පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ කිතුණු ජනතා ඉවසීම විශිෂ්ටයි – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on April 3rd, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ කිතුණු ජනතා ඉවසීම  විශිෂ්ට බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (03) දින සිහිපත් කළේය.

දෙවසරක් ගතවන පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

ලොව පුරා කිතුණු බැතිමතුන් සමඟ එක්ව ශ්‍රී ලාංකේය කිතුණු ජනතාව හෙට (04) දිනයේ ඉමහත් හරසරින් පාස්කු මංගල්‍ය සමරති.

විමුක්තිදායක ප්‍රීතියේ සැමරුම් දිනය වන මෙදින ශ්‍රී ලාංකේය කිතුණු ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානවීම බැතියෙන් සිහි කරති.

මෙයට වසර දෙකකට පෙර 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු මංගල්‍යය දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු කිතුණු බැතිමතුන් දෙසිය පනහකට අධික පිරිසකගේ ජීවිත අහිමු වූ බව අපි දනිමු.

මෙම මිලේච්ඡ ප්‍රහාරය එදා මෙන්ම අදත් අප තරයේ හෙළා දකින අතර ප්‍රහාරයෙන් ජීවිත අහිමි වු කිතුණු ජනතාවගේ පවුල්වල සමාජිකයන්ට මෙන්ම සමස්ත කිතුණු ජනතාවට අපගේ සංවේගය පළ කරන්නෙමු.

එමෙන්ම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අඛන්ඩව ඉටු කර තිබෙන බව ඔබට සිහිපත් කරමි.

කිතුණු ජනතාව බලාපොරොත්තුවන පරිදි ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවේ වරදකරුවන්වනතුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිඳු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වේ.

පාස්කු දින ඉටි පහනේ අලෝකය සහෝදර ජනතාවට සහනාලෝකය අත්විඳින්නට ඉඩ සළස්වනවා මෙන්ම පාස්කු අර්ථයෙන් ගත්විට සියලු දෙනා එතෙර වීම කිතුණු ජනතාවගේ ද අපේක්ෂාවයි.

එම උදාර අරමුණ අනුව යමින් පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ කිතුණු ජනතා ඉවසීම විශිෂ්ට බව සිහිපත් කරමි.

සමාජය තුළ මුහුණ දීමට සිදුවන විවිධ අභියෝග හමුවේ මානව දයාවෙන්,සහජීවනයෙන් හා අන්‍යෝනය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුණු ජනතාවට හැකිවේවා යන්න අප සැමගේ ප්‍රාර්ථනාවයි. ශ්‍රී ලාංකේය කිතුණු බැතිමතුන් සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා!යි  ප්‍රාර්ථනා කරමි යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress