හරියට එන්නත දුන්නේ මොන රටේද ? එන්ගලන්තෙ එන්ගලන්තෙ
Posted on March 14th, 2021

බ්‍රිතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී.හේවාවිදාන – ලන්ඩන් නුවර සිට

කොවිඩ් එන්නත ජනතාවට දුන් මුල්ම රට වන්නේ මහා බ්‍රිතාන්‍යයි. මතු නොව ඊශ්‍රායලයට පසු කොවිඩ් එන්නත මනා ලෙස පාලනය කළ ලෝකයේ දෙවැනි රටද මහා බ්‍රිතාන්‍යයි.

බ්‍රිතාන්‍යය ඔක්ස්ෆඩ් හා ෆයිසර් එන්නත් මිලියන 83 ක් ලබාගත්තේ පසුගිය දෙසැම්බර් අග භාගයේදීයි. ඔවුන් ජනතාවට එන්නත්කරණය පටන් ගත්තේ පිළිගත් ක්‍රමවේදයකට අනුවයි. එන්නත මුලින්ම දුන්නේ වයස 90 ට වැඩි අයට හා නිදන්ගත රෝගීන්ටයි. ඉන්පසු වයස 80 ට වැඩි පුරවැසියන්ට හා රෝහලේ සේවකයන්ට එන්තත විදින ලදී.

එන්නත බ්‍රිතාන්‍යයට ලැබුණු විගසම සමහර රටවල මෙන් දේශපාලකයන් එය අයථා ලෙස ගන්නට ගියේ නැත. බ්‍රිතාන්‍යයේ කථානායක 63 හැවිරිදි ශ්‍රීමත් Lindsay Hoyle කාටත් කලින් පෝළිම ඉදිරියට ගොස් එන්නත බලෙන් ගත්තේ නැත. බ්‍රිතාන්‍යයේ දේශපාලකයන් කිසිවකු ‘‘ජනතාව අතර වැඩියෙන්ම ගැවසෙන අපට තමයි එන්නත මුලින්ම ඕනෑ’’ කියා එය ගැනීමේ නිහීන උත්සාහයක යෙදුණේ නැත. අපි මේ එන්නත ගත්තේ මහජනතාවගේ යහපත පිණිසයි කියා ලැජ්ජා නැති ප්‍රකාශ නිකුත් කරමින් එන්නත උදුරා ගැනීමට බ්‍රිතාන්‍යයේ කිසිම මන්ත්‍රීවරයකු මහන්සි ගත්තේ නැත.

ලන්ඩන් සල්ලිකාරයෝ තමන්ගේ බල පුළුවන්කාරකම පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථානවලට කඩා වැදී තමන්ගේ පවුල්වල අයට පමණක් නොව ගෙදර වැඩකාරියන්ටද එන්නත විදගත්තේ නැත. වයස 60 ට වැඩි රෝගීන් මැරෙනවා අඩුයි. එනිසා වයස 30 ට වැඩි අයට මුලින් එන්නත විදිමුයි වැනි හතර බීරි කතා කියූ සෞඛ්‍ය නිලධාරීන් බ්‍රිතාන්‍යයේ සිටියේ නැත.

ගුවන් තෙටුපළේ නිලධාරීන්, සංචාරක සේවකයෝ, පොලිස් භටයෝ, වරාය සේවකයෝ හෝ බස් කොන්දොස්තරලා අපි කොරෝනා රෝගීන් අතර ගැවසෙන වැදගත් පිරිසක්, අපිට විශේෂයක් කළ යුතු යයි කියමින් එන්නත් වැඩපිළිවෙළ අවුල් කළේ නැත.

එනිසා කොරෝනා එන්නත වයස අනු පිළිවෙළට පුරවැසියන්ට දීමේ පිළිවෙතට කිසිවකු බාධා කළේ නැති බැවින් මාස දෙකක් තුළ බ්‍රිතාන්‍යවාසීන් මිලියන 22 කට එන්නත දීමට රජයට හැකිවිය. මේ අතරේ මේ සතියේ සිට වයස 50 ට වැඩි අයට එන්නත දීමට මහා බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබේ.

මාර්තු අගභාගය වනවිට වයස 40 ට වැඩි සියල්ටම එන්නත දීම අවසන් කරන බවට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ​ජොන්සන් පොරොන්දු වී තිබේ. වයස 40 ට වැඩි සියල්ලම එන්නත ලබාගත් පසු එංගලන්තයට කොරෝනා බියක් ඇතිවන්නේ නැත. එනිසා අප්‍රේල් වන විට ලොක්ඩවුන් නීති බොහොමයක් අවලංගු කරන බවට රජය ප්‍රතිඥා දී තිබේ.

මේ ප්‍රකාශය බ්‍රිතාන්‍ය වැසියන්ගේ කනට මී පැණි වක් කරන්නාක් වැනිය. මාස දෙකක් තිස්සේ ලොක්ඩවුන් නීතිවලට යටවී ගෙදරට කොටුව අසහනයට පත්ව සිටින මිලියන 60 ක වැසියන්ට දැන් නිදහසේ සේයාව ඈතින් පෙනේ.

මේ ලියන මාර්තු නව වැනිදා වනවිට මෙතෙක් බ්‍රිතාන්‍යයේ වී ඇති මුළු කොරෝනා මරණ ගණන 1,24,797 කි. කොරෝනා හැදී සුව වූ ගණන ලක්ෂ තිස් තුනකි.
බ්‍රිතාන්‍යය තුන්වන වරටත් ලොක් කෙරුණේ පසුගිය ජනවාරි 4 දායි. එයට ප්‍රධාන හේතුව වූයේ දෙවැනි කොරෝනා රැල්ලට යට වූ බ්‍රිතාන්‍යයේ දෛනික සිදුවූ මරණ ගණන 1800 ක් පමණ හා දිනපතා හමු වූ අලුත් රෝගීන් ගණන 50,000 ක් පමණ තරමට වැඩිවෙමින් තිබුණ නිසාය. බ්‍රිතාන්‍යයේ සුපර් මාර්කට් හා අත්‍යවශ්‍ය කඩ සාප්පු හැර අනෙකුත් සියලුම ආයතන ලොක්ඩවුන් නීති යටතේ ජනවාරි සිට වසා දමා තිබේ.

බ්‍රිතාන්‍යයේ පවුලේ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය මධ්‍යස්ථාන විජිතපුර බළකොටු මෙන් ආරක්ෂා කොට ඇත. දොරවල් පමණක් නොව ගේට්ටුවලට පවා ඉබ්බන් දමා ඇත. වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුළට වී සිටිති. ඉස්සර මෙන් සාමාන්‍ය ලෙඩකට බෙහෙත් ගැනීමට වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළුවීමට අපිට බැරිය. ඔවුන් ලෙඩුන් බලන්නේ Zoom තාක්ෂණය ඔස්සේයි. එසේ මුහුණට මුහුණ හමුවී නළාව ඇඟට​ තබා අපේ ලෙඩ හඳුනා ගන්නා පරණ ක්‍රමය තරම් Zoom සාර්ථක නැත.

මේ Zoom නිසා 2020 මාර්තු සිට අද දක්වා අලුත් පිළිකා රෝගීන් 2,19,000 ක් හඳුනා ගැනීමට වෛද්‍යවරු අපොහොසත් වී ඇති බව ඩේලි මේල් පත්‍රය චෝදනා කරයි. නිසි කලට ප්‍රතිකාර කිරීම පටන් නොගත් නිසා මෙම රෝගීන් අතරින් 1,50,000 ක් පමණ ඉදිරි වසර පහ තුළ මිය යනු ඇතැයි පත්‍රය වැඩිදුරටත් කියයි.
එනිසා ලොක්ඩවුන් නීති ඉක්මනට ඉවත් වී රට යථා තත්ත්වයට පත්වී පවුලේ වෛද්‍ය මධ්‍යස්ථාන නැවත ලෙඩුන්ට සම්පූර්ණයෙන් විවෘත වනතුරු ජනතාව ඉතා වුවමනාවෙන් බලා සිටිති.

පවුලේ සාමාජිකයන් සමග ගෙදරින් එළියට පැන මල් උද්‍යානයට ඇවිද ආශ්වාදයක් ලබන්න ගංතෙරට හෝ මුහුදු වෙරළට සමූහ වශයෙන් ගොස් විනෝද වන්නට හෝ හිතේ ඇති හැටියට සාප්පු සවාරියේ යෙදීමට අපට අවසර ලැබෙන දිනය වැඩි ඈතක නොවේ.

මාස දෙකක් තිස්සේ කොණ්ඩය ඩයි කර ගැනීමට හෝ කොණ්ඩා මෝස්තර සකස් කරගැනීමට බැරුව අසහනයෙන් සිටින මිලියන ගණනක බ්‍රිතාන්‍ය කාන්තාවන් දැන් උද්දාමයට පත්ව සිටින්නේ අප්‍රේල් 12 සිට හෙයාර් සැලුන් විවෘත කිරීමට අගමැති බොරිස් අවසර දී ඇති නිසයි.

අඩි දෙක තුනක් උසට කොණ්ඩය වවාගෙන සිටින පිරිමින්ටද එදා සිට බාබර් සාප්පුවලට ගොස් කොණ්ඩය කපා ගැනීමට පුළුවනි. සියලුම හෝටල්, ආපන ශාලා, වෙළෙඳ ආයතන සියල්ලම එදා සිට ජනතාවට විවෘත වේ.

දැනට එකම පවුලේ නොවන කිසිවකුට පිටතදී හමුවිය නොහැකි නමුත් මාර්තු 29 දා සිට උද්‍යානවලදී හා පාරේදී හයදෙනකුට එක්රැස් විය හැකියි. මැයි 17 දා සිට 30 දෙනකුට මෙසේ එළියේදී හමුවීමට නිදහස ලැබේ.

අප්‍රේල් දොළොස් වැනිසා සිට කඩ සාප්පු, කාර්යාල, කර්මාන්ත ශාලා හා අනෙකුත් ආයතන සියල්ලම විවෘත කරන නිසා රටේ විනාශ වී ඇති ආර්ථිකය නැවතත් සෙමින් සෙමින් ගොඩනැගෙනු ඇතැයි රජය බලාපොරොත්තු වෙයි. පසුගිය වසරේ රැකියා අහිමි වූවන් අතරින් විශාල පිරිසකට අලුත් රැකියාවල් සොයා ගැනීමේ අවස්ථාවද අප්‍රේල් මාසයේදී උදාවනු ඇත.

බ්‍රිතාන්‍යය ඉදිරි සති 12 තුළ ක්‍රම ක්‍රමයෙන් කොරෝනා නීති රීතිවලින් මිදෙන්නේ තුන්වන ලොක්ඩවුන් කාලයේ පුරවැසියන් සියලු දෙනාම ඉතාමත් විනීත ලෙස වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ගෙදරට වී සිටි නිසා යයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැති මැට් හැන්කොක් ප්‍රශංසා මුඛයෙන් කියයි.

මේ අන්දමට මාර්තු මාසයේ සිට ටික ටික විවෘත කෙරෙන මහා බ්‍රිතාන්‍යයට පූර්ණ නිදහස ලැබෙනු ඇත.

ජුනි 21 දාට පසු බ්‍රිතාන්‍ය වැසියන්ට පිටරටවලට නිවාඩු යෑමේ කිසිම තහනමක් නැත. බ්‍රිතාන්‍ය සංචාරකයන්ගෙන් යැපුනු යුරෝපයේ හා ආසියාවේ බොහෝ රටවලට මෙය හොඳම ආරංචියකි.

ලොක්ඩවුන් නීති සම්පූර්ණයෙන්ම ඉවත් කළ පසු ජූලි හා අගෝස්තු මාසවල පමණක් බ්‍රිතාන්‍ය ජාතිකයන් ලක්ෂ 30 ක් පමණ පිටරට නිවාඩු යෑමට පුල පුලා බලා සිටින බව ලන්ඩන් ටෙලිග්‍රාෆ් පත්‍රයද කියයි.

‘‘බ්‍රිතාන්‍ය සංචාරකයනි, ඔබ සැම සාදරයෙන් පිළිගැනීමට අපි ලැහැස්තිව සිටිමු’’ යි වැනි වෙළෙඳ දැන්වීම් ග්‍රීක් රජය විසින් දැනටමත් බ්‍රිතාන්‍ය පුවත්පත්වල පළ කරමින් සිටිති.

මෙය ලංකාවේ සංචාරක කර්මාන්තයටද ඉතා සතුටුදායක ආරංචියකි. මොරිෂස්, මාලදිවයින, සීෂෙල්ස් වැනි රටවල්වල සංචාරක අංශ ක්‍රියාත්මක වන්නට පෙර බ්‍රිතාන්‍ය සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ආකර්ෂණීය හා ආරක්ෂිත වැඩපිළිවෙළක් වහාම ආරම්භ කළ යුතු යයි මට සිතේ.

Weekend Aruna 14 March 21

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress