මරණ පරීක්ෂකවරු බඳවා ගැනීමට අදාළව ආණ්ඩුවේ වර්ගවාදය
Posted on April 10th, 2021

 මතුගම සෙනෙවිරුවන්

         හදිසි මරණ පරීක්ෂකවරු සඳහා තනතුරු බිහි කිරීම සිදු වන්නේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 108 වගන්තිය අනුවයි. සිවිල් පුරවැසියන්ගෙන් තෝරාගත් උගත් බුද්ධිමත් පුද්ගලයන්  සීමිත පොලිස් බලතල සහිතව මෙම තනතුරට  පත්කිරීමට  අධිකරණ ඇමතිවරයාට බලය හිමිවී තිබේ.මෙම තනතුර සඳහා පඩිනඩි සැපයීමක් සිදු නොවන අතර හදිසි මරණයකදී කරන ලද පරීක්ෂණයකින් අනතුරුව ලබා දෙන වාර්තාව උදෙසා යම් දීමනාවක් ගෙවනු ලබයි. ඒ අනුව මෙම තනතුරු ගරු කටයුතුය.බුහුමන් ලබන්නකි.වගකීමක් ඇති බැවින් තනතුර හොබවන පුද්ගලයා සමාජයේ පිළිගත් තැනැත්තෙකු බවට තක්සේරුවක් තිබිය යුතුය. මරණ පරීක්ෂණයකදී යම් තැනැත්තෙකුගෙන් සාක්ෂියක් ලබා ගැනීමට බලය පාවිච්චි කිරීමටද එලෙස සාක්ෂි දීම පැහැර හරින්නකුට විරුද්ධව වරෙන්තුවක් නිකුත් කරලීමටද මෙම මරණ පරීක්ෂක වරයාට හැකිය.

      වර්තමානයේ පවතින කොවිඩ් තත්වය හේතුවෙන් මෙම හදිසි මරණ පරීක්ෂක වරුන්ට කාර්ය බහුල වී තිබේ.මරණයට පත් වූ රෝගියෙකු පරීක්ෂා කොට පී.සී.ආර්. කොට මිනිය නිදහස් කරලීමේ භාරධූර කටයුත්තේ කොටසක් ඔවුන් වෙත පැවරී තිබේ. අධිකරණ අමාත්‍යංශය පවසන පරිදි දිවයිනේ කොට්ඨාශ ගණනාවකම මෙම තනතුර සඳහා පුරප්පාඩු 297 ක් ඇතිව තිබේ. මේ නිසා පුරප්පාඩු පිරවීමට අමාත්‍යංශයේ ලේකම් වරයා‌ගේ අත්සනින් යුතුව 2021 පෙබරවාරි 01 දාතම යටතේ අයැදුම්පත් කැඳවීමක් අන්තර්ජාලය තුළ පළ කර තිබේ.මෙම අයැදුම්පත් කැඳවීම අනුව හදිසි මරණ පරීක්ෂක වරයෙකු වීමට සුදුසුකම් හයක් සම්පූර්ණ කළ යුතුය.ඉන් වගන්ති පහකම කියැවෙන්නේ සාමාන්‍ය වශයෙන් තනතුරක් හෙබවීමට පළ කරන පොදු සුදුසුකම්ය.නමුත් සයවන වගන්තිය තුළ කියැවෙන්නේ හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම් ) තනතුර සඳහා සුදුසුකමක් වශයෙන් දෙමළ භාෂාව කතාකිරීම හා ලිවීම අවශ්‍ය බවයි. මෙම ප්‍රකාශනයෙන් කාරණා දෙකක් ගම්‍ය වෙයි. එකක් නම් පොදුවේ හදිසි මරණ පරීක්ෂක තනතුරු වලට අමතරව මුස්ලිම් ජනතාවට ආවේණික මරණ පරීක්ෂක තනතුරක්ද ඇති බවයි.එසේම මෙම අපේක්ෂකයාට දෙමළ භාෂාව ලිවීම හා කතා කිරීමටද හැකියාව තිබිය  යුතුබව කියැවෙයි.සැබවින්ම මෙම පළ කිරීම තුළින් ආණ්ඩුවේ අමාත්‍යංශයක වර්ගවාදය එළියට පැමිණ තිබේ.පොදුවේ සිංහල ජනතාවට මේ මගින් වෙනස්කමක් සිදු කර ඇති අතර දෙමළ භාෂාව ස්වකීය භාෂාව වශයෙන් භාවිතා කරන දෙමළ පුද්ගලයන්ටද වෙනස් කමක් ඇති කර තිබේ.මරණ පරීක්ෂක (මුස්ලිම් ) තනතුර නිසා ඔවුන්ටද මේ තනතුරට ඉල්ලීම් කල නොහැකිය.මෙලෙස මරණ පරීක්ෂකවරුන් පත්කිරීම සම්බන්ධව ජනතාවගේ බලවත් විරෝධය පසුගිය කාලයේ එල්ල විය. අනතුරුව අධිකරණ අමත්‍යංශයේ මාධ්‍ය ලේකම් වරයා මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන ලද්දේය. එහි සඳහන්ව තිබුණේ 2018  දී එවකට සිටි අධිකරණ අමාත්‍යවරිය විසින් කමිටුවක් පත්කරන ලද අතර එහි නිර්දේශ මත මෙය සිදු කළ බවත්ය.මෙම තනතුර අලුතින් ඇතිකරන ලද්දක් නොවන බවද එහි දක්වා තිබේ.

    1979 න් පසු දිවයින පුරාම පත්කරන ලද හදිසි මරණ පරීක්ෂක වරු සමාජයට පොදු කාර්ය භාරයක් ඉටු කරන ලදහ.මුස්ලිම් ජනගහනය වැඩි පෙදෙස් වල පවා ඔවුහු අගනා කාර්යයක් ඉෂ්ඨ කර ඇත. ඔවුන් ගේ සාමාජිකයන් ගෙන් සැදුම් ලත් මරණ පරීක්ෂක සංගමක් තිබෙන අතර එහි ලේකම්වරයා මුස්ලිම් පුද්ගලයෙකු බව මෙහිදී සඳහන් කළ යුතුය.

සාමාන්‍යයෙන් මුස්ලිම් ජන සමාජය තුළ තිබෙන මත කීපයක් මෙහිදී ගෙනහැර දැක්වීම කාලෝචිතය. පුද්ගලයෙකු මරණයට පත් වූ විට පැය විසිහතරක් ඇතුලත භූමදාන කටයුතු කළ යුතු බවට ඔවුන් ගේ ආගාමික සංස්කෘතික නීතියයි.එසේම මිය ගිය පුද්ගලයා කතා බහ නොකළද ඇසි පිය නොගැසුවද මෘත ශරීරයට සියලු දැනීම් ඇති බවටද විශ්වාසයක් ඇත. මේ තත්වය තුළ මුස්ලිම් පුද්ගලයෙකු හදිසි මරණයකට පත් වූ පසු මරණ පරීක්ෂණ පැවැත්වීමත් මිනිය කැපීමත් නොකළ යුතු බවට දැඩි මතයක සිටී.මේ නිසා යම් මරණ පරීක්ෂකවරයෙකු එලෙස කිරීමට තැත්කළ විට එයට දැඩි විරෝධය පළ කොට කෙසේ හෝ එය වැළැක්වීම ට උත්සාහ දරති.බේරුවල ප්‍රදේශයේ 19 හැවිරිදි මුස්ලිම් ගැහැණ ළමයෙකු හදිසියේ මිය ගියේය. මරණයට ආසන්නම සිද්දිය වූයේ ඇයගේ මාමා විසින් ලබා දුන් තල කැරැල්ලකි.මෙහිදී මෙම මරණය සැක සහිත බැවින් මරණ පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්යයනේම සිදු විය යුතු විය.එසේ නැතහොත් දැරියගේ මාමා සහ තල කැරලි විකුණූ වෙළෙන්දාද නිෂ්පාදකයාද චූදිතයන් බවට පත් වේ. මෙහි තර්කානූකූල බව එසේ වුවත් දැරියගේ ඥාතීන් මිනිය කැපීමට දැඩි ලෙසට විරුද්ධ විය.නමුත් මරණ පරීක්ෂක වරයාගේ සෘජු තීන්දුව මත මිනිය විවර කොට බැලුණි.එහිදී  අධිකරණ වෛද්‍යවරයා ගේ නිගමනය වූයේ දැරිය හදිසි හෘද්‍යාබාධයකින් මිය ගිය බවයි. මෙහිදී දැරියගේ මාමා මෙන්ම අනෙකුත් චූදිතයන් දෙදෙනාම සැකයකින් තොරව නිදහස් විය.නමුත් මුස්ලිම් සමාජය මෙම තර්කානූකූල බව පිළිගන්නේ නැත. අතැම් මරණ පරීක්ෂක වරු මුස්ලිම් පුද්ගලයන් හදිසි මරණයකට පත් වූ කල්හි අල්ලස් ලබාගෙන මිනිය නිදහස් කරන අවස්ථා නැත්තේ නොවේ. නමුත් බහුතරයක් මරණ පරීක්ෂක වරු එලෙස කරන්නේ නැත. එයට හේතුව මෙම තනතුර වගකීම් සහිත ගෞරවනීය තනතුරක් වීමයි.

           2018 දී හිටපු අධිකරණ අමාත්‍යවරිය විසින් පත් කරන ලද කමිටුව ඉදිරියේ සාකච්ඡා කරන්නට යෙදී ඇත්තේ මෙවැනි ප්‍රායෝගික කරුණුය.හදිසි මරණ පරීක්ෂක සංගමයේ ලේකම් වරයාද මුස්ලිම් පුද්ගලයෙකු බැවින් මුස්ලිම ජන සමාජයේ ඉල්ලීම් වලට වැඩි බරක් ලැබෙන්නට ඇත. නමුත් වගකිව යුතු රජයක් ඇමතිවරයෙකු සහ ලේකම් වරයෙකු ගේ කාර්ය භාරය විය යුත්තේ යම් ජන සමාජයක පවතින පිළිගත නොහැකි අන්තවාදී ඉල්ලීම් වලට ඉඩ දීම නොවේ.මරණ පරීක්ෂකවරු පොදුවේ පත් කරන කල්හි. සියලුම ජන කොටස් වලට ගැලපෙන පරිදි එම තනතුර සකස් කිරීම ඔවුන්ගේ වගකීමයි.මෙලෙස එක් වර්ගයක ජන කොටසකට ආවේණික පුද්ගලයන් පත් කිරීමෙන් සිදු වන අනර්ථය මෙම වගකිව යුත්තන් හට තේරී නොමැත. එකක් නම් මුස්ලිම් පුද්ගලයෙකු අන්‍යජාතික කාන්තාවක් විවාහ කරගෙන ඇති අවස්ථාවක ඔහුගේ අඩන්තේට්ටම නිසා ඇය මිය ගිය හොත් මරණ පරීක්ෂණයක් සිදු නොකරම වළ දැමීමට ක්‍රියාකිරීමට මේ පසුබිම මත හැකිවීමයි.එසේම යම් මුස්ලිම් කාන්තාවක් අන්‍ය ජාතිකයෙකු සමග ප්‍රේම සම්බන්ධතා පවත්වන විට ඇය ශරියා නීතය අනුව මරණයට පත් කොට මරණ පරීක්ෂණයක් සිදු නොකරම වළ දැමීමට තිබෙන ඉඩකඩයි. ලංකාවේ පමණක් නොව ඇමරිකාවේ පවා මුස්ලිම් තරුණියන් අනාරක්ෂිත බව පැවසෙන්නේ මෙම ශරියා නීතියේ බලපුලුවන්කාරකම නිසාය.දැනටමත් කාති උසාවි හරහා මුස්ලිම් කාන්තාවන්ට විශාල අසාධාරණයක් සිදු වේ.ග්‍රාම නිළධාරී කොට්ඨාශයක මුස්ලිම් ජනගහනය 5000 කට වැඩි නම් මුස්ලිම් මරණ පරීක්ෂක වරයෙකු පත් කල යුතු බවට ද යම් යෝජනාවක් පැමිණ තිබෙන බවද දැන ගන්නට ඇත.මෙය  භයානක තත්වයකි. මේ මගින් දිවයින පුරා ම ආවරණය වන පරිදි මුස්ලිම් ජන කොටස් වෙනම අනන්‍යතාවක් සහිත පුද්ගලයන් ලෙසට වර්ග වේ. මෙම පියවර  සහාරාන්ලා බිහි කිරීමට පසුබිම සලසන වර්ග වාදයකි.

 වර්ෂ 1806 සිට මුස්ලිම් විවාහ දේපළ නීතය ස්ථාපිත කොට ගෙන පැමිණි මුස්ලිම් විශේෂ නීති පිළිබඳ ක්‍රියාකාරිත්වය නිදහසින් පසු ස්වදේශික ආණ්ඩු විසින් තවදුරටත් පෝෂණය කර ඇත. මෙරට අධිකරණ පද්ධතියට මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙකුම පත් විය. ඒ අවස්ථා දෙකෙහෙදීම සිදු වූයේ බහුතර සිංහල ජනතාගේ වරප්‍රසාද කප්පාදු කරමින් ඔවුන් ගේ ජන වර්ගයට සාධාරණයක් ඉටු කර ගැනීමයි.නීති විදයාලයේ සිංහල බසින් ඉගෙනීමටත් විභාගයට ලිවීමත් යන දෙකම මෙම ඇමතිවරු දෙපළ විසින් අවලංගු කර ඇත.වර්තමාන අධිකරණ ඇමතිවරයා තමන්ගේ බල පරාසය තුළ ඉතා සූක්ෂමව කටයුතු කරනු පෙනෙන්නට තිබේ.එක් අතකින් මුස්ලිම් පිරිසට රැකියා සපයා දීමට අවස්ථාව සලසන අතර ඒ මගින් මුස්ලිම් වැඩි පිරිසක් සිටින ගම්වල ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අනුබල දෙයි.පාස්කු ප්‍රහාරයෙන් සිංහල දේශපාලකයන් ඉගෙන නොගත් පාඩම නම් මුස්ලිම් දේශපාලකයන් හුරතල් කිරීමේ අනර්ථයයි.එය විසින් සමස්ත සමාජයම අනතුරකට පත් කර තිබේ.

 මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress