ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය පර්යේෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් සබුද්ධි හා ගැරී එක් වෙයි…
Posted on March 14th, 2021

සභාපති – සබුද්ධි.

සබුද්ධි සහ ග්ලෝබල් ඇකඩමික් රිසර්ච් ඉන්ස්ටිටියුට් හෙවත් ගැරී (Global Academic Research Institute – GARI) ආයතනය අවබෝධතා ගිවිසුමකට (03 වැනිදා) එළැඹෙයි. එසේ එක් වන්නේ ඉදිරි ශාස්ත්‍රීය සහ පර්යේෂණ කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කිරීමට මෙන් ම ගැරි ආයතනයට සබුද්ධි කවයෙන් මාධ්‍ය සහයෝගිතාව ලබා දීම උදෙසාය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යයන, සම්මන්ත්‍රණ සහ පර්යේෂණ ප්‍රකාශන මධ්‍යස්ථානයක් වන ”ගැරී” ආයතනය ලොව පුරා සිටින විද්‍යාර්ථීන්ගේ දැනුම හුවමාරු කර ගැනීමේ  සංසදයකි. එම ආයතනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති පර්යේෂණ පත්‍රිකා ගණන දහසකට අධික වේ. www.research.lk නමින් සිය ඩිජිටල් ශාස්ත්‍රීය පුස්තාකලය පවත්වා ගෙන යන ගැරී ආයතනය මේ වන විට වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ සංඛ්‍යාව දහය ඉක්මවයි. එම ආයතනය සංවිධානය කරන මීළඟ ජාත්‍යන්තර ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ වන්නේ මාර්තු 19වැනිදා කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන සිව්වැනි තිරසර සංවර්ධන සහ සිව්වැනි සාමය, ගැටුම් කළමණාකරණය යන වැඩසටහන් වේ.

ක්‍රීඩාව, සාහිත්‍ය හා කලාව විෂයන් මූලික කරගනිමින් ක්‍රියාත්මක
”සබුද්ධි” කවය විද්‍යාර්ථීන්, සාහිත්‍යවේදීන්, ක්‍රීඩකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළුව සබුද්ධිමත් පුරවැසියන්ගෙන් සැදුම් ලැබූ සංවිධානයකි. සබුද්ධි පොත්ගුල, සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල ඇතුළුව ”සබුද්ධි”  මේ වන විට විවිධ සමාජීය ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. ”සබුද්ධි” සහ ”ගැරී” අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමින් එහි විධායක අධ්‍යක්ෂ සිරිනාම රාජපක්ෂ මහතා පැවසුවේ අප අතර එළැඹුණු අවබෝධතාව මෙරට ජාත්‍යන්තර මූලික ශාස්ත්‍රීය අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉදිරි ගමනකට රුකුලක් වනු ඇති බවයි. ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු වඩාත් ඵලදායි ලෙසට සාමාන්‍ය පුරවැසියාට හඳුන්වා දීම සහ සාමාන්‍ය පුරවැසියා ද ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු සඳහා ලැදියාවක් දැක්වීමට අවශ්‍ය මාධ්‍ය ක්‍රියාකාරම් ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවැසීය. මේ අවස්ථාවට එක් වූ ”ගැරී” ආයතනයේ කළමනාකාරණ අධ්‍යක්ෂ සම්පත් අබේවික්‍රම මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා ජාත්‍යන්තර වටිනාකමක් ලබා දීමට මෙම අවබෝධතාව මනා පිටිවහලක් වනු ඇති බවයි. ”සබුද්ධි” හා එක්ව ඉදිරියේදී ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ රැසක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

ශාස්ත්‍රීය පර්යේෂණ අධ්‍යයනයට, සම්මන්ත්‍රණ සහ ප්‍රකාශනයට නවමු අපේක්ෂාවක් එක් කළ සබුද්ධි – ගැරී අවබෝධතාව අත්සන් කළේ කොළඹ – 03  ”මැන්ඩරින්” අධ්‍යාපන ආයතනයේදීය. එම අවස්ථාවට ”ගැරී” ආයතනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂකවරුන් වන තුෂී රෙන්ගනාදන්, අමල් විජේනායක, තොරතුරු කළමනාකරු හෂාන් රාජපක්ෂ සහ ”සබුද්ධි” වෙනුවෙන් එහි සභාපති ම. ප. තමීර මංජු සහ මර්ෂාඩ් බාරි යන මහත්ම මහත්මීහු එක් වූහ. මාධ්‍ය නිවේදන අමුණා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress