සූම් අධිකරණ‍ය සහ ඉස්මතු කරගත යුතු අපේ කම
Posted on July 10th, 2021

ෂම්මි උයනගේ (පරිගණක විද්‍යා විශේෂවේදී – කොළඹ විශ්ව විද්‍යාලය) පරිගණක මෘදුකාංග ඉංජිනේරු

කොරෝනා වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු ඉදිරියට පවත්වාගෙනයාම සඳහා සූම් තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධව මතුගම සෙනෙවිරුවන් මහතා විසින් ලියන ලද ලිපියක් ලංකා වෙබ් අඩවියෙහි පළ වී තිබුණි (එම ලිපිය සඳහා මෙතනින් පිවිසෙන්න).

සූම් ආයතනයේ අයිතිකරු වන චීනයේ උපත ලද අවුරුදු 50ක් වයසැති එරික් යුආන්, 8 වාරයක් උත්සාහ කිරීමෙන් අනතුරුව 1997 දී ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගන්නා ලදී. දුර ඈතක වාසය කළ පෙම්වතිය සමග කතාබහ කිරීම සඳහා ඔහු විසින් කරන ලද උත්සාහයක ප්‍රතිඵලයකි සූම් පරිගණක වැඩසටහන. කෝවිඩ් වසංගතය හමුවේ අනෙකුත් ව්‍යාපාරවලට කොපමණ දුෂ්කරතා ඇති වුවද 2020 වසරේදී සිය ව්‍යාපාර කටයුතු 300% කින් පමණ ඉහළ නංවමින් ඩොලර් බිලියන 2.6 වාර්තාගත ආදායමක් ලැබුවේය. 2019 වර්ෂයේදී දෛනික රැස්වීම් ප්‍රමාණය මිලියන 10 වූ සූම් මෙහෙයුම් පද්ධතිය තුළ, 2020 වන විට දෛනික රැස්වීම් ප්‍රමාණය මිලියන 350 දක්වා වැඩි විය.

විවිධ ස්ථානවල සිටින පුද්ගලයන් සමග සම්බන්ධ වෙමින් ඔවුන් සමග සාකච්ඡා කිරීම සඳහා සූම් භාවිතා කළ හැක. යම් පුද්ගලයකු එසේ සූම් පද්ධතිය භාවිතා කරන්නේ නම් සූම් ආයතනයේ වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි පලමුව ඔවුන්ගේ සියලුම කොන්දේසි සහ නීති රීති වලට සම්පූර්ණයෙන්ම එකඟ විය යුතුයි.

ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසි, නීති රීති යනාදිය ඔවුන්ට ඕනෑම අවස්ථාවක වෙනස් කල හැකි බව ද ඔවුන්ගේම කොන්දේසි වල දක්වා ඇත. එය සාමාන්‍ය තත්ත්වයකි.  එසේම ලෝකයේ විවිධ ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් සඳහා ඔවුන්ගේ කොන්දේසි සහ නියමයන් වෙනස් වන ආකාරය පිළිබඳවද ඔවුන්ගේ රෙගුලාසිවල පැහැදිලි කර ඇත. කැලිෆෝනියා ප්‍රාන්තය, එංගලන්තය, ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය වැනි ප්‍රදේශ එහි දක්වා තිබුණ ද ශ්‍රී ලංකාව පිළිබඳව කිසිදු සටහනක් දක්වා නැත.

අවුරුදු 16 ට වඩා අඩු ළමයින්ට සූම් ගිණුමක් විවෘත කළ නොහැකි බවට නියමයක්  (6) පැවතුනද අවුරුදු 16 ට අඩු ළමයින්ට සූම් තාක්ෂණය භාවිතා කළ නොහැකියැයි ඔවුන්ගේ කොන්දේසි වල දක්වා නැත. සූම් රැස්වීම් පටිගත කරන අවස්ථාවලදී ඒවා ගබඩා වන්නේ සූම් ආයතනයේ පරිගණක පද්ධති තුළ බව ඔවුන්ගේ කොන්දේසි සහ නියමයන්හි සඳහන් කර ඇත (3-c).

සූම් මාධ්‍ය තුළ සාකච්ඡා සංවිධානය කරන අයගේ මෙන්ම ඒවට සම්බන්ධ වන පුද්ගලයින්යන්ගේ පෞද්ගලික තොරතුරු, සම්බන්ධිත පරිගණක වල තොරතුරු ද සූම්  ආයතනය විසින් එකතු කරන බව දක්වා ඇත. ඔවුන් එම තොරතුරු ඔවුන්ගේ වෙළඳ සහ ප්‍රචාරණ කටයුතු සඳහා පමණක් භාවිතා කරන බව පවසයි. කරුණු එසේ නම් අපට විහිළුවට මෙන් පැවසිය හැක්කේ යම් දවසක පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව නඩුව සූම් තාක්ෂණය ඔස්සේ විමසන අවස්ථාවකදීම මෙම නඩුවට සම්බන්ධ පාර්ශවයන්ට බෝම්බ සකස් කිරීම් පිළිබඳව වෙළඳ දැන්වීම් ඇත්නම්, ඒවා දර්ශනය විය හැක.

සූම් ආයතනය කැලිෆෝනියා ප්‍රාන්තයේ නීති රීතිවලට යටත්ව ක්‍රියාත්මක වන බව දක්වා ඇති අතර (20.1) යම් කිසි ගැටලුවක් ඇති වුවහොත්  ඇමරිකානු බේරුම්කරණ ආයතනයේ (AAA) නියමයන් සහ කොන්දේසි වලට පමණක් වගකියන බවද සඳහන් වේ (Exhibit A – C).

මා දන්නා පරිදි ළමා සහ කාන්තා අපචාර, ජාතිවාදී ක්‍රියා, ආගමික අන්තවාදී කටයුතු සම්බන්ධ සාකච්ඡා හෝ ඒවා සම්බන්ධ ලිපි ලේඛන හෝ ඡායාරූප, සූම් පද්ධතිය තුල සංචරණය විය නොහැක. කිසිම දැනුම්දීමකින් තොරව එවැනි සාකච්ඡා සහ ගිණුම් අත්හිටුවීමේ බලය සූම් ආයතනය සතුව ඇත (3 b). රනිල්, හම්බන්තොට වරාය විකුණා ලබාගත් චෙක් පත ලොවට පෙන්වූ නිසා තමාගේ ෆේස්බුක් ගිණුම මාස දෙකක පමණ කාලයකට අවහිර කර තිබූ බව රේඛා කහඳගම නම් මහත්මිය විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් දමා තිබෙනවා දුටුවෙමි. කරුණු කාරණා එසේ නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව සහ තවත් බොහෝ නඩු කටයුතු සූම් තාක්ෂණය ඔස්සේ විභාග කළ හැකිදැයි ගැටළුවක් මතු වේ.

ඉහත සංක්ෂිප්තව දක්වා ඇති තොරතුරු සහ සූම් ආයතනයේ නියමයන් සහ කොන්දේසි, ප්‍රතිපත්ති ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව යුක්තිය පසදලීම සඳහා විකල්ප ක්‍රමයක් වශයෙන් සූම් තාක්ෂණය භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ අධිකරණ අමාත්‍යාංශය, ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි සූම් ආයතනය සමඟ ඇතිකරගන්නා ලද ගිවිසුම් රටට ඉදිරිපත් කරන ලෙස නීතිඥ අරුණ උණවටුන මහතා කරන ලද ඉල්ලීම පිළිබඳව අප පුදුම විය යුතු නැත.

සූම් පිළිබඳව මගේ සිතේ ඇතිව තිබූ කහට තීව්‍ර වූයේ කැබිනට් රැස්වීම් එම තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බව දැනගන්නට ලැබුණු අවස්ථාවේදීය. ලංකාවේ කැබිනට් මණ්ඩලයේ රැස්වීමකට මටද ඔබටද සහභාගි විය නොහැක. එනමුත් එය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමෙන් සූම් ආයතනයට හෝ එම ආයතනය ගිවිසුම්ගතව පිහිටුවා ඇති රටක රහස් ඔත්තු සේවාවන්ට අපගේ කැබිනට් මණ්ඩලයේ රැස්වීම් පිළිබඳව තොරතුරු ලබාගත හැකිය.

එදිනෙදා භාවිතා කරනු ලබන පරිගණක මෙවලම් ආශ්‍රිතව පරිශීලකයන්ගේ තොරතුරු ඒ ඒ ආයතන විධිමත්ව සහ අවිධිමත්ව ලබා ගන්නා ආකාර පිළිබඳව ඕනෑතරම් නිදසුන් ඇත.

ශ්‍රී ලංකාවේ පරිගණක මෘදුකාංග විද්‍යාව වැඩිදුරටත් උගන්වන කොළඹ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය වැනි  ආයතන වල වෙබ් අඩවි පරීක්ෂා කිරීමෙන්ද පෙනී යන්නේ ඔවුන්ද සූම් තාක්ෂණය භාවිතා කරවන බවයි. සූම් වැනි  පරිගණක වැඩසටහන් සකස් කිරීම සඳහා ආචාර්ය, මහාචාර්යවරුන්ට හැකියාවක් නැත. නමුත් සූම් වැනි පරිගණක වැඩසටහන් නිර්මාණය කළ හැකි පරිගණක මෘදුකාංග ඉංජිනේරුවන් සකස් කිරීමේ උත්කෘෂ්ට හැකියාව ඔවුන්ට ඇත. එලෙස පිටවන විද්‍යාර්ථයන්ට ජාතික හිසක් (plug-in) සවි කිරීමේ කාර්යය සිදුකළ හැක්කේ දුටුගැමුණු රජතුමා ඉදිරියේ දිවුරුම් දුන් ජනාධිපතිවරයෙකුට පමණි. නොඑසේ නම් ඔවුන් සිතනු ඇත්තේ හැකි ඉක්මනින් සූම් වැනි ආයතනයක රැකියාව සඳහා රට හැරදමා යාමටයි.

සූම් හෝ එවැනි පරිගණක පද්ධතීන් නිර්මාණය කරන ආයතන හෝ වෙනත් මෙවැනි දස දහස් ගණනින් පවතින විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික, පරිගණක, උපාංග, වැඩසටහන් සමඟ කිසිම තරහක් හෝ ඉරිසියාවක් මෙම ලියුම්කරුට නැත. ප්‍රශ්නය වන්නේ ඔවැනි අවශ්‍යතාවයක් මතු වන සැම අවස්ථාවකදී එය හැකි පමණ ශ්‍රී ලංකාව තුළින් ලබා ගැනීම හෝ නිෂ්පාදනය කර ගැනීම කළ යුතුයැයි, අවශ්‍යතාවය ඇතිවූ අයවලුන්ට නොසිතීමයි. රටේ මුදල් ඉතිරි කර ගැනීම සඳහා කහ පමණක් පිටරටින් ගෙන්වීම නැවැත්වීමෙන් ඵලක් නැත.

ජනාධිපතිතුමා කළ යුත්තේ තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව පිළිබඳ ආචාර්ය මහාචාර්යවරු ජනාධිපති මන්දිරයට කැඳවා සූම් වැනි මෙවලමක් සකස් කරන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම නොව, සිය නිලධාරීන් සහ බලතල යොදවා ලංකාවේ සතර දිග් භාගයේ විසිරී සිටින පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරුන්, තාක්ෂණවේදීන් කීපදෙනෙක්  රැගෙනවිත් ඔවුනට අවශ්‍ය මූලික පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා ඇතුළු යටිතල පහසුකම්ද ලබා දී මාස දෙක තුනක් ඇතුළත මාර්ගගත සන්නිවේදන මෙවලමක් සකස් කොට ලබා දෙන ලෙස දන්වා සිටීමයි.

ලංකාවේ පද්ධති කණපිට හැරවිය (system change) යුතුව ඇත. එය පරිගණක තාක්ෂණයට පමණක් අදාල කතාන්දරයක් නොවේ. මිනිස්සු සිතන පතන විදිහ, කන බොන විදිහ, හැසිරෙන විදිහ, කණපිට හැර විය යුතුව ඇත.  රටේ ජීවත්වන මහජනතාව පමණක් නොව, ජනාධිපති, අගමැති, මැති ඇමැති, මන්ත්‍රී, පක්ෂ, විපක්ෂ, නායක, සභාපති, ලේකම්, එකී මෙකී නොකී සියලුදෙනාම එක පෙළට පෙළ ගැස්වීම විනා වෙනත් කිසිම ක්‍රමයක්, අවුරුදු දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීම සඳහා නැත!

ෂම්මි උයනගේ

(පරිගණක විද්‍යා විශේෂවේදී – කොළඹ විශ්ව විද්‍යාලය) පරිගණක මෘදුකාංග ඉංජිනේරු

shammie@email.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress