ඇදන් 50 කින් යුතු නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් විවෘත වෙයි.
Posted on May 31st, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

කොවිඩ් 19 ආසාධිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ 100 කට ආසන්න පිරිවැයක් දරා කළුතර, හල්තොට ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ  අයි.සී.යූ ඇදන් 03 ක් ද සහිතව ඇදන් 50 කින් යුතු නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීම අද (31) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

ප්‍රදේශයේ දානපතියන් හා දේශපාලන අධිකාරියේ විමධ්‍යගත මුදල් යොදවා කළුතර, හල්තොට ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ මෙම නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉඳි කර ඇත.

රැකියා ලක්ෂයේ වැඩසටහනේ රැකියා ලාභීන් විසින් මෙම කාර්‍යය සදහා ශ්‍රම දායකත්වය ලබාදුණි.

එම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

එන්නත්කරණය කරන්නේ විපක්ෂයට අවශ්‍ය විදියටවත් ආණ්ඩුපක්ෂයට අවශ්‍ය විදියටවත් නොවෙයි. එන්නත්කරණය සිදු වන්නේ සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් හදුනාගත් MOH කලාපවල වැඩි අවධානමක් තිබෙන ග්‍රාමසේවා වසම්වලයි.

ඒ නිසා මේ ක්‍රියාවලිය විපක්ෂයට හෝ ආණ්ඩුපක්ෂයට අවශ්‍යය විදියට කරන්න බැහැ. ආණ්ඩුව විදියට අපි එන්නත් ලබාදෙන්න කටයුතු කරලා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදුනාගත් ග්‍රාමසේවා වසම්වල එන්නත්කරණය කරන්න අපි සහයෝගය දෙනවා. ඒ සදහා අවශ්‍යය වැඩ පිළිවෙල ග්‍රාමීය කමිටුව හරහා සකස් කරලා තිබෙනවා.

අද ලෝකයේ එන්නත්කරණය කරන රටවල් අතරින් සාර්ථකව එන්නත්කරණය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වී තිබෙනවා.

මම ඊයේ දිනයේ යාපනයේ එන්නත් 50,000 ක් එන්නත්කරණය කිරීම ආරම්භ කළා. අද රත්නපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කරනවා.

බණ්ඩාරගම ආසනයේ මේ වන විටත් එන්නත්කරණය ක්‍රියාත්මක වෙනවා. පානදුර නගරයේ මෙන්ම බස්නාහිර පළාතේ හදුනාගත් ස්ථානවල එන්නත්කරණය ක්‍රියාත්මකයි.

කුරුණෑගල, මහනුවර ක්‍රියාත්මක වෙනවා. මෙලෙස එන්නත්කරණයට ප්‍රමුඛතාවය දිය යුතු යැයි හදුනාගත් කළාප වල මෙම එන්නත්කරණය වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙම අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේය.

මෙම නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි ලලිත් එල්ලාවල මහතා, මිල්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව කුලතිලක, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා ඇතුළු සෞඛ්‍ය අංශයේ පිරිසක් සහභාගී විය.

මාධ්‍ය ඒකකය

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress