සම්පූර්ණ ඇමති සංශෝධනයක් කරන්නේ අගමැති සහ ඇමතිවරු 20 යටතේ දිව්රුම් දීමට සළස්වා 2020 ඔක් 29 සිට 20වන සංශෝධනයට පටහැනිව යන රාජ්‍ය සේවය නීතියට ගැනීමටද?
Posted on July 10th, 2021

ලක්සිරි උණවටුන (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූ සමයේ තේරීපත් වී ජනාධිපති ධූරයේ දිව්රුම් දෙන ලදී. එසේම 2020.08.05 දින පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද්දේත් 19 ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන යටතේ වන අතර එමෙන්ම මහනුවරදී 2020 අගෝස්තු 12 දින දිවුරුම් දෙන ලදී. ඒ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේය.

ඉන් පසු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගනිමින් 2020 ඔක්තෝබර් මස 29 දින කථානායක සහතිකය යොදා ඇත.

ඒ අනුව 2020 ඔක්තෝබර් 29 දින සිට 19 ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ කොටස්වල ක්‍රියාකාරීත්වය 20 වන සංශෝධනයෙන් වෙනස් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII පරිච්චේදයත් එසේ සංශෝධනය වූ පරිච්චේදයකි. එනම් අමාත්‍ය මණ්ඩලයට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII වන පරිච්චේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර අලුත් පරිච්චේදයක් ඇතුලත් කිරීමට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 7 වන වගන්තිය මගින් සිදුකර ඇත. ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අලුත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIII වන පරිච්චේදයයි.

දැන් පැන නගින ගැටලුව වන්නේ මහනුවරදී 2020 අගෝස්තු 12 දින දිවුරුම් දුන් ඇමතිවරුන් එනම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දිව්රුම් දුන් ඇමතිවරුන් ස්ව්‍යංක්‍රීයවම 2020 ඔක්තෝබර් 29 දින සිට එනම් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇමතිවරුන් වන්නේද යන්නයි. එය එසේ නොවේ මන්ද යත් 20 වන සංශෝධනයෙන් ඇතුළත් වූ 53 වගන්තිය නිසා නැවත ඇමතිවරු දිව්රුම් දීම කළ යුතු වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්කාලීන විධිවිධානවලින් විනිසුරුවරුන්ගේ සහ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්ගේ ධූර ආරක්ෂා කර තිබුණත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත්වූ ඇමතිවරුන්ගේ ධූර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සාංශෝධනයේ අන්තර්කාලීන විධිවිධානය මගින් ආරක්ෂාකර නැති බවත් 20 වන සංශෝධනයේ 58 වගන්තිය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 ව්‍යවස්ථාව අනුව ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කරගත් ලෙස සැළකිය යුතු බව දක්වා තිබුණත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය” පරිච්ඡේදයම සංශෝධනය කර අලුතින් ඇතුල්කර ඇති හෙයින්, ඊට පෙර සිටි 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් වූ සහ දිව්රුම් දුන් ඇමතිවරුන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුත් ඇමතිවරුන් ලෙසම සැළකීමට අන්තර්කාලීන වීධිවිධානයක් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 58 වන වගන්තියේ නොදැක්වෙයි.

ඒ අනුව පැහැදිලි වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දිව්රුම් දුන් ඇමතිවරු හැර 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් පමණක් දිව්රුම් දුන් ඇමතිවරු සහ අගමැතිවරයා සම්බන්ධයෙන් බලවත් නීතිමය දෝෂයක් පවතින බවයි.

වර්තමානයේ සම්පූර්ණ ඇමති සංශෝධනයක් ගැන පුවත් පළ වෙන්නේ 20වන සංශෝධනයෙන් පත් නොවූ, 19 යේ අගමැති සහ ඇමතිවරු තවමත් ඉන්නා නිසාද? යන්න ඉදිරියේදී සමාජයට නිරාවරණය වෙනු ඇත. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
(සමායෝජක)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress