මොකක්ද මේ රාජ්‍යට සිදුවෙමින් පවතින්නේ?
Posted on July 11th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

“අපි ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන ලොකු බලාපොරොත්තුවක් තබාගෙන එතුමාව මෙරට ජනාධිපති බවට පත්කලා, දැන් මොකද මේ රජයට වෙලා තියෙන්නේ?”

අපිට මුණ ගැසෙන අපේම මිනිස්සු අපෙන් අහන ප්‍රශ්නයක් මේක. මේ ප්‍රශ්නය අපෙන් අසන මිනිස්සු ඉතා පැහැදිලි පිළිතුරක් අප තුලින් බලාපොරොත්තු වෙනවා. අපි අපේ දේශපාලන දැනුම උපයෝගීකරගෙන ප්‍රශ්නයට උත්තර දීමට බැදී සිටිනවා.

පළමුව කිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ 2019 නොවැම්බර මස 19 වෙනිදා සිට මේ දක්වා තවම මෙරට රාජ්‍යක් බිහිව නැති බවයි. රාජ්‍යක් බිහිවීමට නම්,
1. විධායකය
2. ව්‍යවස්ථාදායකය
3. අධිකරණය

යන ආයතන තුනම එකට බැදී නිර්මාණය වූ රාජ්‍යන්ත්රයක්, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට කටයුතු කල යුතුය. එවන්නක් තවම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට උරුමව නැති බව කිව යුතුය. එතුමාගේ ජනාධිපති තනතුර ආරම්භයේදීම, මේ ආයතන තුන තුන් පැත්තකට අදිමින් සිටින බවක් මෙරට ජනතාවට ඉතා පැහැදිලිව දක්නට ලැබිණි. යම් කිසි ලක්ෂයක ඇති වස්තුවක් සමමිතිකව බල තුනකින් තුන් පැත්තකට අදින විට සිදුවෙන මෙරට පාලනයට එදා සිට අද දක්වාම සිදුවිය. ඊට අමතරව කොවිඩ් වසංගතයකට මුහුණ දීමට සිදුවීමත් සමග ජනාධිපතිතුමාට අපේක්ෂිත ඉලක්කයන් කරා යාමේ අපහසුවක් පැහැදිලිවම නිර්මාණය විය.

විධායකයට අවැසි ආකාරයේ ව්‍යාවස්ථාදායකයක් ජනාධිපතිවරයාට අවශ්‍ය විය. ඒ සමග එතුමාට පවතින නිතිය හා ආණ්ඩු ක්‍රමයද වෙනස් කිරීමට අවශ්‍ය බලයක්ද අවැසි විය. මහා මැතිවරණය තුලින් ජනතාව 2/3ක බලයක්ද එතුමාට ලබාදෙන ලදී. ඒ 2/3 බලය නාමික බලයක් වන අතර, පොහොට්ටුව තුලින් බලය අල්ලා ගත්තේ මහින්ද රාජපක්ෂයන්ට හා ගෝඨාභය රාජපක්ෂයන්ට එරෙහි ප්‍රතිගාමී කොටස් බව අපි මැතිවරණ ප්‍රතිපල තුලින් දුටුවෙමු.

අපි අපේ පැත්තෙන් පොහොට්ටුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුටත් නාම යෝජනාදීම අනුමත කලේ නැත. මෙරට දේශප්‍රේමී ජනතාවගේ එකාවන්වූ නාදය වුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ගේ බලය උරගා බැලීමට වෙනම තරඟ කිරීමට ඉඩදිය යුතු බවය. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකද මන්ත්‍රී වරක්වත ජනාධිපතිවරනයේදී, ගෝඨාභය රාජපක්ෂයන්ට චන්දය දුන් අය නම් නොවේ. ඔවුන්ගේ රජයන් පවතින යුගයේදී හිරගෙදරට දක්කා ඔහු හිර ගෙදර දුක් විදිනවා බැලීමට  මහත් ආශාවකින් පසුවූ අය එතුමා ජනාධිපති කිරීම සඳහා චන්දය පාවිච්චි කාලයයි පිළිගැනීමට තරම් මෙරට ජනතාව මුග්ධයින් නොවේ.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරා වැටීම දුටු යහපාලන නියෝජිතයින්ද මැතිවරණයට පෙර පොහොට්ටුවේ සෙවනට විත් යලි පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට වරම් ලබා ගත්හ. දැන් මේ ආණ්ඩු පක්ෂයේ, අභ්‍යන්තරයේ ඇත්තේ ගෝඨාභයට සහය දෙන්නන් ලෙස පෙනී සිටින, නමුත් ගෝඨාභය විරෝධින්ගෙන් සැදුම් ලත් ආණ්ඩුවකි. ඇත්ත වශයෙන්ම නව ආණ්ඩු ක්‍රම ව්යාව්ස්තාවක් ගෙනවිත් 2/3 වැඩි චන්දයෙන් සම්මත කර ගත හැකි තත්වයක් මෙහි නැත. දැන් මේ ආණ්ඩුව ශක්තිමත් කරන ගෝඨාභය රාජපක්ෂයන්ට ඉතා දැඩිව ආදරය කරන ඔහුව සුරකින දේශපාලන කණ්ඩායම් වලට පහරදීම, ආරම්භ කොට ඇත. උදාහරණයක් වශයෙන යහපාලනයේ සිටි නිමල් ලන්සා උදය ගම්මන්පිලට පහර ගසන්නේ ඔහු පොහොට්ටුවේ නිර්මාතෘ වරයෙක් ලෙස කටයුතු කරමිනි. මේ ආකාරයට පහරදීමෙන් ආණ්ඩුව තුල සිටින දේශප්‍රේමී කණ්ඩායම්, අකර්මන්‍ය කිරීමෙන් ගරා වැටෙන්නේ, මෙරට ජනතාවගේ අපේක්ෂාවන්ය. දැනට සිදුවෙමින් පවතින්නේ එය බැවින්ද එය ජනතාවට සංවේදනය වෙන බැවින්ද ඔවුන් අපෙන්ද විමසා සිටින්නේ ඔවුන්ට සංවේදී වෙන කරුණු සත්‍යද යන්නයි.

ඇත්ත වශයෙන්ම,එදා,
1.පුරවැසිකම් පනත තුලින් මෙරටට කුලී වැඩ සඳහා ඉන්දියාවෙන් ගෙන ආ කුලිකරුවන්ට මෙරට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා චන්දය භාවිතා කිරීමට ලබාදී තිබු වරම අහෝසිකළ එක්සත් ජාතික පක්ෂය නොවේ. සිරිමා ශාස්ත්‍රී ගිවිසුම මගින් ඉන්දියාවට යැවීමට සැලසුම් කර තිබු ඒ ඉන්දීය කුලිකරුවන්ව ඉන්දියාවට පිටත් කිරීම නවතා, ඔවුන් සියලු දෙනාටම පුරවැසිකම් හා චන්ද අයිතියද ලබාදුන් එක්සත් ජාතික පක්ෂයකි. එය මේ වනවිට ජනතාව අහෝසිකර දමා ඇත. ඒ එම පක්ෂය මෙරට බටහිර තානාපති සේවාවන් විසින් හසුරවන පක්ෂයක් බව තේරුම් ගත විටය.

2.එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා මහෝ සිරිමා බණ්ඩාරනායක මැතිනිය මෙහෙයවපු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්ද අද නැත.එයද අධිරාජ්‍යවාදීන්ට අවැසි විදියට හැසිරවීමට මෛත්‍රිපාල සිරිසේන මහතා හා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ක්‍රියා කිරීමත් සමගම එයටද මෙරට ජනතාව අතර තිබු වලංගු බාවය අහෝසි විය.

3. ආරම්භයේදී මෙරට තිබු ජනතා විමුක්ති පෙරමුණ 2005 නොවැම්බර මස 18 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමත් සමග අධිරාජ්‍යවාදීන් විසින් මිලක් නියම කිර්මත් සමග අධිරාජ්‍ය විරෝධී භාවයෙන් ඈත්වී, රුසියන් හා චීන විරෝධී පෙරමුණක් බවට පත්වීමත් සමගම, ජනතාව පිළිකුලින් පලවා හරින ලදී.

මේ පක්ෂ සියල්ලක්ම අධිරාජ්‍යවාදීන්ගේ රුකඩ බව වටහා ගත ජනතාව නව දේශපාලන පක්ෂයක් පිහිටවීම ආරම්භ කරන ලෙස ඉල්ලා සිටි අතර එහි පලයක් වශයෙන්,පොහොට්ටුව හෙවත් පොදුජන පෙරමුණ බිහිවිය. මෙතෙක් කල් අධිරාජ්‍ය විරෝධිව සිටි එම පෙරමුණද මේ වනවිට අධිරාජ්‍යවාදීන් විසින් හසුරවන තවත් දේශපාලන පක්ෂයක් බවට එය පත්ව ඇති බව මෙරට ජනතාව තේරුම් ගත යුතුය. නමුත් ඒ පක්ෂය බෝට්ටුවක් බවට පත්කරගෙන එතරව මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ වැඩ කරමින් සිටි. ගෝඨාභය රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම තමාගේ ඉලක්කයන් හඹා යන චරිතයක් බැවින් අප සියලු දෙනාම මේ උදාවී ඇති තත්වයන් තේරුම් ගෙන  මේ පවතින අභ්‍යන්තර යුද්ධයෙන් හා සෞභාග්යේ දැක්ම යතාර්ථයක් බවට පත් කොට ජය ගැනීමට එතුමාට උදව් කල යුතුය.

එපමණක්ද නොවේ, ඉදිරි ගමන සඳහා අපට අපේම වූ තවත් දේශපාලන පක්ෂයක් අවශ්‍යතාවය නිර්මානයව ඇත. එය ගොඩ නැංවීමටද ප්‍රමුඛතාවය දිය යුතය.ඉතිහාසයේ ගමන් මගේ ස්වරුපය මෙය බැවින්, මේවා දැක කලකිරෙන්න එපා ධෛර්යමත් වන්න.ජයග්‍රහණය උරුමවන්නේ, සත්‍යට මිස අසත්‍ය වපුරන්නන්ට නොවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress