යතිවර අභිමන්-2021 අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
Posted on February 27th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උපහාර උළෙල-2021 ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2021.02.27 දින පස්වරුවේ පැවැත්විණි.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම උත්සවයේ දී හම්බන්තොට ශාසනාරක්ෂක මණ්ඩලයේ හිමිවරු හත් නමකට අග්‍රාමාත්‍යතුමා අතින්ද අනෙකුත් හිමිවරුන්ට මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින්ද උපහාර ප්‍රදානය කෙරිණි.

වසර හතරකට ආසන්න කාලයක් ශාසනාරක්ෂක මණ්ඩලය වෙනුවෙන් කළ සේවය අගයමින් මහා සංඝරත්නය උදෙසා මෙම උපහාර උළෙල පැවැත්විණි.

දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම උපහාර උළෙල සංවිධානය කර තිබේ.

යතිවර අභිමන් උපහාර උළෙල-2021 අමතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලවල රාජකාරි කටයුතුවල නිරතව සිට තම සේවා කාලය අවසන් කරමින් වසර හතරක් පුරා දහම් පාසල්වල දරුවන් වෙනුවෙන් කළ උතුම් සේවය ඇගයීමට අපට වගකීමක් හා යුතුකමක් තිබෙනවා. එය ඇගයීමට අද දිනයේ මේ මොහොත අවස්ථාවක් කර ගන්නවා. ඇත්ත වශයෙන්ම දහම් පාසල්වල උගන්වන ගුරුවරු දරුවන්ට උගන්වන්නේ ඒ කටයුත්ත වෙනුවෙන් කිසිදු වේතනයක් නැතිවයි. මේ කටයුත්ත සම්බන්ධ වැඩිදෙනෙක් ගුරුවරු. ඔවුන් දවස් පහ වැඩකරලා ඔවුන්ගෙ නිවාඩු දිනය දහම් පාසල් වෙනුවෙන් යොදවනවා.

ඒ කටයුත්ත අප හැම අවස්ථාවකම දිරි ගැන්විය යුතුයි. දහම් පාසල්  තුළින් දරුවන් යහපත් පුරවැසියන් කරන්න පුළුවන් කියන විශ්වාසය අපට තිබෙනවා. හිර ගෙවල් බැලුවොත්, හිර ගෙවල්වල පිරිලා ඉන්න වැඩි දෙනෙක් දහම් පාසලකටවත් ගියපු නැති අය.

දහම් පාසලකට ගියාම ළමයෙකුගෙ හික්මීම, ළමයෙකුට දහමට ලැදියාවක් ඇති කිරීම, ඒ තුළින් සමාජයේ හික්මීමක් ඇතිවෙනවා කියන විශ්වාසයෙන් තමයි රටක් දැහැමි සමාජයක් ලෙස ගොඩනගන්න පුළුවන් වන්නේ.

 බුදු දහම ආරක්ෂා කරගන්නත් දරුවන් යහමගට ගන්න භික්ෂූන් වහන්සේලා කරන කැප කිරීමත් අපි හැම අවස්ථාවකම අගය කරනවා. අපේ රටේ බෞද්ධ දහම් පාසල් ආරම්භ කරලා වසර 125ක්  පිරීම නිමිත්තෙන් කසාගල රජමහා විහාරයේදී උත්සවයක් පැවතුණ බව ඔබ වහන්සේලා දන්නවා. ඒ වගේම තමයි මිෂනාරි අධ්‍යාපනය තුළින් අපේ බෞද්ධ අධ්‍යාපනය විනාශවීම වළක්වා ගැනීමට ගිහි පැවිදි දේශමාමක පිරිස් එදා දහම් පාසල් ආරම්භ කළා.

ඕල්කට් තුමාගේ සංකල්පයක් අනුව 1895 අගෝස්තු මාසේ 03 වැනිදා ලංකාවේ පළමුවැනි දහම් පාසල ලෙස ගාල්ල විජයානන්ද දහම් පාසල ආරම්භ වුණා. දහම් පාසල් පවත්වාගෙන යාමට මහා සංඝරත්නය සහ ගුරුවරු කරන කැපකිරීම අප හැමවෙලාවෙම අගය කරනවා.

 දිස්ත්‍රික්කයක්, පළාතක් වගේම රටක් තුළ ආගමට ලැදි ජනතාවක් ගොඩනගනවා නම් ඒ දිස්ත්‍රික්කය, පළාත හෝ රට යහමගට ගෙන එන්න පුළුවන්කම තියෙනවා.

ඒ නිසා අපට දහම් පාසල් තුළින් වේවා, ඉරිදා දිනක හෝ පෝය දිනෙක වේවා හැම ආගමකම ආගමික කටයුතු සිදු කරෙන්නේ නම් ජනතාව ඒ පැත්තට යොමු කිරීම තුළ අපට අපරාධ අඩු කරන්න පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. හිර ගෙවල් පිරෙන එක නැවතෙයි කියලා අපි විශ්වාස කරනවා.

ඔබ වහන්සේලා ජනතාවට කිට්ටුවෙන් කරන මේ සේවය අප අගය කරනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

ගිරුවාගම් දොළොස්දාස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී කුඹුක්වැවේ චන්ද්‍රසෝම නාහිමි, කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමි, හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති අමරපුර සිරිසද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ වැඩබලන මහානායක උයන්වත්තේ සද්ධාරාම නාහිමි සහ හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ප්‍රධාන ලේඛකාධිකාරී රුහුණු මාගම්පත්තුවේ ද්විතීය අධිකරණ සංඝනායක නියෝජ්‍ය පරිවේණාධිපති කැන්දගස්මංකඩ ශ්‍රී රත්නාරාමාධිපති ගලපිටගල ප්‍රේමරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහි වැඩම කළ වදාළහ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, දකුණු පළාත් සභාපති සෝමවංශ කෝදාගොඩ, හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress