අප්‍රේල් කැරැල්ලට වසර 50යි
Posted on April 3rd, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

අප්‍රේල් කැරැල්ලට වසර 50ක කාලයක් ගතව ඇත. වසර 50ක් යනු සුළුපටු කාලයක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට දායකවී අප්‍රේල් කැරල්ලටද සහභාගිවී, සිරගතවී, සිරගෙදරන් පලාවිත් යලි දේශපාලනය කල අයෙකු තුල මේ වන විට ඇති සිතුවිලි දහරාව කුමක්විය යුතුදැයි සොයා යනවිට, ජිවිතයේ සුන්දරම අවදිය, ඔවුන් විසින්ම ගින්දර ගොඩකට ඇදදමුවාක් වැනි මේ ක්‍රියාදාමයට ඔවුන් සහභාගී වුයේ ඇයිද යන්න ගැටලුවකි. විශේෂයෙන්ම අප්‍රේල් කැරැල්ලට දායකවූ තරුණයින් අයත්වන්නේ මධ්‍යම පාන්තික හා සුළු ධනේශ්වර පන්තියට අයත් පවුල් වලට වීම එම කැරැල්ලේ ඇති විශේෂත්වයයි. ස්වභාවය විසින් මේ තරුණයින්ගෙන් යමක් බලා පොරොත්තුවී ඇත.

අපි මිලින්ද ප්‍රශ්නය තුලින් දකින්නේ ස්වභාවයේ ක්‍රියාකාරිත්වයේ සංකීර්ණභාවයයි.ස්වභාවයට අවැසි දේ ඉටුකරවා ගැනීම සඳහා දිව්‍ය සම්පත් විදිමින් සිටි අයෙකුව ඔහුගේ විරෝධතාවය නොතකා යොදවාගත් ආකාරය අපි එහිදී දකිමු.. කාරණය ඉතා අතවශ්‍ය නම්, ස්වභාව කුමන පදනමකින් හෝ බ්‍රහ්මයෙක්, දෙවිකෙනෙක්, මිනිසෙක් හෝ මිනිසුන් සමුහයක් යොදා ගන්නා  අකාරය අපි දැක ඇත්තෙමු. 1971 අප්‍රේල් කරල්ල තුලද එවැනි පසුබිමක් අපි දකිමු. වැදගත් වන්නේ ඒ තත්වය මනාව අවබෝධකර ගැනීමයි.

අපේල් කැරැල්ලට සහභාගිවූ තරුණ සමුහය, ශ්‍රී ලාංකීය විප්ලවය අරමුණු කරගෙන පසුබිම සකස් කරන්නේ, ජාත්‍යන්තර විප්ලවවාදියකුවූ චේ ගුවේරා මුළු ලෝකයේම තරුණ තරුණියන්ගෙන් විශේෂිත ඉල්ලීමක් කර ඇති පසුබිමකය. ඒ ඉල්ලීම වුයේ, “ලෝකයේ ව්ප්ලවවාදිනි, ඇමරිකානු අධිරාජ්‍යවාදය පරාජය කිරීමට ලෝකය පුරාම වියට්නාමයන් ගණනාවක් බිහි කරව!” යන්නය.

එදා ලෝකය මිට වඩා ගොඩාක් වෙනස්ය. මුළු ආසියාවම පැවතියේ යුධ ගිනි දැල් මැදය වියට්නාමය, ලාවෝසය, කාම්බෝජය, කොරියාව පුරාම දිනපතාම හෙලනු ලැබුවේ සිය දස ගණනින් මිනිසුන් මරා දැමීමට පමණක් නොව පරිසරයද විනාශ කරන බෝම්බය. ලතින් ඇමරිකාව ලෝකයේ නොදියුණු ආකාරයේ කුරිරු මර්ධනයකට යටත් කරගෙන පාලන රටාවක් පැවතිනි. අප්‍රිකාව වර්ගවාදී සුද්දන් පාලනය කලේ  අප්‍රිකානුවෝ වහලුන් හා සතුන් ඝනයට ලාගෙනය. චීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ආසනය අහිමිකර, එහි අයිතිය පොමොසාව නම්වූ රුකඩ චිනයකට ලබාදී තිබුණි  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ලොව පුරාම යුධ ඇතිකරමින් ඒවා පෝෂණය කරමින් වර්තමානයේදී මෙන්ම එදාද කටයුතු කරමින් සිටියහ. එවන් යුගයක  මේ රටේද අධිරාජ්‍ය ගැති රුකඩ පාලන රටාවට එරෙහිව එකී තරුණයින් සංවිධානය වීම එදා ආරම්භ කළහ.

එදා සටන් පාඨයන්  වුයේ
“අධිරාජ්‍යවාදයට විනාශය ජනතාවට විමුක්තිය ”
“ඉන්දීය ව්යාප්තවාදයට විනාශය ජනතාවට විමුක්තිය ” යන්නන්ය.
ඒ අතරම රතු ආසියාවක් ගොඩනැංවීමේ ප්‍රබල අපේක්ෂාවක් මේ තරුණයින් අතර විය. අවසාන ඉලක්කය වුයේ සමාජවාදී සමාජයක් රටතුල ගොඩනැංවීමය..

සතුරා අපිට වඩා දක්ෂය,අප අතරට රිංගු සතුරා අප ගොඩනැංවූ සංවිධානය එදා අප විසින්ම ගොඩනැංවූ සිරිමා බණ්ඩාරනායක රජයට එරෙහිව මෙහෙයවා, මෙරට දේශප්‍රේමී තරුණයින් පිරිසක් මෙන්ම  ජාත්‍යන්තරයේ ප්‍රගතිශීලි කාර්යභාරයක් ඉටුකළ රජයක්ද විනාශ කළහ. ඔවුන් සියුම්ව සිදුකලේ අප අපේක්ෂා කල දෙය නොවේ. 1971 අප්‍රේල් කැරැල්ලට මවෙක් හෝ පියෙක් නැත.එයට අණ දුන්නේ කවුදැයි කිසිවෙක් දන්නේ නැත. විජේවිරයන්ට අනුව සිරගතව සිටි ඔහු මේ පහරදීමට අණදී  නොමැත.නමුත් අපි පහරදිමකට සහභාගී විය. ඒ කාගේ අණ යටතේද යන ප්‍රශ්නය මිනිස් බුද්ධියට තීරණය කිරීමට ඉතිරිව ඇත.

එදා අප්‍රේල් කැරැල්ල සිදුවෙන විට විශේෂිත දේවල් රාශියක් මෙරට තුල සිදුවිය. අප්‍රේල් කැරැල්ල මේ රටේ හමුදාවේ ඇති දුර්වලත්වය පෙන්වා දුන්හ.එය මේ කැරැල්ල විසින් මේ රටට කල විශේෂිතම මෙහෙවරකි. එහි පලයක් වශයෙන් යුධ හමුදාව වහාම පුළුල් කිරීමට පියවර ගැනිණි. ඒ සමගම තවත් විශේෂිත කටයුත්තක් සිදුවිය. ඒ මේ මවුබිමට ආදරය කල වෙනත් ආකාරයෙන් සිතන තරුණයින් කණ්ඩායමක්ද ශ්‍රී ලංකා යුධ හමුදාවට බද්ධවිමයි. එම තරුණයින් පසුකලෙක මෙරටට එරෙහිව අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කල කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම බිදහෙලා මේ රට අධිරාජ්‍යවාදී මර උගුලින් බේරා ගත්හ.එය මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරනුයේ “අධිරාජ්‍යවාදයට විනාශය ජනතාවට විමුක්තිය”  හා “ඉන්දීය ව්‍යප්තවාදයට විනාශය ජනතාවට විමුක්තිය” යන සටන් පාඨයන්ම වෙනත් ආකාරයකින් පෙරමුණේ තබාගෙන මේ සටන සිදුවුණා බැවිනි.

1971 අප්‍රේල් කැරැල්ල ආරම්භවීමත් සමගම එක්තරා තරුණයෙක්, එම කැරැල්ල මර්ධනය කිරීමේ අරමුණින් එදා හමුදාවට බැදී  සේවය කිරීම ආරම්භ කළහ. මේ තරුණයා හමුදාවට දිමේ කටයුත්තට මාවත විවර කලේ 1971 අප්‍රේල් කැරැල්ල නම්, ඒ කැරැල්ලෙන් සිදුවුණා විශාලම ජාතික මෙහෙවර වන්නේද එයයි. ඒ තරුණයා අද මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ය.මේ අනුව අප්‍රේල් කැරැල්ලට වසර 50ක් ගතවන අවස්ථාවේදීම ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ආරක්ෂක හමුදාවට සම්බන්ධව වසර 50ක සේවාකාලය සැමරීමද සිදුවේ.

දැන් අපි වසර 50ක ඉතිහාසය හාරා අවුස්සා බලන විට,

1.එදා පවතී යුධ බිය ආසියාවෙන් තුරන්ව ඇත.
2.වියට්නාමයෙන් හා කාම්බෝජයෙන් ඇමරිකන් හමුදා මුළු මනින්ම පලවා හැර ඇත.
3.චීනය අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකි.
4. චනය ලෝකයේ ප්‍රබලම රාජ්‍යක් බවට පත්ව ඇත.
5.ලතින් ඇමරිකාවේ එදා ඇමරිකාව දැමු සෙල්ලම් සියල්ලක්ම ලේල්ලම්වී හමාරය.
6.අප්‍රිකාවේ සියලුම වර්ගවාදී රාජ්‍ය ක්‍රම අහෝසිවී ඇත.
7. ඇමරිකාව හා ඉන්දියාව බලවත් ආර්ථික හා දේශපාලන ගරා වැටීමට ලක්ව ඇත.
8. මුළු යුරෝපයම අර්බුද ගණනාවකට ලක්ව ඇත.
9. ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ සතුරුම දකුණු ආසියාතික රාජ්‍ය බවට පත්ව ඇත.
10. අපේ රටට ජාත්‍යන්තරව රැකවරණය ලබාදෙන්නේ එදා රෝහණ විජේවීර සහෝදරයා අපේක්ෂා කල ආකාරයටම, රුසියාව, චීනය, වියට්නාමය, කියුබාව හා උතුරු කොරියාව යන රාජ්‍යන්ය.

වසර 50ක කාලය තුලදී අපි පතු ආකාරයට අධිරාජ්‍යවාදය විනාශවී පන අදිමින් සිටි. හෙට අනිද්දා යුක්රේනයේ ඇතිවන තත්ත්ව තුල, ඔවුන් යලි නොනැගිටින තත්වයකට පත්වෙනු ඇත.

ගෝඨාභය රාජපක්ෂයන්ගේ පාලන කාලය තුලදී ඉන්දීය ව්යාප්තවාදින්ටද යලි නොනැගිටින තත්වයක් උදාව ඇත. වැදගත් වන්නේ පුද්ගලයා නොව ගෙන යන ප්‍රතිපත්ති කුමක්ද යන්නයි. මේ ප්‍රතිපත්ති තුල පැහැදිලිවම ඇත්තේ අධිරාජවාදින්ට එරෙහිවීම හා ඉන්දීය ව්යාප්තවාදින්ට එරෙහි වීමයි.

වසරව් 50ක් සපිරෙන මේ අවස්ථාවේදී අපි අප්‍රේල් සටනේදී දිවිදුන් හා එයට දායකත්වය සැපයූ සියලුම සොයුරු සොයුරියන් සිහිපත් කරමු. අද රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත්ව ඇත්තේ ඔබ අප හැම පැතු ප්‍රතිපත්ති මාලාවය. එය මෙහෙයවන පුද්ගලයා එදා අප්‍රේල් කැරැල්ල මර්ධනය කිරීමට හමුදාවට බැදුන ගෝඨාභය රාජපක්ෂයන්ය. එතුමාද  ඉල්ලා සිටින්නේ පුද්ගලයා දෙස නොබලන්න ප්‍රතිපත්ති දෙස බලන්න යනුවෙනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress