කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on July 2nd, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇතැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා අද (02) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

රුපියල් මිලියන 445ක් සහ රුපියල් මිලියන 127ක් වැය කරමින් ඉදි කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව සහ පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික උමං මාර්ගය විවෘත කළ අග්‍රාමාත්‍යතුමා, රුපියල් මිලියන 4999ක වියදමෙන් කොටුව ලෝටස් මාර්ගයේ  මහල් 17කින් යුතුව ඉදිකෙරෙන සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයේ” වැඩ ආරම්භ කරමින් මේ බව සඳහන් කළේය. 

කපුදූව අන්තර් හුවමාරුව මාස 5ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ඉදිකර අවසන් කිරීම විශේෂත්වයක් වන අතර පේරාදෙණිය පදික උමං මාර්ගය ඉදිකිරීමට ගතවූ කාලය මාස 12කි. අද වැඩ ආරම්භ කළ සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය මාස 24ක් තුළ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී රෝහණ පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය ඕමාරේ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළ වදාළහ.

මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත්‍රවරුනි,

අපි රටක දියුණුව ගැන කතා කරනවිට ඒ රටේ යටිතල පහසුකම් සහ මාර්ග පද්ධතිය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. අපි මානව සංවර්ධනයෙන් පොහොසත් වෙනවා වගේම ඊට සමගාමීව භෞතික සංවර්ධනයෙන් ඉදිරියට යන්න ඕනි.

ඒ වගේමයි දේශීය නිෂ්පාදන ආර්ථිකය සවිබල ගන්වන්න නම් අනිවාර්යෙන්ම රටේ මාර්ග පද්ධතිය දියුණු කළ යුතුයි. අධිවේගී මාර්ග පද්ධතියෙ පහසුව විඳින ජනතාව මේ බව හොඳින්ම දන්නවා.එදා දුෂ්කරයි කියලා අතහැරලා තිබුණු ගම්මාන කීයක් නම් මේ අධිවේගී මාර්ග පද්ධතිය සමඟ දියුණු වුණා ද ? ඒ ජනතාවට අද රෝහලකට යන්නෙ, තමන්ගෙ ගොවිතැන් බෝග අලෙවි කරගන්නෙ, නගරය හා සම්බන්ධ වෙන්නෙ මේ අධිවේගී මාර්ග හරහා.

ඒ විතරක් නෙමෙයි පරම්පරා ගණනාවක් නොදුටු දියුණුව ගමට විවෘත කරන ප්‍රවේශයක් විධියටත් ජනතාව මේ අධිවේගී මාර්ග පද්ධතිය දකිනවා.

මිත්‍රවරුනි,

අද මේ ජනතා අයිතියට පත්වන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව එදා  මුලින් කරපු සැලසුමේ තිබුණෙ නැහැ. දිගින් දිගටම ඒ ප්‍රදේශයේ ජනතාව අන්තර් හුවමාරුවක් ඉල්ලමින් කරන පෙරැත්ත මාස කිහිපයකට කලින් ජොන්ස්ටන් ඇමතිතුමත්, ලාන්සා ඇමතිතුමත් මට ඇවිල්ලා කිව්වා.

 ඒ නිසා මේ ගැන හොයල බලලා ඒ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාව ඉටු කරන්න කියලා අපි දැනුම් දුන්නා. කිසිදු දේපල අත්පත්කර ගැනීමක් නොමැතිව අද ඒ ජනතාවගේ බලාපොරොත්තුව මාස පහක් වගේ ඉතා කෙටි කාලයක් තුළ ඉටුකරන්න හැකි වීම ගැන අපි සංතෝෂ වෙනවා.

ඒ සම්බන්ධයෙන් කැපවුණු සියලු දෙනාටම අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවිය යුතුයි.

මිත්‍රවරුනි,

දැන් කපුදූවේ ඉඳන් මාතර නගරයට දුර කිලෝමීටර් 7යි. මෙතන ඉඳන් කඹුරුපිටිය නගරයට තියෙන්නෙත් කිලෝමීටර් 10යි. ඒ විතරක් නෙමෙයි හක්මන නගරයට කිලෝමීටර් 17යි. ඔබ දන්නවා මේ නිසා මේ ප්‍රදේශ වල ජීවත්වන කෘෂිකාර්මික ජනතාවට මෙමගින් විශාල පහසුවක් සැලසෙනවා.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබාදීම රජය සතු වගකීමක් කියලයි අපි විශ්වාස කරන්නෙ. අධිවේගී මාර්ග පමණක් නෙමෙයි මේ රටේ අනෙකුත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට අපි මාර්ග ලක්ෂයේ වැඩපිළිවෙල ආරම්භ කළා. අදටත් එය අඛණ්ඩව ක්‍රියාත්මකයි.

පසුගියදා අපි කොළඹ නගරයේ අධික රථවාහන තදබදයට විසඳුමක් දෙන කුලුනු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකරන්නත් මුලපිරුවා. දැන් ඒ මාර්ගයේ වැඩකටයුතු ආරම්භ වෙලයි තියෙන්නේ. ඒ එක්කම කොළඹ අධික වාහන තදබදය ඇතිවන ස්ථාන හඳුනගෙන ඒ තැන්වලට ගුවන් පාලම් ඉදිකරන්නත් අපි ආරම්භයක් ගත්තා.

මිත්‍රවරුනි,

කොළඹ විතරක් නෙමෙයි, මහනුවරත් රථවාහන තදබදය ඉතාම වැඩියි. අපි ඊට විසඳුම් දෙන්න ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කළා. පසුගියදා ගැටඹේ මංසන්දියට අපි ගුවන් පාලමක් දුන්නා.

ඒ ගුවන් පාලම විතරක් හදල පේරාදෙණියේ වාහන තදබදයට විසඳුමක් දෙන්න බැරි නිසා චීන එක්සිම් බැංකු ආධාරයක් මත පේරාදෙණිය රෝහල ඉදිරිපිටට අපි පදික උමං මාර්ගයක් හදන්න අපේ ඇමතිතුමා කටයුතු කළා.

නිතර වාහන තදබදයක් තිබුණු මේ ස්ථානය හරහා යන පදිකයන්ට  දැන් ආරක්ෂාකාරීව ගමන් කරන්න හැකියාව උදාවෙනවා.

ඒ විතරක් නෙමෙයි පේරාදෙණිය රෝහලට, ගැටඹේ රජ මහා විහාරයට, දහම් පාසලට, විශ්ව විද්‍යාලයට, බැංකුවට හෝ ඒ අසල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට යන පුද්ගලයන්ට මේ උමං මාර්ගය ඉතාම  ප්‍රයෝජනයක් පහසුවක් වෙලා තියෙනවා.

ජොන්ස්ටන් ඇමතිතුමා කිව්ව විධියට මෙම උමං මාර්ගය හදනකොට ඒ අවට හිටිය පදික වෙළදුන්වත් අපි අමතක කළේ නැහැ. අපි ඒ අයටත් උමං මාර්ගය තුළ වෙළදාමට ඉඩ සලසලා තියෙනවා කියලා  ඇමතිතුමා කිව්වා.

අපි මේ සංවර්ධන වැඩ කරනකොට විරුද්ධ පක්ෂයේ ඇතැම් උදවිය  ඒවා විවේචනය කරනවා. සමහරු කියනවා කොවිඩ් ඉවර වෙනකම් ඉන්නලු වැඩ කරන්න. පාරවල් හදන්න එපාලු. මෙහෙම කියන ඒවා අවංකව කරන යෝජනා ද නැද්ද කියලා මේ රටේ බුද්ධිමත් ජනතාව ඔබ හොඳින් දන්නවා.

මිත්‍රවරුනි,

කොව්ඩි වසංගතය පාලන කරන්න අපි මේ වෙන කොට රුපියල් බිලියන 262 ක් වැය කරල තියෙනවා. අපි සියලු ක්‍රියාමාර්ග ගන්නෙ මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න. ඔවුන්ගෙ ජීවිතවල වටිනාකම දන්න නිසා අපි එන්නත්කරණය අඛණ්ඩව සිදුකරනවා. ඒක අපි නතර කරන්නේ නැහැ.

කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා. අපි අපේ ජනතාව රැකබලාගන්නවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඔබෙනුත් අපට අවශ්‍යයයි. වසංගතයෙන් ආරක්ෂා වෙන ගමන් ඔබේ ශක්තිය රට වෙනුවෙන් නොපිරිහෙලා ලබා දෙන ලෙස අප ඔබෙන් ඉල්ලනවා. අපට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ.  

ඒ නිසා අද ජනතා අයිතියට පත්කළ මේ ව්‍යාපෘති වගේම කොළඹ වරායේ අද වැඩ ආරම්භ කළ මහල් 17ක සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය” ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු තවත් විධිමත් කිරීමට විශාල පිටුබලයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

මාර්ගගත ක්‍රමවේදයට මුල්තැන දෙමින් ආරම්භ කරන මෙම මධ්‍යස්ථානයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආයතන සියල්ල එක් කළාම එහි කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවෙනවා. ඒ තුළින් ඒ ආයතන සමඟ ගණුදෙනු කරන සියලු දෙනාට ඉන් විශාල පහසුවක් උදාවෙනවා. 

ඒ නිසා මේ කාර්යය ආසියානු සංවර්ධන බැංකුව හා එක්ව කඩිනමින් අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ශක්තිය ධෛර්ය ලැබේවා! යි ප්‍රාර්ථනා කරනවා.

ඔබ සැමට සුබ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

අපි රාජ්‍ය බලය අරගෙන අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා බාධක ගණනාවකට මුහුණ දුන්නා. පළමු බාධකය තමයි පහුගිය ආණ්ඩුව විනාශ කරපු  ආර්ථිකය කොහොමද අපි ඉදිරියට ගෙනියන්නේ කියන එක. ඒක තමයි අතිගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට අපේ රජයට තිබුණු පළමුවැනි අභියෝගය.

 2015 දි අපි ආණ්ඩුව භාරදෙනකොට  අපි දෙවැනි වෙලා තිබුණේ චීනයේ ආර්ථික  වර්ධන වේගයට පමණයි. අපිට නැවත භාරදුන්නෙ විනාශ කරපු ආර්ථිකයක්.

ඒ ආර්ථිකය විනාශ කරපු අය අපේ ජනාධිපතිතුමාට, අපේ අගමැතිතුමාට අපේ රජයට අද ආර්ථිකය හදන හැටි උපදෙස් දෙන්න එනවා. 

මුළු ලෝකෙටම අභියෝගයක් වෙලා තියෙන මේ කොරෝනා වයිරසය තමයි දෙවැනි අභියෝගය. මේ හැම අභියෝගයකටම අපි මුහුණ දුන්නා. අදටත් අපි මුහුණ දෙමින් ඉන්නවා.

ඒ මුහුණ දෙමින් ඉන්න ගමන් තමයි අපි දැවැන්ත සංවර්ධනයකට අතගහල තියෙන්නේ. අපේ ජනාධිපතිතුමත් අපේ අගමැතිතුමත් අපේ රජයවත් කිව්වේ  නැහැ ජනතාවට පටි තදකරගන්න කියලා. අපි කිව්වේ නැහැ කොවිඩ් ප්‍රශ්නේ නිසා අපිට රාජ්‍ය අංශයේ ඉන්න අයට පඩි ගෙවන්න විදිහක් නැහැ, ගත්ත ණය ගෙවන්න විධියක් නැහැ කියලා. අපි කිව්වේ නැහැ සංවර්ධනය කරන්න විධියක් නැහැ අමාරුවෙන් යන්නේ කියලා, අපි එහෙම කිව්වේ නැහැ කවදාවත්.

අපේ ජනාධිපතිතුමා ඇතුළු අපේ අගමැතිතුමා ඇතුළු අපේ රජය ඉතාමත්ම දක්ෂ ලෙස සැලසුම් සකස්කරල ඊට මුහුණ දුන්නා. මේ තමයි යථාර්ථය.

අපි ඡන්දෙදි පොරොන්දු වු‍ණේ දූෂණයෙන් තොර පාලනයක් ගේනව කියල. ඒක අකුරටම ක්‍රියාත්මක කරපු රජයක් අද තියෙන්නේ. අකුරටම ක්‍රියාත්මක කරපු ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් අපට ඉන්නෙ. ඒක තමයි යථාර්ථය. මේක තමයි ඇත්ත. හැබැයි ඒ ඇත්ත කථා කරන්නේ නැහැ. ඒ ඇත්ත යටපත් කරන්න හදනවා.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා

ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමා මේ රටේ 2005 ගරු ජනාධිපති වුනාට පස්සේ තමයි අපි අධිවේගී මාර්ග සියසින් දුටුවේ එහෙම නැතුව අපි අධිවේගී මාර්ග දැක්කේ රූපවාහිනියෙන් එහෙම නැත්නම් විදේශ රටකදියි.

 අද මේ විවෘත කරන අධිවේගී මාර්ග ඒ වගේම  ශ්‍රී ලංකා  වරාය අධිකාරිය වෙනුවෙන් සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය 2015 ජනවාරි මස 8 වෙනිදා මේ රටේ ආණ්ඩු පෙරලියක් නොතිබුනානම් මීට කලින් හැදිලා ජනතාව ඒ පහසුකම් භුක්ති විඳිනවා.

ගරු අග්‍රාමාත්‍යතුමනි එක පැත්තකින් ඉඟුරුකඩේ හන්දියෙන් එන අධිවේගී මාර්ගය වරාය පිවිසුම් මාර්ගයට ඇතුළු වෙලා චෛත්‍ය ලඟින් නැවතත් ගෝල්ෆේස් පිටිය දක්වා යන මේ අධිවේගී මාර්ගය ඉදි කිරීම තුළින් අපිට පහසුකම් 2 ක් සැලසෙනවා. එකක් කොළඹ රථවාහන තදබදයට විසඳුමක් ලැබෙනවා. දෙවැන්න අපේ වරාය අධිකාරියට පැමිණෙන යම්  තැනැත්තෙකුට තමන්ගේ කාර්ය ඉටු කර ගන්න ගියාම ඔහු  කාර්යාල පරිශ්‍ර 10 ,12 කට ඇවිදගෙන යන්න ඕන.  සමහර වෙලාවට කිලෝමිටර ගණනාවක් වරාය ඇතුළේ ඔහුට ඔහුගේ කාර්ය ඉටු කරගන්න යන්න සිද්ධ වෙලා තියෙනවා.

මේ සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය අපට ලැබුනම එකම පරිශ්‍රයක් තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු ඉතා හොඳින් කරගන්න ලැබෙනවා.

අතිගරු ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාට යුද්දේ අවසන් කර මේ රට බේර ගත්තා වගේ මේ කොවිඩ් උවදුරෙන් අපේ මෘතෘ භූමිය බේරා ගෙන ඉදිරියට ගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා! යි කියල ප්‍රාර්ථනා කරනවා.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා

මාතර කපුදූව අන්තර්හුවමාරුව ගරු කථානායකතුමාත් දන්නවා මේ කොරෝනා වසංගත කාලයේ පටන් ගත්තේ එත් අද අපි එය විවෘත කරනවා.

අද වරාය නගරය වගේම වරාය පිවිසුම් මාර්ගයට ඉඩ පහසුකම් ලබාදීම සඳහා ගොඩනැගිලි අයින් කරලා ඒ ගොඩනැගිලි එක වහලකට ඇවිල්ලා වරාය අපේ මූල්‍ය නගරයට සම්බන්ධ වෙන මාර්ග එකතුවුණාම දකුණු ආසියාවේ කොළඹ දකුණු ආසියාවේ තියෙන ඉතාමත් දියුණුම නගරයක් බවට පත්වෙනවා.

අපේ රටේ සංවර්ධනය 2015 ඉඳලා 2019 දක්වා ආපස්සට ගියා. පාස්කු බෝම්බ සිද්ධියත් එක්ක නැවත ආපස්සට ගියා. නමුත් අපි මුහුණ දෙන්නෙ වෙනස් තත්ත්වයකට. එහෙම වුණත් මේ රට ආපස්සට අරගෙන යන්න අපට පුළුවන් කමක් නැහැ. අපි සෞඛ්‍ය උපදෙස් පරිදි රට විවෘත කරන්න ඕනේ.

අගමැතිතුමනි රට විවෘත කරන්නැතුව මේ රටේ ආර්ථිකය හදන්න බැහැ. ඒ නිසා අපි මේ ජනතාවට කියන්න ඕනේ මේ ආර්ථිකය ගොඩනගන්න නම් පළමුවෙන්ම රට විවෘත කරන්න ඕනි.

රටේ ජනතාවට දැනගන්න දෙන්න ඕන රටේ සංචාරක ආයෝජන  ආවහම තමයි රටේ මිලියන 22ක ආර්ථිකය ශක්තිමත් වෙන්නෙ කියලා. ආයෝජන ආවම තමයි මිලියන 22ක ආර්ථිකය ශක්තිමත් වෙන්නේ කියලා බය නැතුව කට ඇරලා අපි කියන්න ඕන.

මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා 

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඝෘජු නායකත්වයත් අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීමත් මත මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේත් උපදෙස් හා මෙහෙයවීම යටතේ අපි අද දින ජනතා අයිතියට පත්කෙරන මෙම ව්‍යාපෘති දෙකත් ඉදිකිරීමට යෝජිත මහල් 17 කින් යුත් සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ සුවිශේෂ  සන්ධිස්ථානයක් සඳහන් කරන්න කැමතියි.

ඒ තරම්ම ආර්ථික හා සමාජීය වශයෙන් වැදගත්කමක්  මෙම ව්‍යාපෘතීන් මගින් ශ්‍රී ලංකාවට  හිමිවීම විශේෂත්වයක්.  පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද මෙම අවදානම නොසළකා මෙම කාර්යයන් අප ඉටුකිරීමට සැදී පැහැදී ඉන්නවා.

2005 සිට 2014 අවසානය දක්වා අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් මහින්ද චින්තන වැඩසටහන  යටතේ අපි මේ රටේ මාර්ග පද්ධතියත් එසේම නාවික ක්ෂේත්‍රයත් වරාය සංවර්ධනයත් ඉතාමත්ම හොදින් ඉටුකළ බව සඳහන් කරන්න කැමතියි. එතුමා යටතේ ඒ අවධියේදී සේවය කිරීමට ලැබුණු නිසා මම එය ඉතා භාග්‍යයක් ලෙස සළකමි.

එසේම ජනාධිපතිතුමා‍ගේ සංකල්පයක් වන දැනට ක්‍රියාත්මක වන කිලෝ මීටර් ලක්ෂයේ  සංවර්ධන ව්‍යාපෘතියත් මේ සමඟම අපි ක්‍රියාත්මක කරමින් පවතිනවා යැයි පේමසිරි මහතා පැවසීය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන්වන නිමල් ලාන්සා, කාංචන විජේසේකර, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වීරසුමන වීරසිංහ, කරුණාදාස කොඩිතුවක්කු, ගුණතිලක රාජපක්ෂ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි, වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී ජයලාල්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress