අපි හැමෝම එකම පක්ෂයේ අය,දැන් තමයි පක්ෂ දෙකකට බෙදිලා ඉන්නේ
Posted on April 7th, 2021

තිසර සමල් – අනුරාධපුර 

අපි හැමෝම එකම පක්ෂයේ අය,දැන් තමයි පක්ෂ දෙකකට බෙදිලා ඉන්නේ, මහින්ද මහත්තයාගේ ඇතුළු, දුමින්ද දිසානායකගේ -බර්ටි දිසානායකගේ ඇතුළු මේ බහුතරයකගේ ආරම්භය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ අපි අද පක්ෂ දෙකක හිටියට.සාමාන්‍යයෙන් අම්මා-තාත්තා එක්ක තරහා වෙලා ළමයෙක් ගෙදරින් ගියා කියලා, අම්මා තාත්තා ළමයා එක්ක තරහා වෙන්නේ නෑනේ, පුළුවන් තරම් අනුකම්පාකරනවා, උදව් කරනවා.හැබැයි අවසාන ප්‍රථිපලය වැරැද්ද කරපු කෙනාට වරද තේරුණු දවසට නැවත වතාවක් මහ ගෙදරට එනවා.ඒක අපි ඔලුවේ තියාගෙන අපි කා එක්කවත් අමනාප වෙලා නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර,තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  කොත්මල්පුර ගම්මානයේ පානීය ජල අවශ්‍යතාව සපුරාලමින්, එම ගම්මානයට පානීය ජල නල එලීමේ කටයුතු සමාරම්භ කරමින්ය.එම ගම්මානයේ පවුල් 65 ක් සඳහා පිරිසිදු පානීය ජලය සැපයීම වෙනුවෙන් මෙම කටයුත්ත සිදු කෙරිණි.ඊට සමගාමීව එම ගම්මානයේ කාන්තා සමිති සඳහා ඉවුම් පිහුම් කට්ටල ප්‍රදානය කිරීමද අමාත්‍යයතුමන් අතින් සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දදුමින්ද දිසානායක මහතා,

මේ නව රජය බලයට පත් කර ගන්නා විට ජනතාවගේ හිතේ බොහෝ බලාපොරොත්තු තිබුණා,ඒ මොකද  හැමදාමත් ආණ්ඩුවක් හදලා, පළාත් සභාවක් – ප්‍රාදේශීය සභාවක් හදලා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවන මට්ටම ඉන්න තත්වයෙන් තවත් උසස් කර ගන්න එක,අද වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ඒ තැනට මේ රට ගමන් කරවන්න ආරම්භ කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා.හැබැයි සමහර වෙලාවට ඡන්දය දුන්න අය නම් එච්චරම සතුටු නැතිව ඇති, ඒ මොකද කතිරය ගහපු ගමන්ම බලාපොරොත්තු වෙනවා ප්‍රථිපලය.කතිරය ගහපු ගමන්ම රස්සාවක් නැති කෙනා බලනවා රස්සාවක් ලැබෙයි කියලා, ලයිට් නැති කෙනා බලනවා ලයිට් ටික ලැබෙයි කියලා, වතුර නැති කෙනා බලනවා වතුර ටික ලැබෙයි කියලා, වැව හදාගන්න ඉන්න ගොවි සංවිධානය හිතනවා අපේ වැව තමයි ඉස්සරලාම හදන්නේ කියලා, ජනතාවගේ බලාපොරොත්තු එකක්වත් සුන් වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ.එකක්වත් නොකෙරෙන තැනට නෙමයි අපි ගෙනයන්නේ,මේ සියල්ලම කළ යුතු දේවල්.හැබැයි අපි මේ අවුරුදු 05 තුළ මේ වැඩසටහන් පෙළගස්සා ගත්තම මොකක්ද පළමුවැනියට කරන්නේ, මොකක්ද දෙවැනියට කරන්නේ කියලා ලැයිස්තුවක් හදා ගන්න වෙනවා.එහෙම නැතිව අපිට අවුරුදු 05 ම වැඩ  පළමුවැනි අවුරුද්දේ කරන්න බෑ.පළමුවැනි මාස 06 කරන්න පුළුවන්කමක් නෑ,ඒ නිසා සියලුම අමාත්‍යංශ අද ජනතාවට අවශ්‍යය කරන,වැඩ ටික සංවර්ධනයන් ගමේ කර ගෙන යනවා.

අපේ අමාත්‍යංශ ගත්තම මේ වසර සැමට විදුලිය ලබා දෙන වර්ෂය බවට පත් කරලා තියෙනවා.සැමට විදුලිය ලබා දෙන කොට සමෘද්ධියෙන් විදුලිය ලබා දෙනවා කියලා තමයි හිතන් ඉන්නේ,හැබැයි මේ සමෘද්ධියෙන් නෙමෙයි ලයිට් ටික දෙන්නේ,සමෘද්ධිය තමයි අපි යොදා ගත්ත ක්‍රමවේදය හරහා ලයිට් නැති ගෙවල් ටික හදුනා ගන්නේ,ඒ වගේම ඒ ලයිට් නැති ගෙවල් ටිකෙන් කී දෙනෙක් සමෘද්ධි පවුල්ද කියලා හොයා ගන්න එක තමයි අපි සමෘද්ධි ව්‍යාපාරය හරහා කලේ.දැන් මේකට මුදල් වියදම් කරන්නේ විදුලි බල අමාත්‍යංශයෙන් හා අපේ අමාත්‍යංශයෙන් තමයි අපි 100% ක්ම විදුලිය සඳහා අවශ්‍යය මුදල් ටික යොදවලා තියෙන්නේ.විදුලිය නොමැති පවුල් 75 000 න්, 50 000 ක්ම සමෘද්ධිලාභීන් හා සමෘද්ධි පොරොත්තු ලේඛණයේ ඉන්න කට්ටිය .මේ සියලු දෙනාටම සම්බන්ධතාවය සඳහා වෙනදා අය කරපු රුපියල් 20 000 ක මුදල අපි අය කරන්නේ නෑ, හැබැයි ඒ 20 000 ක මුදල ගෙවන්නේ විදුලි බල අමාත්‍යංශය හා අපේ අමාත්‍යංශය ඒ ඇරෙන්න සමෘද්ධි අමාත්‍යංශය නෙමෙයි. හැබැයි සමෘද්ධි ප්‍රථිලාභියෙක්ද- නැද්ද කියන සහතිකය අපි ලබා ගත්තේ ගමේ සමෘද්ධි නිළධාරියාගෙන්, මේ අවුරුද්දේ හැමෝටම විදුලිය ලැබෙන්නේ සමෘද්ධි අමාත්‍යංශය හරහා නෙමෙයි, විදුලි බල අමාත්‍යංශය හා අපේ අමාත්‍යංශයට මහා භාණ්ඩාගාරයෙන් මේ මුදල ලබා දීලා ගරු අග්‍රඅමාත්‍යයතුමා අයවැය කතාවේදී මේක ප්‍රකාශ කරලා, විදුලි බල අමාත්‍යංශයත්, අපේ අමාත්‍යංශයත් තමයි සැමට විදුලිය ලබා දෙන වැඩසටහනේදී අපි අවුරුද්දට කලින් එක කණුවක්වත් අලුතින් දාන්නේ නැතිව විදුලි සම්බන්ධතා දෙන්න පුළුවන් සියලු නිවාස වෙත විදුලිය ලබා දෙනවා. ඒ වගේම මේ වර්ෂය තුළ අපි මේ රටේ සෑම නිවසකටම, සෑම ව්‍යාපාරික ස්ථානයකටම විදුලිය ලබා දෙන්න අපි කටයුතු කරනවා.අපේ වගකීම වෙලා තියෙන්නේ, ගෙයක් වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් එයාට විදුලිය ගන්න පුළුවන් විදිහට, නිවස වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් ඒ ඉදිරියේ පිහිටි විදුලි කණුවේ විදුලිය තියෙනවා,ගන්නවාද නැද්ද කියන එක එයාගේ වැඩක්,හැබැයි අපේ වගකීම වෙලා තියෙන්නේ විදුලිය අවශ්‍යයි කියන ඕනම කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනා වෙනුවෙන්ම විදුලි පහසුකම අපි ලබා දෙනවා.

 අපි දැන් පහුගිය මාසයේ ආරම්භ කළා,ගමට බලාගාරයක් කියන වැඩසටහන යටතේ අවුරුදු 03 ක් ඇතුළත බලාගාර 7000 ක් මෙගා වොට් 700 ක් නිෂ්පාදනය කරන්න සූර්ය බලයෙන්,එහි පළමු ව්‍යාපෘතිය විදිහට බලාගාර 880 ක් ආරම්භ කරනවා ඉදිරි මාස 03 ඇතුළත.මේ විදිහට ගත්තම අපේ අමාත්‍යංශය ඇතුළු අනෙකුත් සියලු අමාත්‍යංශයන් වැඩ ටික අද ආරම්භ වෙලා කෙරීගෙන යනවා.ඒ වගේම පාරවල් කිලෝ මීටර ලක්ෂයක් කාපට් වෙනවා, මේ ලක්ෂයක් කාපට් වෙනවා කිව්වම හැමෝම තමන්ගේ පාර ඉස්සරලාම කාපට් වෙයි කියලා හිතනවා.ඒකෙදී මට කියන්න තියෙන්නේ ඔබතුමන්ලාගේ එකත් හැදෙනවා,හැබැයි වැඩිම ජනතාවක් පාවිච්චි කරන, නගර දෙකක් යා කෙරෙන, ගම්මාන රාශියක් එකතු කරන්න පුළුවන් පාරවල් ටිකට තමයි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ මුල් වටයට.ඒ අනුව ඔබතුමන්ලා දකිනවා සමහර තැන් වල ගල් බාලා තියෙනවා, ඩෝසර් වැඩ කරනවා, පාරවල් කපනවා, මේ අවුරුදු 05 තුළ කිලෝ මීටර ලක්ෂයම හදන එක තමයි අපේ වගකීම වෙලා තියෙන්නේ.

අපිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල වැව් ප්‍රමාණයක් හදන්න තියෙනවා, මම වාරීමාර්ග ඇමතිවරයා විදිහට අපි ආරම්භ කරපු වැඩසටහන පසුගියදා චමල් රාජපක්ෂ මැතිතුමා ඇවිත් ආරම්භ කළා,පහල මල්වතු ඔය ජලාශය.මේ ජලාශය කළාවැව වගේ පස් ගුණයක් ලොකුවටයි හැදෙන්නේ.අද අපි දන්නවා කළාවැව හරහා මහවැලි එච් කළාපය පමණක් නොවෙයි, අනුරාධපුර නගරයේ කුඹුරු ටික පවා කරන්න ලැබිලා තියෙන්නේ කළාවැවෙන් එන වතුර ටිකත් එක්ක.කුඹුරු වැඩ වලට පමණක් නෙමෙයි බීමට ජලය ගන්නෙත් මේ කළාවැවේ වතුර ටික.එහෙම නම් කළාවැව වගේ පස් ගුණයක් ලොකු ජලාශයක්,මල්වතු ඔයේ වතුර මුහුදට ගහගෙන යන්න නොදී, මම වාරීමාර්ග ඇමතිවරයා ලෙස ඉන්න කාලේ ආරම්භ කරපු වැඩසටහන, ඇමති ධූර මාරු වුණාට පස්සේ පොඩ්ඩක් නැවතුනා, හැබැයි ඒක ආයේ පාරක් චමල් රාජපක්ෂ ඇමතිතුමා එක්ක සාකච්ජා කරලා පසුගියදා අපි එහි වැඩ ආරම්භ කළා,ඒ ජලාශයෙන් මෙගා වොට් 1.5 ක විදුලි බලාගාරයක් හදනවා,ඒ වගේම වගාවට අවශ්‍යය ජලය, පානීය ජලය විතරක් නෙමෙයි මන්නාරම, වව්නියාවටත් ජලය ලබා දෙමින් සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජාතින් තුනටම, කන්න තුනක් වගා කරන්න පුළුවන් ක්‍රමවේදයක් ඇති වෙනවා පහළ මල්වතු ඔය ජලාශය නිර්මාණය වීමත් එක්ක.මේක අපි අවුරුදු 03 ක් තුළ වැඩ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.මේ විදිහට මහා ජලාශ හැදෙනවා.කුඩා වැව් ටික සංවර්ධනය වෙනවා,පාරවල් ටික හැදෙනවා,විදුලිය ලැබෙනවා.සමෘද්ධිය නොමැති අයට සමෘද්ධිය ලබා දෙන්න වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. , ඒ වගේම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා, පාසල් සංවර්ධනය වෙනුවෙන් වැඩකටයුතු සිදු වෙනවා.මේ අයුරින් විශාල සංවර්ධනයක් අද මේ රටේ ආරම්භ වෙලා තියෙනවා.එහෙම නම් දැන් අපි පොරොන්දු වෙච්ච දේ අපිට අවුරුදු 05 ක් තුළ ජනතාවට ලබා දීම අපේ වගකීමක් වෙලා තියෙනවා, අපිට උදව් කරපු උදවිය විදිහට ජනතාවගේ පැත්තෙන් අපි මේ වැඩේ හරියට කරනවාද කියන එක බලා සිටින්න ජනතාවට සිද්ධ වෙලා තියෙනවා.බැරි වෙලා හරි අපි ඒ මාවතෙන් පිට යනවා නම් අපි දුන්න පොරොන්දු, කිව්ව දේවල් කරන්නේ නැත්නම් ජනතාව අපිත් එක්ක ඒවා සාකච්ජා කරන්න ඕනකම තියෙනවා.ඒ නිසා මේ අවුරුදු 05 තුළ ගම හදන අවුරුදු 05 ක්,රට හදන අවුරුදු 05 ක් බවට පත් කර ගත යුතු වෙනවා.ඒ වෙනුවෙන් ඔබතුමන්ලා සියලු දෙනා අත්වැල් බැඳ ගන්න කියලා ආරාධනා කරනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress