අභාවප්‍රාප්ත කමල් රත්වත්තේ මහතාගේ දේහයට අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වයි
Posted on July 4th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතාගේ දේහයට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින අවසන් ගෞරව දැක්වූයේය.

කොළඹ පිහිටි පෞද්ගලික අවමංගල්‍ය උත්සව ශාලාවක තැන්පත් කර තිබූ දේහයට අග්‍රාමාත්‍යතුමා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැමිණ මෙලෙස අවසන් ගෞරව දැක්වූහ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී කමල් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වූයේ ඊයේ (03) පස්වරුවේ දී ය.

මියයනවිට 61 වැනි වියේ පසුවූ ඒ මහතා දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොහොයුරු ක්ලිෆර්ඩ් රත්වත්තේ මහතාගේ පුත්‍රයාය. ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ඥාති සොහොයුරෙකු ද වේ.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේ උප සභාපතිවරයකු මෙන්ම ජාතික රක්ෂණ සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකු ලෙස කලක් සේවය කළ කමල් රත්වත්තේ මහතා 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා ලෙස අඛණ්ඩ මෙහෙවරක නිරත වූයේය.

ඒ මහතාගේ අවසන් කටයුතු අද දින බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress