හරිම කණගාටුයි ෆීල්ඩ් මාර්ෂල් තුමනි…..
Posted on May 12th, 2021

Lal De Alwis FB

-සුදුකොඩි කථාව වැනිම ඉතා නින්දිත ප්‍රකාශයක් ඔබ නැවත කළේය. මිලේනියම් සිටි කුප්‍රකට මහා පාවා දීම සිදු වී දැනට වසර දහසයක් පමණ ගතවී ඇත.

එවකට හමුදාපති ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ බ්‍රිගේඩියර් කපිල හෙන්දාවිතාරණගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක දුරදිග විහිදුම් බළකායේ බුද්ධි මූලස්ථානය පොලිස් සුනඛ අංශයේ පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පල විසින් මාධ්‍යයට හෙළිකිරීම තුළින් සිදු වූ විනාශය රටම දන්නේ ය.

මෙය මාධ්‍යයට හෙළි නොකරන ලෙසත් එහි වගකීම තමන් භාර ගන්නා බවත් මෙය ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඉතා සංවේදී ස්ථානයක් බවත් හමුදාපතිවරයා සහ බුද්ධි අංශ ප්‍රධානියා පුනපුනා කීවත් එවකට පැවති එජාප රජයේ දේශපාලන හයිය හිතට ගත් උඩුගම්පොල ඒ කිසිවක් නොසලකා එය මාධ්‍යයට හෙළි කළේය.

එම බුද්ධි තොරතුරු මූලස්ථානයට එවකට අණ දුන් කපිතාන් නිලාම් සහ තවත් සාජන් වරයෙකු ද ද්‍රවිඩ ජාතික ඔත්තුකරුවන් රැසක්ද ගෙනගොස් කටුගස්තොට පොලිසියේ කූඩුවට දැම්මේය.

එම අංශයට සම්බන්ධව සිටි ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතික තොරතුරු සහ ඔත්තු සපයන්නන් විශාල පිරිස් නම් හෙළිදරව් කළේය.

අද ෆීල්ඩ් මාර්ෂල්වරයා එම බුද්ධි ඒකකය තුට්ටු දෙකට දමා කතා කළේය.. එතන ප්‍රධානියා අඟල් 48 ක 50ක බඩත් තිබෙන තමා යටතේ සිටි සාජන් කෙනෙක් යැයි ඔහු උපහාසයෙන් පැවසීය.

ඒක දේශපාලන කණ්ඩායමක ඒකකයක් යැයි අපහාස කළේය.නමුත් ඔහු හමුදාපතිවරයා කාලයේ මිලේනියම් සිටි බුද්ධි අංශය හෙළිකිරීම මහා පාවාදීමක් ලෙස ප්‍රකාශ කළ බව අපට මතකය.

ඒ ඔහු හමුදා නිලධාරියෙක් ව සිටි කාලයේය .හමුදාවට ආදරය කළ කාලයේ ය.

මිනීමරු එල්ටීටීඊ දේශපාලන අංශය වූ ද්‍රවිඩ ජාතික සංවිධානයේ සහාය ලබාගෙන 2009 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දින සිට ඒ රටට ආදරය කළ වීරෝදාර සෙන්පතියා මිය ගියේය.

ඉන්පසු බිහි වූයේ ද්‍රවිඩ සන්ධානයට කෘතගුණ දැක්වීමේ වගකීමෙන් බැඳී සිටින රටක් ජාතියක් පාවා දෙන දීන දේශපාලනඥයෙකි.

නොඑසේනම් වන්නියේ කැලෑ තුල කිලෝ මීටර් තිහක් හතළිහක් ඇතුලට කොටි බළ පෙදෙස් වලට ගොස් ශංකර් වැනි කොටි නායකයන් ඝාතනය කළ ප්‍රභාකරන්ට වන්නි කැලයේ ඇවිදීමට මර බිය ඇති කළ දුරදිග විහිදුම් බළකායේ වීරෝදාර සෙබලුන් හට අවශ්‍ය තොරතුරු සහ ඉලක්කයන් තිතටම ලබාදුන් එම විශිෂ්ට බුද්ධි ඒකකයට මෙසේ අපහාස නොකරනු ඇත.

එතුමා කියන ආකාරයට මිලේනියම්සිටි බුද්ධි අංශය වැඩකට නැති දේශපාලන ඒකකයක් නම් කුලසිරි උඩුගම්පොල නැමති දේශද්‍රෝහී නිලධාරියාගේ හෙළිදරව්වෙන් පසු එම බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ හැත්තෑවකට ආසන්න ද්‍රවිඩ සහ මුස්ලිම් තරුණයන් පිරිසක් එල්ටීටීඊ මිනීමරු ත්‍රස්තයන් විසින් ඝාතනය කර දැම්මේ ඇයි.?

එදා මැරුම්කෑ බොහෝ තරුණයන් සිංහලයන් නොවේ.. ද්‍රවිඩ හා මුස්ලිම් ජාතිකයන් ය.

නමුත් ඔවුන් හමුදා බුද්ධි අංශ වෙතට හරවා ගනිමින් ඔත්තු සපයන්නන් බවට පත්කර ගැනීමට තරම් එම බුද්ධි අංශය ප්‍රබල විය.

ඔවුන් එදා සිය ජීවිත පූජා කළේ අපට නිදහස් රටක් බිහිකිරීමට අවශ්‍ය පදනම සකස් ගැන ගැනීමේ ක්‍රියාවලියකට දායක වීම නිසාය.

ඔවුන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව නොබියව සිය මවුබිම වෙනුවෙන් සිය යුතුකම ඉටු කල වීරයන්ය.එම විරුවන්ට අපහාස කිරීම තුළින් සරත් ෆොන්සේකා මැතිතුමනි, ඔබතුමා, ඔබතුමා විසින්ම ඔබතුමා කවරෙක්දැයි නැවත වතාවක් හඳුන්වා දී ඇත..

.ඔබ ඒ විරුවන්ට අපහාස කරද්දී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්දිරන් මන්ත්‍රීවරයා සිනාසෙමින් එය රස විඳින ආකාරය දැක ගැනීමට තරම් අප අපේම රටේ අවාසනාවන්තයන් වී ඇත…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress