අග්‍රාමාත්‍යතුමා හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි
Posted on May 17th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දි හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත් කළේය.

1985 අංක 31 දරන පාර්ලිමේන්තු පනත යටතේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දිරිමත් කර ප්‍රවර්ධනය කිරීම සඳහා  හින්දු සංස්කෘතික අරමුදල ස්ථාපිත කර තිබේ.

මෙම අරමුදලේ නව සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පත්කර ඇති අතර හින්දු සංස්කෘතික අරමුදල ඒ මහතා ඇතුළු සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුතු පාලක මණ්ඩලයකින් සමන්විතය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. උමාමහේෂ්වරන් සහ සහකාර අධ්‍යක්ෂ කේ. හේමලොජිනි මහත්ම මහත්මීන් මෙම අරමුදලට නිල බලයෙන් පත්වේ.

මෙයට අමතරව හිටපු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශාන්ති නාවුක්කරසන් මහත්මිය, මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් දේවාලේ  භාරකාර මණ්ඩලයේ සභාපති පී. සුන්දරලිංගම්, ජින්දුපිට්ටි ශ්‍රී සිවසුබ්‍රමනියම් ස්වාමි දේවාලයේ භාරකාර මණ්ඩලයේ ලේකම් ජී.වී. සුබ්‍රමනියම්, ව්‍යවසායක දේශමාන්‍ය දුරේසාමි විග්නේශ්වරන් සහ ඒ.බී.‌ජෙයරාජ් මහත්ම මහත්මියන් අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරන ලදි.

හින්දු සංස්කෘතික අරමුදලට සාමාජිකයින් පත් කිරීමේ උත්සවයේ දී අග්‍රාමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.

රට ගොඩනගන සෞභාග්‍යයේ  දැක්ම ප්‍රතිපත්තිය’’ බොහෝ අභියෝග මධ්‍යයේ අද අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා.

නීතිගරුක, සදාචාරාත්මක සමාජයක් නිර්මාණය කිරීම අපේ ප්‍රධාන අරමුණක්. ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඵලදායී ලෙස ක්‍රියාකරමින් සිටිනවා.

මේ සමාජයේ ජීවත්වන සෑම කෙනෙකුම ආධ්‍යාත්මිකව හා සදාචාරාත්මකව දියුණු වීම ඉතා වැදගත්. ඒ සඳහා පුද්ගලයෙකු අදහන ආගම මනා පිටුබලයක් සපයනවා. මේ රටේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන අතරම අනෙක් ආගම්වලටත් අපි සමානව ගරු කරනවා.

හින්දු, මුස්ලිම්, කතෝලික හා ක්‍රිස්ත්‍රියානි ජනතාවට ඔවුන්ගේ ආගම ඇදහීමට ඇති අයිතියට කිසිදු බාධාවක් මේ රටේ නැහැ. ඔවුන්ගේ ආගම ඇදහීමේ අයිතිය අපි සහතික කර තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාව තුළින් ද ආගමික සමගිය, සහජීවනය අපේ රට තුළ ස්ථාපිත වෙලා තියෙනවා.

මෙවැනි අවස්ථාවක බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක,  හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු ශක්තිමත් කරන හින්දු සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරිත්වය ඉතා වැදගත්.

හින්දු සංස්කෘතික අරමුදල ස්ථාපිත කරන්නේ 1985 අංක 31 දරන පාර්ලිමේන්තු පනත යටතේ. මෙය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ ජීවත් වන හින්දු භක්තිකයන් සඳහා සමෘද්ධිමත් පරිසරයක් නිර්මාණය කර ඔවුන්ගේ ආගමික සහ ආධ්‍යාත්මික කාර්යයන් ඉදිරියට ගෙන යාමයි.

ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයින් මිලියන 2.5ක් පමණ ජීවත්වෙනවා. ඔවුන්ගේ ආගමික සහ ආධ්‍යාත්මික කාර්යයන් වැඩිදියුණු කර ප්‍රවර්ධනය කිරීමේ වගකීම හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවටත් හින්දු සංස්කෘතික අරමුදලටත් පැවරී තිබෙන කාර්යයන් සහ වගකීම් විදියට අපට හඳුනාගන්න පුළුවන්.

හින්දු සංස්කෘතික අරමුදල, තමන්ට පැවරිලා තිබෙන මෙම කාර්යය නොපිරිහෙළා ඉටුකිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගයත් ලබා ගෙන කටයුතු කිරීම ඉතා වැදගත්.  අද ඔබ සියලු දෙනාට මේ පත්වීම් ලබාදෙන්නෙ මෙම අරමුදලේ ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්.

හින්දු දහම් පාසල්වල ක්‍රියාකාරකම් දිරිමත් කරමින්, ආධ්‍යාත්මික අතින් පොහොසත්, සදාචාරාත්මක තරුණ පරම්පරාවක් ගොඩනැගීමට ඔබ සියලුදෙනා නායකත්වය දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුෂ්කර ප්‍රදේශවල හින්දු කෝවිල්වල කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් රටපුරා තිබෙන සියලු හින්දු කොවිල්වල අවශ්‍යතා සොයා බැලීමටත් කටයුතු කරන්න.

එවැනි අවශ්‍යතා ඉටුකරමින් හින්දු සංස්කෘතික අරමුදලේ ඉලක්කය සපුරාගනිමින් යහපත් ශ්‍රී ලාංකේය සමාජයක් බිහිකිරීමට ක්‍රියා කිරීම ඔබගේ වගකීමක්.

හින්දු සංස්කෘතික අරමුදල හරහා සුවිශේෂි සේවාවක් ඉටු කිරීම සඳහා හින්දු සංස්කෘතික අරමුදලේ සාමාජිකයන් වන ඔබ සැමට මම සුබ පතනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය හින්දු කටයුතු සම්බන්ධීකාරක රාමචන්ද්‍ර කුරුකල් බාබුෂර්මා, අග්‍රාමාත්‍යතුමාගේ සම්බන්ධීකාරක සෙන්තිල් තොන්ඩමන් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress