විමල්ට උදයට තව ගැහුවා මදි….
Posted on June 22nd, 2021

උපුටා ගැනීම – දිවයින 2021.06.22

උදය ගම්මන්පිල තෙල් මිල වැඩි කිරීමේ ප‍්‍රකාශය කළේ ජනාධිපති සහ අගමැති ඇතුළු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගි වූ රැස්වීමක නිර්දේශය මතය. රැස්වීමෙන් එළියට පැමිණි ගම්මන්පිල තෙල් මිල වැඩි කරන බව ප‍්‍රකාශයට පත් කළේය. මේ අනුව අප පෙරද සඳහන් කරන ලද පරිදි උදය ගම්මන්පිල තෙල් මිල වැඩි කළේ සිය බිරිඳ, නැන්දම්මා සහ මාමණ්ඩිය සමග කුස්සියේදී පවත්වන ලද සාකච්ඡාවකින් පසුව නොව රාජ්‍යයේ ඉහළම ස්ථරයේ නියෝගය මත ය.

ඔහු පිටතට ඇවිත් ඒ බව කියන්නේ පණිවුඩකරුවකු ලෙස ය.

පණිවුඩකරුවාට වෙඩි තබන්නා හරකෙකි; බූරුවෙකි; පල් මෝඩයෙකි. (වෙනත් සුදුසු වචන ඇතොත් ආදේශ කරගත හැක) පණිවුඩකරුවා යනු කුලීකරුවෙකි.

ඔහුට වෙඩි තැබුවොත් පාඩු කිහිපයක් සිදුවෙයි.පළමුකොට කුලියට පණිවුඩය ගෙනා අසරණයා මිය යයි. දෙවනුව ඒ පණිවුඩයට පිළිතුර ඔහු අත ආපසු යැවීමට නොහැක.

තෙල් මිල වැඩිකරන පණිවුඩය ප‍්‍රකාශයට පත්කළ සැණින් පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් වහාම තුවක්කුව ගෙන ගම්මන්පිලට වෙඩි තැබීය. එහෙත් එතැන වරදක් සිදුව තිබිණ. කාරියවසම් කොකා ගස්සා තිබුණේ තුවක්කුවේ කට තමා පැත්තට හරවා ගෙනය.

මේ සිද්ධියේදී උදය ගම්මන්පිලට කිසිදු ඩැමේජ් එකක් සිදු නොවූ අතර කාරියවසම්ට සිදුවූ ඩැමේජ් එක ඉතා විශාල විය. කාරියවසම් ට සිහිය එනවිට ඔහු සිටියේ සිද්ධ වූ දේ ගැන කිසිවක් කියා ගැනීමට බැරි කෝමා තත්ත්වයකය.

ඒ නිසා ඔහු මාධ්‍යවලින් සැඟවින. මාධ්‍යයකින් කතා කළවිට අදටත් එතුමා උත්තර නොදෙයි.

විමල් වීරවංශ පිළිබඳ කතාව ද මෙයට සමාන ය. ඒ කතාව කීමට කලින් පොහොට්ටුව ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඔහු කළ මෙහෙවර ගැන ස්වල්පයක් මතක් කළ යුතුය.

පොහොට්ටුව බලයට ඒමේ වැඩපිළිවෙළ පටන් ගන්නේ යහපාලන ආණ්ඩු කාලයේදී නුගේගොඩ හංදියේදී පවත්වන ලද මහින්ද සුළඟ නමැති රැස්වීමෙනි.

ලංකා ඉතිහාසයේ නුගේගොඩට රැස් වූ වැඩිම සෙන`ග මහින්ද සුළඟට ආ සෙන`ග ය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර යනාදීහු එය සංවිධාන කළහ.

ඒ වනවිට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යහපාලන ආණ්ඩුවේ රිමාන්ඞ් හිර ගෙදර සෑහෙන කාලයක් ගතකර එළියට ආවා පමණි.

එම ආණ්ඩුවේ පොලිස් මුලාදෑනීහු මතුගම පිහිටි කුමාර වෙල්ගමගේ පාරම්පරික ඉඩම්වලට ගොස් එක්ස්කැවේටර් යන්ත‍්‍ර යොදා සැක කටයුතු දෑ සෙවීම පිණිස එම ඉඩම් හාරමින් සිටියහ.

අප දන්නා පරිදි හාරන්නට තරම් ඉඩම් වාසු ට සහ දිනේෂ් ට නැත. එබැවින් ඒ දෙදෙනා බේරිණි.

මහින්ද සුළඟ පසු කාලයේදී කොතරම් බලවත් වීද යත් ආණ්ඩුවත් දිනවා ගෝඨාභය රාජපක්ෂත් ජනාධිපති කරලීමේ බැසිල් රාජපක්ෂ මෙහෙයුමේ ප‍්‍රමුඛ යාන්ත‍්‍රණය ලෙස ක‍්‍රියාත්මක විය.

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු එක්තරා දවසක පොහොට්ටු පක්ෂයේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂට ලබාදිය යුතු යැයි විමල් වීරවංශ කීවේය. උදය ගම්මන්පිල එය අනුමත කළේය.

ඒ සමගම සාගර කාරියවසම් විමල් වීරවංශට දෝෂාරෝපණය කරමින් නිවේදනයක් නිකුත් කළේය. විමල් ඊට දුන් උත්තරේ හැටියට සාගර කාරියවසම් අප වී නම් කරන්නේ ළිඳට පැනීමය.

එහෙත් දේශපාලන රොබෝවකු වන සාගර කාරියවසම් ක‍්‍රියාත්මක වන්නේ වෙනත් බලවේගවලට අවනතව ය. ඒ බලවේග ගැන මෙහිදී කතා කරනු නොලැබේ. මන්ද ඒ බලවේග ද මිනිසුන් වශයෙන් ගත්කල ඉතාම හොඳ මිනිස්සු වන නිසා ය.

කෙසේ හෝ වේවා උදය ගම්මන්පිල ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුය යනුවෙන් සාගර කාරියවසම් නිකුත් කළ ලියවිල්ල තවමත් එසේම ය. එයින් හැෙඟන්නේ පොහොට්ටුව ප‍්‍රතිපත්තියක් වශයෙන් ඊට අවනත බවය.

පසුගියදා විමල් වීරවංශ යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට අනුයුක්ත කරන ලදී.මෙය මේ වෙලාවේදී කිරීම විමල්ගෙන් දේශපාලන පළුවක් ගලවාගැනීම හා සමාන ය.

විමල්, ලංකා පොස්ෆේට් සමාගම තමා යටතට ගන්නා විට එය පැවතියේ එතරම් ලාභ ලබන තත්ත්වයක නොවේ. එහෙත් කෙටි කාලයක් තුළ ඔහු එය රුපියල් කෝටි දහයක ලාභයක් දක්වා ගෙන ගියේය.

තවත් මෙවැනි කතාවක් කියමු. ඊස්ටන් පේපර් මිල්ස් නමැති සමාගමක් නැගෙනහිර පළාතේ වාලච්චේනායි ප‍්‍රදේශයේ තිබිණ. 1970 දී බලයට පත් වූ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව මේ සමාගම නැගෙනහිර කඩදාසි සංයුක්ත මණ්ඩලය බවටත් ඊළඟට කඩදාසි සංස්ථාව බවටත් පත්කර රටට අවශ්‍ය කඩදාසිවලින් සියයට හැත්තෑවක් පමණ නිෂ්පාදනය කිරීමේ නියුක්ත විය.

මේ කියන කාලයේදී ශ‍්‍රී ලංකාව කිසිදු රටකට සත පහක් ණය නැත. ඉන්දියාව රුපියල් අසූ පන් ලක්ෂයක ණයක් ශ‍්‍රී ලංකාවෙන් ලබාගෙන එය ගෙවාගත නොහැකිව හිස කසමින් සිටියේය.

කඩදාසි සංස්ථාව කොතරම් සාර්ථක වීද යත් පත්තර අච්චු ගසන කඩදාසි රෝල් හැර රටේ සෙසු සියලූ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි එහි නිපදවීමට හැකිවිය.

1977 දී නූතන ලංකාවේ ආර්ථික ගෘහ නිර්මාණ ශිල්පියා වූ ජේ. ආර්. ජයවර්ධන බලයට පැමිණ ටික කලකින් කඩදාසි සංස්ථාව බංකොලොත් විය.දශක දෙක තුනක ඇවෑමෙන් එම සංස්ථාවේ යන්ත‍්‍ර පරණ යකඩවලට විකිණීම සඳහා බ්‍රෝකර්ලාට පෙන්වනු ලැබීය.

වීරවංශ කර්මාන්ත ඇමැති වීමත් සමගම කඩදාසි සංස්ථාව නැවතත් නිෂ්පාදන කටයුතු පටන් ගත් අතර අද ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වෙමින් පවතී.

ඔහුට දෙන දෙවනි ෂොට් එක හැටියට කඩදාසි සංස්ථාව ගලවා එය කාන්තා කටයුතු අමාත්‍යාංශයට හෝ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අන්තර්ග‍්‍රහණය කළොත් පුදුම නොවන්න.

One Response to “විමල්ට උදයට තව ගැහුවා මදි….”

  1. NeelaMahaYoda Says:

    මේ කුරක්කන් සාටක පොරවාගත් මිථ්‍යා දෘෂ්ටිකයින් එලවා දමා රටට රටේ ගොවියාට ආදරය කරන දේශපාලකයින් කංඩායමක් ගෙන්වා ගැනීමට අපි සියල්ල වෙර දැරිය යුතුය . එයින් මෝඩ පුතානෝ උවත් හරි පාරට දමා ගැනීමට හැකිවෙන් ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress