බෞද්ධ ජනරජ ප්‍රවාදය – 5 වැනි කොටස -සසුන රකින ජාතියේ ඇරඹුම
Posted on February 15th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සිංහල ජාතියේ ඉතිහාසය සහ මෙ රට ශාසනික ඉතිහාසය එකිනෙකින් වෙන් කළ නො හැකි ය. බුද්ධ පරිනිර්වාණ දින තමන් වන්දනයට සපැමිණි දේව සමාගමයෙහි මුල් තැන් ගෙන සිටි ශක්‍ර දේවේන්ද්‍රයාණන් අමතා තථාගතයාණන්වහන්සේ පැවරූ වගකීමකින් සිංහල ජාතියේ ඉතිහාසය ඇරැඹෙයි. තථාගතයාණන්වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට වදාරා ඇත්තේ සිහබා රජ පුත් විජය කුමරු සත්සියයක් පිරිවර සහිතව ලාට රටින් විත් අද ලක්දිව ගොඩ බැස්සේ ය. දේවේන්ද්‍රය, මාගේ ශාසනය ලක්දිව පිහිටන්නේ ය. එහෙයින් පිරිවර සහිත ඔහු ද ලංකාද්වීපය ද මොනවට රකුව” යනුවෙනි.

මෙම බුද්ධ වචනය අනුව යමින් ශාසනය රැක ගැනීමට සිංහලයෝ කටයුතු කළහ. එහෙයින් මේ වනවිට අඛණ්ඩ දීර්ඝතම බෞද්ධ ඉතිහාසයට උරුමකම් කියන්නෝ බවට අපි පත් වී සිටිමු. ශාසනය සුරැකීම යනු තථාගතයාණන්වහන්සේ බුදු ඇසින් දැක කළ දේශනාව අනුව අප විසින් කරනු ලබන උතුම් වූ කාර්යයකි. මෙම බුද්ධ වචනය ඉක්මවා ගොස් මෙ රට ශාසනික ඉතිහාසයට ගර්හා කිරීම අපට තරම් නොවේ.

තරුණ කාලයේ දී විජය කුමරු විසින් කළ නොපනත්කම් හේතුවෙන් සිංහල ජාතියේ ආරම්භය අපිරිසිදු එකක් යැයි සැළකිය නො හැකි ය. විජය කුමරු එ ලෙසින් කටයුතු නො කළේ නම් ඔහුගේ ලංකාගමනය සිදුවීමට ඉඩක් නැත. එසේ වූයේ නම්, තම පිය රජුගේ ඇවෑමෙන් ඔහු ලාට රට ම රජ කරනු ඇත්තේ ය. තව ද, මෙ රට අරක්ගෙන සිටි යකුන් පැරැදවීමේ ශක්තිය විජය කුමරු උරුම කර ගත්තේ ඔහු තුළ වූ චණ්ඩභාවය නිසාවෙනි. ඉතා කාරුණික උපාසකයකු වූයේ නම් ඔහු යකුන් සමඟ නො ගැටෙනු ඇත. එහෙයින් එ කී චණ්ඩභාවය අප හඳුනාගත යුත්තේ ජාතියේ ආරම්භක කාර්යය උදෙසා ඔහු තුළ වූ විශේෂිත හැකියාවක් වශයෙනි.

යුද්ධයෙහි හපන් බොහෝ අය සාමාන්‍ය ජීවිතයේ දී සැර පරුෂ ලෙසින් හැසිරීමේ ඉඩක් වෙයි. අතීතයෙහි සිටි සහ වර්තමානයෙහි වසන රණවිරුවන්ගේ චරිත පිළිබඳ ව සළකා බලන කල්හි අප හට මේ බව තහවුරු වෙයි. එහෙයින් විජය කුමරු තරුණ කල කළ දාමරිකකම් සළකා අපගේ ඉතිහාසයෙන් ඔහුව පිටමං කිරීමට උත්සුකවීම බලවත් වරදකි. ඒ විජය නරශ්‍රේෂ්ඨ තෙමේ පළමු විෂම හැසිරීම් හැර දැහැමෙන් සෙමෙන් මුළු ලක්දිව අනුශාසනා කෙරෙමින් පුරා අටතිස් හවුරුද්දක් තාම්‍රපර්ණි නගරයෙහි රජකම් කෙළේ ය” යනුවෙන් මහාවංසය ම පවසන බැවින් මෙ කී ආරම්භය ගැන අප හට කිසිදු ගැටලුවක් ඇති නොවේ.

ජාතියක ආරම්භය සංස්කෘතික කාර්යයක් ලෙසින් විනා භෞතික සාධක ඇසුරින් පමණක් විග්‍රහ කිරීම වරදකි. එහෙයින් පුරාශිලා, මධ්‍යශිලා සහ නවශිලා යුගවලින් හමුවන ප්‍රාග්-ඓතිහාසික සාධක අපගේ සංස්කෘතියට සම්බන්ධ කර දැක්වීම නො කළ යුත්තකි. අනුරාධපුර ඇතුළු නුවර කර තිබෙන කැණීම් අනුව ක්‍රිස්තු පූර්ව හත්වැනි සියයෙන් පමණ පසු මෙ රටට සිදු වූ උතුරු ඉන්දීය සංක්‍රමණයක සාක්‍ෂි (උදාහරණ: උත්තර උද්දීප්ත කාල වර්ණ මැටි බඳුන්) හමු වී තිබේ. විජයාගමනය අයත් වන්නේ ද මෙ කී සංස්කෘතික සංක්‍රමණ සිදු වූ කාලවකවානුවට ය. එහෙයින් සසුන රකින ජාතියේ ඇරැඹුම වශයෙන් විජයාගමනය සැළැකීමේ කිසිදු වරදක් නොමැති බව අප හට පැහැදිළි වෙයි.

ක්‍රිස්තු පූර්ව හත්වැනි සියවසෙන් පසු සිදු වූ උක්ත සංක්‍රමණ නිසා අලුත් ශක්තිමත් සංස්කෘතියක් මෙ රට බිහිවිණි. විජයාගමනය විසින් එය සංකේතවත් කෙරෙයි. සිංහබාහු කතාවෙන් කියැවෙන්නේ බෙංගාල සහ ශාක්‍ය සම්මිශ්‍රණයෙන් එ කී අලුත් සංස්කෘතිය බිහි වූ ආකාරය යැයි අනුමාන කළ හැකි ය. මෙයට පෙර ලිපියෙන් පැවසූ ආකාරයට සිංහ සංකේතයෙන් බෞද්ධ උරුමය නිරූපණය කෙරෙයි. තව ද, මෑත කාලයේ දී කළ ජාන පරීක්‍ෂණවලින් සිංහල – බෙංගාල සම්බන්ධය ද තහවුරු වී තිබේ. බටහිර සහ දකුණු මියන්මාරය ප්‍රදේශයෙන් සිදුවන්නට ඇතැයි සිතිය හැකි සංක්‍රමණ (නාග සංක්‍රමණ?) පිළිබඳව පර්යේෂකයන්ගේ අවධානය තවමත් යොමු වී නැත.

ඓතිහාසික කරුණු ඉතා පැහැදිළිව තිබිය දී අද ඇතැම් පර්යේෂකයන් උත්සාහ කරන්නේ බුද්ධ ශාසනය රකින සිංහල ජාති‍යේ ආරම්භය බොරුවක් බව තහවුරු කිරීමට ය. කුවේණි ඇතුළු යක්‍ෂයන් පිළිබඳ ඔවුන්ගේ අර්ථකථන මෙම උත්සාහය මත පදනම් වී තිබේ. ශාසනික අවශ්‍යතා මුල් කරගනෙ මෙම කරුණු විග්‍රහ කිරීමට ඔවුහු මැළිවෙති. යම් ජාතියකට ඉතිහාසයක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය පිළිබඳව ඔවුහු නො සිතති.

ජාතියකට ඉතිහාසයක් අවශ්‍ය වන්නේ එහි බලය තහවුරු කර ගැනීම වෙනුවෙනි. ජාතික අරමුණුවලට පටහැනි ඉතිහාසයක් තහවුරු කිරීම වෙනුවෙන් කරන විකෘති පර්යේෂණවලින් සිදු වනුයේ ජාතියේ ශක්තිය පිරිහීම ය. ජාතියක් වශයෙන් අපට අවශ්‍ය වන්නේ අපගේ බලය තව තවත් වැඩි කිරීමට හේතුවන ඉතිහාසයක් විනා ලෙඩා මළත් බඩ සුද්දයි” ආකාරයේ විකෘති අරමුණු මත කරනු ලබන ඊනියා පර්යේෂණ නොවේ.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress