බෞද්ධ ජනරජ ප්‍රවාදය – 9 වැනි කොටස- බෞද්ධ අපිට ප්‍රජාතන්ත්‍රවාදයක්
Posted on March 8th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ජනරජයක් යනු ජනතාවගේ ආධිපත්‍යයෙන් පාලනය වන රාජ්‍යයකි. ජනතා පරමාධිපත්‍යය යන්න අර්ථවත් වනුයේ ඒ සඳහා රාජ්‍යය තුළ පවතින අවකාශයේ ස්වභාවය අනුව ය. මෙයට පෙර ලිපියකින් සඳහන් කළ ආකාරයට පරමාධිපත්‍යයට ජනතාවගේ උපදේශන බලතල, පාලන බලතල, සාමූහික අයිතිවාසිකම්, මූලික පුද්ගලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන්නේ ය.” මෙම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා අවැසි අවකාශය සැකැසීම බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයෙන් සිදු කෙරෙයි.

ජනතාව එකිනෙකාගෙන් වෙන් කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිවල සරණ යෑම බෞද්ධ ජනරජය විසින් නො කළ යුතු ය. බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ම කාර්යය විය යුත්තේ මිනිසුන් එකතු කිරීම යි. එහෙයින් අප විසින් අනුගමනය කළ යුත්තේ පුද්ගලිකත්වය ඉක්මවා මිනිසුන් එකතු කිරීමට ඉඩ සළසන සාමූහික ප්‍රජාතන්ත්‍රවාදයකි. බටහිර බහුපාක්‍ෂික ප්‍රජාතන්ත්‍රවාදය යනු මිනිසුන් එකතු කිරීම අරභයා ඇති කළ එකක් නොවේ. ඉවරයක් නැති කල්ලි කණ්ඩායම් තුළට මිනිසුන් බෙදා වෙන් කිරීම ඒ තුළින් සිදු වෙයි. තව ද විවාද මූල (බද්ධ වෛරය, ගුණමකු බව, ඊර්ෂ්‍යයාව, කපටිකම. ලාමක අදහස්, තම දෘෂ්ඨිය තදින් වැළඳගැනීම) ඇති කිරීමට සහ වර්ධනයට ඉඩක් ද ඒ තුළින් සැළැසී තිබෙයි.

නිතර රැස්වීම පමණක් බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ නැත. සමගිව රැස්වීම ද, සමගිව කටයුතු කර, සමගිව විසිර යෑම ද ඒ වෙනුවෙන් සිදුවිය යුතු ය. බටහිර බහුපාක්‍ෂික ප්‍රජාතන්ත්‍රවාදය තුළ සමගිව රැස්වීමට ඉඩක් නොමැත. එම භේදකාරී ප්‍රජාතන්ත්‍රවාදයේ සරණ යෑම නිසා අප රටට සිදු වී ඇති විනාශයේ තරම මේ වනවිට අපි සැවොම මැනැවින් අවබෝධ කරගෙන සිටිමු.

බෞද්ධ ජනරජය තුළ අලුත් නීති පැනැවිය යුත්තේ පෙර සිට පැවැත එන සම්ප්‍රදායට අනුකූලව ය. ඒ සම්ප්‍රදාය බිඳීම, එය නොතකා ක්‍රියා කිරීම ජනරජයේ පරිහානියට හේතු වෙයි. ස්වකීය සම්ප්‍රදාය පිළිබඳව මැනැවින් දන්නේ වැඩිහිටියන් ය. එහෙයින් ඔවුනගේ වචනය පිළිගැනීම ජනතා නියෝජිතයන්ගේ යුතුකමෙකි. වැඩිහිටියන් යන්නෙන් අදහස් කරනුයේ වයෝවෘද්ධ අය පමණක් නොවේ. සීල වෘද්ධභාවය, ගුණ වෘද්ධභාවය, තපෝ වෘද්ධභාවය සහ ඥාන වෘද්ධභාවය කෙරෙහි ද මේ සැළැකීම සහ අවනත බව තිබිය යුතු ය. රාජ්‍ය පාලන උදෙසා ජනතා උපදේශනය සළසන උත්තරීතර උපදේශක සභාව” විසින් එකී වැඩිහිටි පිරිස නියෝජනය කෙරෙයි.

විෂයානුබද්ධ ජනතා ප්‍රවාහ” තුළට එක්වන අදාළ විෂයයන් පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති අය නියෝජනය කරමින් උත්තරීතර උපදේශක සභාව” බිහි වෙයි. මෙම නියෝජිතයන් ජනතා ඡන්දයෙන් පත්විය යුතු නැත. දැනට ක්‍රියාත්මක දෙවැනි ජනරජ ව්‍යවස්ථාව තුළ ජනතාවගේ අධිකරණ බලය” ක්‍රියාත්මක කරනුයේ ජනතා ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලබන නියෝජිතයන් විසින් නොවේ. අධිකරණ විෂයය ගැන ඉහළ දැනුමක් ඇති අය ඒ වෙනුවෙන් පත් කෙරෙයි.

කෙසේ වුව ද, සමස්ත ජනතාව නියෝජනය ආකාරයෙන් මෙවැනි පත්කිරීම් සිදු කළ යුතු වේ. රටේ සමස්ත ජන සංයුතියේ දළ නියෝජනයක් ජනතාවගේ බලතල ක්‍රියාත්මක කිරීමට ඇති කරනු ලබන සියලු ආයතනවලින් ප්‍රකාශ විය යුතු ය. ජනතාවගේ උපදේශන බලය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන උත්තරීතර උපදේශක සභාව” තුළ ද; ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන පහළ ම උසාවියේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන ආයතන තුළ ද රටේ ජන සංයුතියේ දළ නියෝජනයක් තිබිය යුතු ය.

ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය” ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන ජාතික ව්‍යවස්ථාදායක සභාව” සඳහා ද උක්ත කාරණය අදාළ වේ. ව්‍යවස්ථා සම්පාදනය යනු ඒ පිළිබඳ පුළුල් දැනුමක් ඇති පිරිසක් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයකි. (මෙම කාර්යය සඳහා නියෝජිතයන් පත්කර ගත යුතු ආකාරය ඉදිරි ලිපියකින් පැහැදිළි කෙරෙයි).


ජනතාවගෙන් දුරස්ථ වූ පාලන තන්ත්‍ර ඇති කිරීම ද බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිදුවිය යුතු නොවේ. ව්‍යවස්ථා සහ නීති සම්පාදනය හැරුණු විට අනෙකුත් කටයුතු විවිධාකාරයෙන් ජනතාව වෙතට ගෙන ආ හැකි ය. කෙසේ වුව ද, පළාත් සභා” වැනි ජනතාවගෙන් ඈත් වූ ආයතන පිහිටුවීමෙන් මෙම කාර්යය ඉටු කළ නො හැකි ය. ගම් සභාව සහ කෝරළ පාලනය (මෙම ප්‍රවාදය තුළ කෝරළ වශයෙන් හඳුන්වනු ලබන්නේ දැනට ක්‍රියාත්මක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශ වේ) මේ සඳහා අදාළ කරගත හැකි ය.

මුළු රට ම නියෝජනය වන පරිදි ජනතාවගේ සෘජු ඡන්දයෙන් තෝරා පත් කරගත යුතු ඉහළ ම පාලන ආයතනය විය යුත්තේ ජනරජයේ විධායක ජනාධිපතිවරයා ය. ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සඳහා විධායක ජනතාධිපතිවරයාගේ නායකත්වයෙන් දිස්ත්‍රික් නායක මණ්ඩලයක් ද ඒ ඒ විෂයය පැවරුණු අමාත්‍යංශ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් ද පිහිටුවිය යුතු වේ. මෙම කාර්යයන් සිදු කරන ආකාරය ඉදිරි ලිපිවලින් පැහැදිළි කෙරෙයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress