වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා පිලිබඳව
Posted on April 7th, 2021

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා මුලින්ම මට හමු වන්නේ 2000 වසරේදී නිර්වින්දන වෛද්‍යවරයෙකු(Anesthetist) ලෙස පත්වීම ලැබ හලාවත මූලික රෝහලට ගිය විටදීය. එවකට එතුමා හලාවත මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විය. හලාවත මූලික රෝහලේ නිර්වින්දන අංශයේ විශේසඥ වෛද්‍යවරයෙකු නොසිටි  අතර  නිර්වින්දන  වෛද්‍යවරු වූ  සභාරත්නම් , ඉන්ද්‍රාණි ධනපාල , ශ්‍රියානි ප්‍රනාන්දු , පද්මරාජ් , ඊවා පෙරමුණ සමග මා  නිර්වින්දන අංශය අප අතට ගෙන පාලනය කලෙමු. මේ නිසා සමහර විට රෝහල් අධිකාරී වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා සමග සුළු සුළු කේස් ඇදගත්තෙමු. එසේම නිර්වින්දන අංශයගේ තිබූ නිල කාමරයට වෙනත් අංශ වල සිටි ජේෂ්ඨ වෛද්‍යවරු රිංගූහ. 2001 වසරේදී පමණ නිල කාමරය පිලිබඳ කථාවකදී මා රෝහල් අධිකාරී වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා සමග බාල්දියක් ඇද ගත්තෙමි. කෙසේ නමුත් කේස් එක සමථයකට පත් විය. 

2006 වසරේදී මා පුත්තලම් දිස්‍ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ( Focal Point – Mental health) ලෙස පත් වී මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට එන විට පුත්තලම් දිස්‍ත්‍රික් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වූයේ වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතාය. 2001 වසරේ නිල කාමර සම්බන්ධයෙන්  වෛද්‍ය භරණීදරන් සහ මා අතර වූ  කඹ ඇදීමේදී මා වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා සමග කේස් එකක් දාගත් නිසා මට වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා ගෙන් පෝරියල් එකක් නියතව ලැබෙන බව මාගේ සිත කීවේය. කෙසේ නමුත් මම පුත්තලම් දිස්‍ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස අමාත්‍යාංශයෙන් ලැබූ ලිපිය සමග වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතාව ඔහුගේ කාර්‍යාලයේදී හමු වූයෙමි. 

රොකට් ප්‍රහාරයක් අපේක්ශාවෙන් සිටියද වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා ගෙන් මට ලැබුනේ උනුසුම් ධනාත්මක පිලිගැනීමකි. දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම පිලිබඳව සැලසුමක් තනා එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස එතුමා මගෙන් ඉල්ලා සිටියේය. 

එතැන් සිට 2007 මැයි මාසය දක්වා මට වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතාව කිට්ටුවෙන් ඇසුරු කිරීමට ලැබුණි. එහිදී  එතුමාගේ මානුෂික ගති ගුණ, ධනාත්මක නායකත්වය, නිහතමානී බව, විචක්‍ෂණභාවය මට සියැසින්ම දකින්නට ලැබුනේය. මේ නිසා  අභිප්‍රේරණය ලැබූ අප පුත්තලම් දිස්ත්‍රික්කයේ  මානසික සෞඛ්‍යය වැඩසටහන් බොහෝ කලෙමු. එසේම මසකට වරක් මහචාර්‍ය කාලෝ ෆොන්සේකා, මහචාර්‍ය නාලක මෙන්ඩිස්, මහචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම්, වෛද්‍ය විශේසඥ එස් එස් ජයරත්න , ජෙනරාල් වජිර විජේගුණවර්ධන වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු වැනි විවිධ විශයන් පිලිබඳ දැණුමැති පුද්ගලයන් කැඳවා දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට දේශන පැවැත්වූයෙමු. (අප විසින් පුත්තලම් දිස්ත්‍රික්කයේ කරන ලද වැඩසටහන් මේ ලින්ක් එකෙන් නැරඹිය හැක https://www.youtube.com/watch?v=EkLQ3U4R7eY) මේ සියළු දේ පසුපස සිටි යෝධ සෙවනැල්ල වූයේ වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතාය. 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසර 16 කාලයක් මම සේවය කලෙමි. එහිදී විවිධාකාර වෛද්‍යවරු ( බෝධිසත්ව වෛද්‍යවරු සිට මිනිස් අවයව ජාවාරම් කරන වෛද්‍යවරු මෙන්ම රෝහල් වල උපස්ථායකලා ඩ්‍රයිවර්ලා ගෙන් කේලම් අසා රෝහල් පද්ධති පාළනය කරන පීචං බොස්ලා, තේනබදු බොස්ලා (බේබදු – රෝහල් කම්කරුවන් සමග සෙට් වී බී පිස්සු කෙලින) ගරානා බොස්ලා ( රෝහල් වල ගොඩනැගිලි වලින් කොමිස් ගහන පමණක් නොව රෝහල වටා තිබූ කටු කම්බිද ගලවාගෙන ගිය බොස්ලා) සම්ජෙක්ට් බොස්ලා (  ලස්සන හෙදියන්ව උපස්ථායිකාවන්ව නිල බලයෙන් බැලන්ස් කරන ), දේශපාලකයන්ට වඳින බොස්ලා, කොන්ද පණ නැති බොස්ලා , ඒකාධිපති ඉඩි අමීන් බොස්ලා  යනාදී නානා විවිධ වර්ගයේ බොස්ලා සමග මා වැඩ කොට තිබේ. එවැනි බොස්ලා අතරින් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා යනු වචනයේ පරිසමාප්තියෙන්ම උත්කෘෂ්ට නායකයෙකි. මානුෂික ගුණාංගයන් ගෙන් යුතු උත්තම මිනිසෙකි.  එතුමාගෙන් අප බොහෝ දේ ඉගෙන ගත්තෙමු. එහෙත් අපගෙන් එතුමාට යමක් ලැබුනේද කියා මම නොදනිමි. එම නිසා ඒ ණය ගෙවනු වස් මම 2008 වසරේ ලියන ලද සැන්ට බාබරාහී යාචකයා ඇතුළු තවත් කෙටි කතා පොත පුද කරන්නේ වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතාටය.   

වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා යනු අපගේ සෞඛ්‍ය සේවයේ මිණි පහනකි. එම නිසා එවැනි වෛද්‍යවරු රැකගෙන ඔවුන් ගෙන් උපරිම සේවාවක් සෞඛ්‍ය අංශයට ලබා ගැනීම අප සියළු දෙනාගේ වගකීමකි.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress