රාජ්‍ය ආයතනවල ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්
Posted on March 3rd, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.03 දින උපදෙස් දුන්නේය.

බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති අමාත්‍යංශ නිලධාරින්ගේ හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

ප්‍රමාදවෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍යතුමා අවධානය යොමු කළේය.

ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවීමට හේතුවී ඇත්තේ අන්තර් ආයතනික සබඳතා දුරස්ථව පැවතීම නිසා බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා එවැනි කටයුතු මින් ඉදිරියට මනා සන්නිවේදනයකින් යුතුව කාර්යක්ෂම කර ගැනීමට පියවර ගන්නැයි අමාත්‍යංශ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අනවසර ඉදිකිරීම් වෙනුවෙන් පියවර ගැනීම, අඩුපහසුකම් සහිත ජනතාව වෙනුවෙන්  නිවාස යෝජනා ක්‍රියාත්මක කිරීම, නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංවර්ධනයට දායක කර ගැනීම, තෙත් බිම් හා ඇළ රක්ෂිත ප්‍රකාශයට පත්කිරීම, සමුද්‍ර දූෂණය වැළැක්වීම, ධීවර වරායන්වල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය,  ධීවර වරායන්වල වැලි ඉවත් කිරීම, ප්‍රජා භූමි සංවර්ධනය ඇතුළු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට අයත් ආයතනවල ගැටලු රැසකට මෙහිදී අග්‍රාමාත්‍යතුමා විසඳුම් ලබා දුන්නේය.

වැලිකඩ බන්ධනාගාරය ප්‍රතිස්ථාපනය කිරීම, මාතර කොටුව සහ  මහනුවර රථ ගාල සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමුවිය.

සංවර්ධන කටයුතු ඉටු කිරීමේ දී ඒ ඒ රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධතා වඩා ශක්තිමත් කර ගැනීමෙන්   රටට සහ ජනතාවට සේවාවන් රැසක් ඉටු කිරීමට හැකි බවට ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී විශ්වාසය පළ කළේය.

ඒ අනුව 2015 වසරට පෙර පැවති රට සංවර්ධනය කිරීමේ වේගවත් ගමන මේ වන විට නැවත ආරම්භ වී ඇතැයි ද අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරි නිමල් පෙරේරා, අතිරේක ලේකම් ආචාර්ය එන්.එම්.එස්.බී යාලේගම මහත්වරු ඇතුළු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ සියලු ආයතනවල ප්‍රධානීහු එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress