සංස්කෘතික හා ආගමික වශයෙන් බැඳුණු ගැඹුරු ද්විපාර්ශ්වික සහයෝගීතාවය පකිස්තානය සමඟ සර්ව කාලීන මිත්‍රත්වයකට මග පෑදුවා – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on February 23rd, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා ආගමික වශයෙන් බැඳුණු ඉතා ගැඹුරු ද්විපාර්ශ්වික සහයෝගීතාවය සර්ව කාලීන මිත්‍රත්වයකට මග පාදා ඇතැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.02.23 දින පස්වරුවේ පැවසීය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරය අතරතුර අරලියගහ මන්දිරයේ පැවති ද්විපාර්ශ්වික නියෝජිත හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළකළ සම්පූර්ණ අදහස් දැක්වීම මෙසේය. 

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යතුමනි, ඔබ හා ඔබගේ දූත පිරිස සුහඳ හා උණුසුම් ලෙස මම පිළිගනිමි.

අග්‍රාමාත්‍යතුමනි, පසුගිය වසරේ මහ මැතිවරණයෙන් පසු මම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු විදේශ රාජ්‍ය නායකයා ඔබයි.

මගේ ආරාධනය පිළිගනිමින් කොවිඩ්-19 අවදානම ඇතුළු විශාල අභියෝග මධ්‍යයේ වුවද, ඔබ ඉතා මිත්‍රශීලීව ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔබගේ සංචාරය සංකේතවත් කරන්නේ ඔබ සහ ඔබේ රජය මගේ රටේ ජනතාව කෙරෙහි දක්වන දැඩි ආදරයයි.

අර්බුදකාරී අවස්ථාවන්හිදී ඔබ ගත් තීරණාත්මක තීරණවලින් පැහැදිලි වන ඔබගේ ධෛර්යය සහ ශ්‍රේෂ්ඨ නායකත්වය මම අගය කරමි.

මෙම සංචාරය පවා දශක දෙකකට පෙර ඔබ අභියෝග හමුවේ පාකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් ආකාරයේ නායකත්ව ගුණාංග පිළිඹිඹු කරවයි.

අතිගරු අග්‍රාමාත්‍යතුමනි,

වසර ගණනාවක දේශපාලන ක්‍රියාකාරිත්වය තුළින් පොදු ජනතාව බලය ලබා දී ඔබව ඉහළට ඔසවා තැබූ ආකාරය මම නිරීක්ෂණය කළෙමි. පීඩිතයන් සහ අගහිඟකම් ඇති අය කෙරෙහි ඔබ තුළ ඇති සැබෑ ආදරය එමගින් පෙන්නුම් කරයි. 

බිම් මට්ටමේ සහ අඩු වරප්‍රසාද සහිත ජනතාව සවිබල ගැන්වීම උදෙසා වූ ඔබේ ජනතා කේන්ද්‍රීය පාලනය අපගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා එකිනෙක බැඳී පවතියි.

එළැඹෙන මැතිවරණය සාර්ථකත්වය වෙනුවෙන් ඔබටත් ඔබේ ආණ්ඩුවටත් මාගේ සුභාශිංසනය පිරිනමමි.

අපගේ රටවල් දෙක අතර පවතින්නේ ඓතිහාසික සබඳතාවකි.  සංස්කෘතික හා ආගමික වශයෙන් බැඳුණු ඉතා ගැඹුරු ද්විපාර්ශ්වික සහයෝගීතාවය සර්ව කාලීන මිත්‍රත්වයකට මග පාදා ඇත.

අපගේ රටවල් දෙක අතර පවතින සබඳතාව මේ වනවිට බොහෝ ක්ෂ්ත්‍ර දක්වා ව්‍යාප්ත වී තිබේ. නමුත් අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අප විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය.

ආයෝජන සහ වාණිජ හවුල්කාරිත්වය සහිත ශක්තිමත් ව්‍යාපාරික දූත පිරිසක් සමඟ මෙහි පැමිණීම ගැන මම අග්‍රාමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා. ආර්ථික අවිනිශ්චිතතාවයකදී පෞද්ගලික අංශයේ ආයෝජන අපගේ ආර්ථිකයන්ට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.

2017 දී මෙන්ම ඊට පෙර ජනාධිපතිවරයා ලෙස පාකිස්තානයේ මා කළ නිල සංචාරය මේ අවස්ථාවේදීත් සතුටින් සිහිපත් කරමි.එම සංචාර දෙකම ඉතා ඵලදායී හා අමතක නොවන සංචාරයන්ය. 

පාකිස්තානයේ මිත්‍රශීලී ජනතාව විසින් මට සහ මගේ දූත පිරිසට දුන් ආගන්තුක සත්කාරය සහ උණුසුම් පිළිගැනීම මගේ සිතට තදින්ම කාවැදුණා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අධිකරණ අමාත්‍ය අලි සබ්රි, ප්‍රාදේශීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය; සහ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අගමැති ලේකම් ගාමිණි සෙනරත්, විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල,  ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress