සිංහල බෞද්ධ විරෝධී කළු සුද්දන්ට රන්ජන් ඉගැන්වූ අපූරු පාඩම
Posted on May 13th, 2021

චන්ද්‍රසිරි විජයවික්‍රම

රංජන් අල්ෆොන්සෝ රාමනායක නමැති පංචස්කන්ධය පිළිඹඳව විමසා බැලිය යුත්තේ, ඕපා දූප කතා ලෙස නොව, මෙම බොහෝ දුරට අහිංසකව සිටි හා නොමඟ ගිය පෘතග්ජන මිනිසාගේ, ගුණ හා නුගුණ අයුතුලෙස අපහරණයකල, ලංකාවේ සිංහල බෞද්ධ විරෝධී කළු සුද්දන්ගේ ක්‍රියාකලාපය එමඟින් එලිදරව්වෙන නිසාය (උදාහරණයක් වශයෙන් රන්ජන්ගේ අවුරුදු 4, බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ගේ 19 සමඟ සසඳන්නට කෙනෙක් සිටියාද?). මෙහිදී දෙයාකාරයක “පාවා දීම්” දෙකක් සිදුවිය. එකක් නම් දිරච්ච ලණු දෙමින්, රන්ජන්ව මුරුංගා අත්තේ නග්ගවමින් ඔහුගේ ආත්මය ඔහු ලවාම පාවා දෙවීමට සැලැස්විමය. අනික නම් රන්ජන් විසින් ඔහුව විනාශකල එකී නොකී මුළු කළු සුද්දන් රැළම ජනාධිපති ගෝඨාභයට, නිරුවත්කර භාරදීම නොහොත් පාවාදීමය. මීට පෙර රන්ජන් ගැන මා ලියූ ලිපි තුනක්ම ලංකා වෙබ් වෙබ් අඩවියේ පල විය (ජනවාරි 23, 25 හා 26). ඉන් මුල්ම ලිපිය පමණක් මෙහි පහතින් ලින්ක් කර ඇත.

යහපාලන අගමැති රනිල්, ඇමෙරිකන් තානාපති කාර්යාලය, යූඇන්පී පඬරැල්, සජිත්ගේ නඩය, ජේවීපීකාරයින් හා, නා නා මාදිලියේ දෙස් විදෙස් එන්ජීඕ ඩොලර් කාක්කන් රන්ජන්ව බළල් අතක් කරගෙන, ඔහු රටේ සිංහල බෞද්ධ පදනමට ඝෘජුව හා වක්‍රව පහර දෙනවිට දුශ්ඨ ආශ්වාදයක් ලැබුවේය. ඔහුව දඩයම් බල්ලෙක් සේ උසිගැන්වූයේය. රන්ජන් විසින් රටේ සංඝ සාසනයට, යශොධරා දේවියට, සිද්ධාර්ථ කුමාරයාට හා, අසාධාරණ ලෙස රාජපක්ෂලාට හා නින්දිත ලෙස ගෝඨාභය ආණ්ඩුවට කල අපහාස, රූල් ඔෆ් ලෝ හා ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් යයි කියමින් රන්ජන්ව වීරයෙක් සේ පුම්ඹමින් ඔහු වෙනුවෙන් නොමිලයේ පෙනී සිටි ඒබ්‍රහම් සුමන්තිරන් රන්ජන්ගේ ලොකුම සාපය විය. සුමන්තිරන් තමන්ගේ ශක්‍ර දෙවියා නැතහොත් ලීගල් බොඩිගාඩ් යයි රන්ජන් එක්තරා මෝඩ සුදියක් ලබාගත්තේය. එහෙත් අන්තිමේදී සුමන්තිරන් කලේ කුමක්ද? රන්ජන්ගේ නඩුවේදී සුමන්දිරන් ශාක්ෂිකාරයින් 103 ක ලැයිස්තුවක් දුන්නත්, අන්තිමේදී ඉදිරිපත් කලේ ඉන් තුන්දෙනෙක් පමණය.

කළු සුද්දන් කලේ රන්ජන්ව පාවිච්චිකිරීම හා අපහරණය කිරීමක් නොවේද? රන්ජන්ට මෙය තේරුණේ හිරේට ගිය පසුවය. ඒ නිසා ඔහු තීරණය කලේ උන්ට පාඩමක් ඉගැන්වීමටය. ගෝඨාභය ජනාධිපති ඉදිරියේ දණ ගැසීම වනාහි කළු සුද්දන් ගල උඩ ඉන්නා බළලුන් කිරීමක් නොවේද? ගීතා කුමාරසිංහ හැරෙන විට රන්ජන්ට සමාව දීම ගැන කතාකල හැම දෙනාම යම් “සැඟවුණ න්‍යායපත්‍රයක්” වෙනුවෙන් පෙනී සිටි අය විය. නාගානන්ද කොඩිතුවක්කු මෙය ජිනීවා ගෙනියන්නට යෝජනා කලවිට, රන්ජන් සංඝයා වහන්සේලාට මඩගසද්දී නිහඬව බලාසිටි ක්‍රිස්තියානි, බෝන් අගේන් පාස්ටර්, ලිස්ට් මන්ත්‍රී, එරාන් වික්‍රමරත්න ඊට විරුද්ධ විය. ඔහු කියා සිටියේ ගෝඨාභය පාර වඩා සුදුසු ගැලවීමේ මඟ බවය.

රන්ජන් වෙනුවෙන් ජීනීවා යන්නට සිතූ නාගානන්දට ඊට වඩා බලවත් අසාධාරණ දඬුවමක් හා බොරු නඩුවක් බව පැහැදිලිවම පෙනෙන ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටින්නට නොසිතුනේ මක්නිසාද? සුදර්ශන් හඳුන්ගොඩ, සේපාල් අමරසිංහ, සුදත්ත තිලකසිරි යන අයද රන්ජන් යකා නටන කාලයේ ඔහුට ප්‍රසිද්ධියේ අනතුරු ඇඟ වූයේ නැත. රන්ජන්ට ශරීරයක් තිබුණාට මොළයක් නැතයි දැන් කීම රන්ජන් ඔවුන් පාවාදීමෙන් ඇතිවූ හිතේ අමාරුවට කියනා කතා නොවේද?

ජනප්‍රිය නළුකම හා කාය වර්ධනයද නිසා, විවාහක හා විවාහ නොවූ ස්ත්‍රීන් අතරේ අනංගයෙක්, රස්පුටින්, ඕමාර් කායම් කෙනෙක්සේ හැසිරෙන්නට තරම් ඉල්ලුමක් ඔහුට විය. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, දිල් රුක්ෂි ඩයස් වැනි අය පවා ඔහුගේ ගජ මිතුරන් විය. මෙසේ කම්සැප ලබමින්, උද්දාමයෙන් පසුවූ රන්ජන්ට මධ්‍යම ප්‍රතිපදාව (කොයි දේකටත් සීමාවක් තිබෙන බව ) අමතක විය. මන්ත්‍රීකම ආභරණයක් නොව කඩුවක් විය. කැපී පෙනීම සඳහා එය භාවිතා කල හැකිබව ඔහුට අවභොධ විය. චිත්‍රපටිවල රඟපෑ වීරයා චරිතය රඟ පෑ ඔහු, සැබෑ ජීවිතයේදී ලෝභ, ද්වේෂ, මාන යන මිනිස් දුර්වලකම් විදහා පෑවේය. උදාහරණයක් වශයෙන් ජනයාට හාල් ගෝනි බෙදන ගමන්, පාලිත තේවරප්පෙරුම මෙන් නොව, ආණ්ඩුවට දේශපාලක පහරක් ගැසීමද ඔහු නොදැනම කටින් පිටවිය.

තිත්ත ඇත්ත කතාකරණ රටේ එකම වීරයා වීමේ බ්‍රැන්ඩ් නේම් එක ලබා ගැනීම සඳහා දිවා රෑ නොබලා වෙහෙසුනු රංජන් රාමනායක නමැති මේ පංචස්කන්ධය ගැන මට ඇත්තේ අනුකම්පාවකි. ලංකාවේ සිංහල බෞද්ධ පදනම විනාශකර රට කැබලිකිරීමේ, සමහර විදේශ සූද්දන්ගේ හා ලංකාවේ කළුසුද්දන්ගේ කුමණ්ත්‍රනකාරී ව්‍යාපාරයට රන්ජන් ක්‍රමයෙන් බිලිවූයේ ඔහුගේ කැමැත්තෙන්මද යන ප්‍රශ්ණය මතුවන්නේ කලකට පෙර මේ තරුණයා ගැන ගාමිනී ෆොන්සේකා තැබූ බලාපොරොත්තුව නිසාය. පුද්ගලයින් ගැන අප දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය. ගාමිනී බෞද්ධයෙකු බව මා දැනගත්තේ ඔහු මිය ගියාට පසුවය. ඔහු සල්ලාල, හිතුවක්කාර, ඒකාධිපති චරිතයක් බව දැනගත්තේ ඇනජලීන් සෙනෙවිරත්න, ඔහුගේ දෙවන බිරිඳ ලඟදී දුන් යූටියුබ් වීඩියෝ සාකච්චාවකට පසුවය.

එඩිතර, ඇත්ත කතාකරන්නට භය නැති තරුණ නළුවෙක් යයි ගාමිණී හැඳින්වු රන්ජන් නොමඟ ගියේ කෙසේද? ඔහුගේ නූගත්කම, නොහැදියාව සිංහල බෞද්ධ විරෝධී බලවේග විසින් උපරිම ලෙස ප්‍රයෝජනයට ගත්තේය. අන්තිමේදී වඳුරාට කඩුවක් දුන්නා මෙන් මුළු පාර්ලිමේන්තු මන්ත්‍රී ඔළුගෙඩි සියල්ලටම නෙලා, ඔවුන්ගේ රෙදිගලවා දමන්නට රන්ජන් ක්‍රියාකලේය. හරිහැටි කාරණා නොදැන ප්‍රසිද්ධියේ ඔහු කල ප්‍රකාශ ඔහුගේ මෝඩ පැත්ත එලිකලේය. රන්ජන්ගෙන් ගතහැකි දේශපාලන වාසියට වඩා ඔහුගෙන් වෙන දේශපාලන හානිය වැඩිබව මන්ත්‍රී ප්‍රාණවලටද දැණුනා නිසැකය.

පස් හොරු, වැලි පර්මිට් හොරු හා සමාජයේ වෙනත් අක්‍රමිකතා ගැන කතාකලත් අඩුතරමින් එක පණතක් හෝ පාර්ලිමේන්තුවට ගේන්නට ශක්තියක්, දක්ෂකමක් ඔහුට නොවීය. කලකට පෙර ගම්පහෙන් හා පබා මෙන් රන්ජන්ද මන්ත්‍රීකමකට සුදුසුද යන ප්‍රශ්ණය මතු නොවීද? රන්ජන් විසින් කර ඇත්තේ පුදුම ආකාරයේ රඟපෑමක් නොවේද යන්න එලිවූයේ හිර දඬුවම ඩුන් වහාම උසාවි භූමියෙන් පිටට ගෙනයාමටත් පෙර, මුන් හොරු. මං සමාව ගන්නේ නෑ යයි වහසි බස් දෙඩූ රන්ජන් හිර ගෙදරට ගොස් මාස දෙක තුනකින්ම ඉන් ගැලවීමට කල අඳෝනාව නිසාය. ගාන්ධි, මැන්ඩෙලා, මාටින් ලූතර් කිං නොව අඩුතරමින් සරදියෙල්, රොබින්හුඩ් කෙනෙක් ගනයට වත් සමාජයේ හෝ ඉතිහාසයේ තැනක් දැන් රන්ජන්ට නැත.

ලංකාවේ සිංහල බෞද්ධ පදනම රැකගත්තේ හාමුදුරුවරුන් විසින්ය. මෙම සංඝ සමාජයේ අඩුපාඩු බොහෝය. ඒවාට හේතුවූයේ සුද්දාගේ හා කළු සුද්දාගේ නීති රීති වලින් ඇටවුණ උඟුල්මය. පන්සලේ ඉතිහාස කතාව විමසා බලන විට හාමුදුරුවරුන් දමණය කිරීමට ගත් ක්‍රියා අතර ඔවුන් ඝාතනය කිරිමද එක ක්‍රමයක් විය. විශේෂයෙන් යහපාලන කාලයේදී සංඝ දමණය හා ඒ මඟින් බුදු සසුණට හානි කිරීමට කළු සුද්දන් යොදාගත් උපකරණය වූයේ රන්ජන් නමැති පංචස්කන්ධයය. ලොව සනාතන ධර්මයට අනුව යමින් රන්ජන් විසින් ඔහුව නොමඟට යැවූ, රට කැබලිකරන්නට මාන බලන කළු සුද්දන්ට ඉගැන්වූ පාඩම කදිමය.

මෙම කළු සුද්දන් ඥානසාර හිමියන් හිරේ දාන්නට කුමණ්ත්‍රනය කලේ, සිංහල බෞද්ධයාට හිත හොඳ ගෑණුන්ට සේ සළකමින් පක්ෂ දේශපාලකයින් ගෙනගිය < ගේම් එක > උන්වහන්සේ රටට එලිකල නිසාය. බොරු නඩුවක් දමා, අවුරුදු 19 ක බරපතල වැඩ සහිත හිර දඬුවමක් දුන්නේ සුප්‍රිම් උසාවියේ නීතිද කඩකරමින්ය. ඉන් පසු උන්වහන්සේ නිදහස් කරණ ලෙස ඉල්ලා සිටි පිරිසට මුස්ලිම් මන්ත්‍රීලාද සිටියහ. එහෙත් රනිල්ගේ නෝනා මෛත්‍රී ඇතුළු එන්ජීඕ නඩ එසේ නොකරණ ලෙස ඉල්ලා ජනාධිපති සිරිසේනට පෙත්සම් ගසන ලදී. අනිත් අතට රන්ජන් හිරේ ගියවිට රටේ නීතිය වෙනස් කරන්නට සුමන්තිරන්ලා, කිරිඇල්ලෙලා, රාසමානික්කම්ලා දියවන්නා හෝටලයෙන් පිට ජීනීවා වලට පවා කෑගැසුවේය. මහාවංශ විරෝධී බලවේග වල තරම එසේය.

එහෙත් ධර්මය හා සත්‍යය ජයගන්නේමය. දේශීය හා විදේශීය කුමණ්ත්‍රන කරුවන්ට බොදු බල සේනාව මෙල්ල කිරීමට නොහැකි විය.2002 බුද්ධ සාසන කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කරණ ලෙස එය කල ඉල්ලීම මෙන්ම අභූත චෝදනා වෙනුවට බොදු බල සේනාව ගැන පරීක්ෂා කිරීමට කොමිෂමක් පත්කරණ ලෙසට කල ඉල්ලීමද පක්ෂ දේශපාලකයින්ට අභියෝග විය. ලඟකදී ඥානසාර හිමියන් කල එලිදරව්වක් නම්, සාගර කාරියවසම් නම් පොහොට්ටුවේ ලේකම් උන්වහන්සේ පාර්ලිමේන්තුවට යාම වැලැක්වීම්ට කුමණ්ත්‍රනය කල බවය.

පාස්කු කොමිෂමේ වාර්තාව හාමුදුරුවන් දුන් ශාක්ෂි වලින් පිරිලාය. මේ වනවිට ගෝඨාභය-සරත් වීරසේකර දෙන්නා විසින් හාමුදුරුවන්ට පැය 24 පුරාම ආරක්ෂාව සපයාදී තිබීම සිංහල බෞද්ධයින් ලැබු ජයග්‍රහණයකි. දැන් කුරගල, දෙවනගල හා මුලතිව් කුරුන්දමලේද යලි බෞද්ධයින් අතට පත්වෙමින් පවතී. මේවා 2019, 2020 මැතිවරණ වලින් ලද ප්‍රතිපලය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress