක්‍රමයක් අපි හදාගන්න ඕන. මේක තමයි ජාතිකවාදී අදහස්වල ඉන්න අයගේ අරමුණ විය යුත්තේ. ඒ විදිහට අපි හදා ගන්න නීතිය තමයි අපේ එක නීතිය” විය යුත්තේ.

මේක එක දවසකින් සාක්‍ෂාත් කරගන්න පුළුවන් අරමුණක් නෙවෙයි. මේ සඳහා කාලයක් ගත වෙනවා. ඒ සඳහා අවශ්‍ය අධ්‍යයන කටයුතු, පර්යේෂණ කටයුතු කාලයක් තිස්සේ කරන්න ඕන.

ඒ කොහොම වුනත්, මේ අරමුණ ඇති කරගන්න නම් මහ කාලයක් අවශ්‍ය වෙන්නේ නෑ. මුලින් ම කරන්න ඕන මේ අරමුණ පිහිටුවා ගන්න එක. අරමුණ පිහිටුවා ගත්තාට පස්සේ ඒ පැත්තට යන ගමන ආරම්භ කරන්න පුළුවන්.

ඒත් එහෙම ගමනක් යන බවක් පේන්න නෑ. සිංහලෙන් නීතිය උගන්නන එකත් නවත්තනවා නම් එහෙම ගමනක් යන්නේ කොහොම ද? ඇත්තෙන්ම මේ ගමන යන්න නම් නීති විද්‍යාලයේ පාලි උගන්නන්නත් වෙනවා. අපේ පැරැණි මූලාශ්‍ර, විනය පිටකය, ඒ සඳහා ලියැවුණු අටුවා ටීකා හදාරන්න වෙනවා. ඒ වගේ ම, බෞද්ධ රටක නීතියෙන් අපේක්‍ෂා කරන්නේ මොකක්ද කියන කාරණය පැහැදිළි කරගන්න වෙනවා.

මෙහෙම වැඩක් ගැන හිතන්නෙවත් නැති තැනක අපේ නීතියක් හැදෙන්නේ නෑ. ඉතින් රෝම – ලන්දේසි නීතිය ආනයනය කළා වගේ ම ෂරියා නීතිය ආනයනය කරන්නත් අපිට සිද්ද වෙයි.

ජනරජයේ බලය තියෙන්නේ ජනතාවට. ඒ බලය ජනතා පරමාධිපත්‍යය විදිහට හඳුන්වලා තියෙනවා. ඒ බලයට ඇතුළත් කරුණු හතරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ කරුණු හතර ඉදිරිපත් කරලා තියෙන්නේ වචන දොළහකින්. ඒ, මේ විදිහට.

1. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය

2. ජනතාවගේ විධායක බලය

3. ජනතාවගේ අධිකරණ බලය

4. ජනතාවගේ ඡන්ද බලය

ජනතාවගේ අධිකරණ බලයට අදාළ විධායක කාර්යයක් ඉටුකිරීමට අධිකරණ ඇමැති කෙනෙක් පත් කරනවා. ඒ ඇමැතිවරයා සමස්ත ජනතාවට ම අදාළ දේ කරන කෙනෙක් වෙන්න ඕන. එක පිරිසක් ගැන විතරක් නිතර ම කතා කරන, ඒ වෙනුවෙන් විතරක් පෙනී ඉන්න කෙනෙක්ට ඒ රාජකාරිය පවරන්න හොඳ නෑ.

දැන් ඒ රාජකාරිය පවරලා තියෙන අලි සබ්‍රි මහත්තයා මේ කාරණය තේරුම් ගත්ත කෙනෙක් නෙවෙයි. එතුමා සමස්ත ජනතාවගේ නීති අවශ්‍යතා ගැන කතා කරන කෙනෙක් නෙවෙයි. ඉතින් මේ සඳහා සුදුසු කෙනෙක් පත් කරන එක ආණ්ඩුවේ වගකීමක්. අලි සබ්‍රි මහත්තයාට මුස්ලිම් කටයුතු ඇමැති ධුරය ගැලපෙන බව පේනවා. ඉතින් එතුමාට ඒ රාජකාරිය පවරන්න පුළුවන්.

ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමලා තියෙනවා. ඒ වගේ ම, බුද්ධ ශාසනය සුරක්‍ෂිත කරලා පෝෂණය කිරීම රජ‍යේ වගකීමක් බවටත් පත් කරලා තියෙනවා. විහාර සහ දේවාලගම් පනත” අදාළ වෙන්නේ මේ වගකීම ඉටු කරන්න. දැන් ඉන්න අධිකරණ ඇමැතිවරයා ඒ ගැන දන්නේ නැතිනම් ඒකෙන් කියැවෙන්නේ මේ තනතුර දරන්න ඔහු නුසුදුසුයි කියන එක.

ඉතින් මේ වෙලාවේ මුලින් ම කරන්න ඕන අධිකරණ ඇමැතිකමට සුදුස්සෙක් පත් කරන එක. රටටට අවශ්‍ය එක නීතිය” මොකක්ද කියලා අපිට ඊට පස්සේ හිතන්න පුළුවන්.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress