සන්සුන්වන්න! කලබල නොවන්න! සිතන්න! සිතන්න! සිතන්න!
Posted on June 11th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ශ්‍රී ලංකාවේ ජීවත්වෙන අපි ගතකරන්නේ අමුතුම කලබලකාරී පරිසරයකය.අපි උපතේ සිටම මරණය දක්වාම මහා කලබලයකින් මොකක්දෝ කරමින් සිටි.අපි කරමින් සිටින්නේ කුමක්දැයි ජීවත් වෙන කිසිවෙකු නොදනී. ජීවත්වන්නේ කුමකටදයිද නොදනී. මොකක්ද මේ කලබලය? බෝඩ් උස්සගෙන , සටන් පාඨ හඬ නගමින් මියදින ලෙඩුන් දෙස නොබලමින් මොකක්ද ඔබ ඉල්ලන්නේ? මොකටද ඔබ ඉල්ලන්නේ? ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරන්න.

ඔබ ජීවත් වෙන්නේ රෝගීන් නිසාය. එබැවින් ඔබ සේවය කල යුත්තේ රෝගීන්ටය. ඔබට රෝගීන්ගෙන් තොර ජීවිතයක් නැත. එබැවින් ඔබ කරන සියල්ලක්ම රෝගී හිතකාරක ලෙස සිදුවිය යුතුමය.

බලන්න! අද ඔබ මේ මාරාන්තික රෝගය රට පුරාම පැතිරෙද්දී, ඔබේ වගකීම අත්හැර, මුදලක් ඉල්ලා මොර දෙන්නේ,ඇයි? දොස්තරවරුන්ට කුමක්දෝ දීමනාවක් ලැබුන නිසාලු. දොස්තරවරුන්ට එහෙම දෙයක් ලැබුනේ නැත්නම්, ඔබට ප්‍රශ්නයක් නැහැ නේද? තවත් අයෙකුට යමක් ලැබීම ඔබේ මනස අවුල් කොට ඔබතුලවූ මිනිසත්කම පහත හෙලා, ඔබ මුදලට මිනි මරණ පාතාලයකුගේ තත්වයට පත්ව ඇති බවක් ඔබට නොහැගෙන් නේද? ඇත්තටම ඔබ කුලියට මිනි මරන්නේකුගේ තත්වයට වැටී ඇත. පාතාල නායකයින් බවට පත්ව සිටින්නේ,ඔබේ වෘත්තීය සමිති නායක පරපුරයි.

පාතාලය මර්ධනය කරමින් සිටින රටක සංවිධානාත්මක පාතාලයක් සෞඛ්‍ය සේවක සේවිකාවන් වන ඔබ අද නිර්මාණය කර ඇත.මේ සමග මියැදෙන රෝගීන් සංඛ්‍යාව නිවැරදිව ගණනය කළහොත් තව තවත් ඉහල යනු ඇත. එසේ මල කඳන් ඉහල යනවිට ඔබ තව තවත් පහසුකම් හා දීමනා ඉල්ලා පාරට විත් සටන් පාඨ කියනු ඇත. මේ ඔබ පත්ව සිටින නවතම ස්ථානයයි. පාතාලයට සම්බන්ධවුවන්ට කිසිදා ගැලවීමක් නැත. ඔබටද වෘත්තීය සමිති නායකයින්ගෙන් ගැලවීමක් ලැබෙන්නේ නැත. ඔබ මොර දෙන සටන් පාඨ ඔබ සකස් කරන සටන් පාඨ නොවේ. ඒවා වෘත්තීය සමිති නායකයින්ගේ නිර්මාණයන්ය.

ඔබේ වර්ජන, රෝගීන්ට තදින්ම බලපායි. ඒ බව හොදින්ම දන්නා ඔබ ඒ බලපෑම ඔබේ ඉල්ලීම දිනා ගැනීම සඳහා උපයෝගී කරගනී. උගත්කමක් ඇති ඔබව පහත් ක්‍රියාවන් සඳහා යොදාගෙන ඇතිබව ඔබට හැඟුනත්, එහෙම තමයි වෘත්තීය සටන් කියන්නේ යන හැඟුමින් ඔබ සිත හදා ගන්නවා ඇත. නමුත් මේ අතරතුර රෝගීන්ට සිදුවෙන සියලුම අපහසුතා වලට ඔබ සැම වගකිව යුතුමය. එයින් මිදීමට ඔබට නොහැක. මේ ඔබ විසින් සිදුකරන්නේ මෙරටට පමණක් සීමාව ඇති දැවැන්ත නිදහස් සෞඛ්‍ය සේවාව විනාශ කිරීමයි. ඔබේ වෘත්තීය සමිතිවල අරමුණද එයයි. ඔබ සිතන්න! සිතන්න! ඔබලා වෘත්තීය සමිතිවලට සාමාජික මුදල් බැරකරන්නෝ පමණක් නොවෙන්න. රට ජාතිය බේරා ගැනීමේ සටනේදී,තුවාල ලද හමුදාවන්ට සේවය කල ආකාරයටම මේ අවස්ථාවේදීද සේවය කර රට ගොඩනැගීමට දායකවන්න.

වෘත්තීය සමිති කරන පහත් වැඩය නවතාලිමටද පිලියම්ද ඇත. ඒවා තේරුම්ගෙන කටයුතු කිරීමට පාලකයින්ට ඥානය පහල වෙවායි පතමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress