2020 ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා Zoom තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක් කරයි.
Posted on July 15th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

ජපානයේ ටෝකියෝ අගනුවර දී එළඹෙන ජූලි මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (15) දින Zoom තාක්ෂණය ඔස්සේ සුබපැතුම් එක් කළේය.

මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා  ඔවුන් සමග කෙටි පිළිසඳරක යෙදෙමින්  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිරිගැන්වීම් ලබාදුනි.

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකළොස් දහසක් පමණ එක්වන අතර ඔවුහු ස්ථාන 42ක දී විවිධ තරග 33ක් සහ ඉසව් 339ක් වෙනුවෙන් තරග වදිති.

පවතින ගෝලීය කොවිඩ්-19 වසංගත තත්ත්වය මත ඔලිම්පික් තරගාවලිය සදහා විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන් යොදාගැනීමට මෙවර ඔලිම්පික් සංවිධායක කමිටුව කටයුතු සූදානම් කර ඇත.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

අපි විශේෂයෙන්ම අමාත්‍යංශය, ක්‍රීඩා කවුන්සිලය සහ ජාතික ඔලිම්පික් කමිටුව විදියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මාස 06 ක පමණ කාල සීමාව තුළ කළ හැකි සියලුම දේ අපි කරලා තිබෙනවා. ඔබ ඔබේ උපරිම දක්ෂතා දක්වමින් රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න.

ජාතික ඔලිම්පික් කමිටුව අනෙක් කණ්ඩායම් සමග එක්වෙලා දීර්ඝ කාලයක් තිස්සේ මෙම වැඩපිළිවෙල කරගෙන ආවා.

අපිට තිබුණ විශාල අභියෝගය මෙවර ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලත් අපේ කණ්ඩායමක් කෙසේ හෝ සහභාගී කරවන එක .

ඒ අනුව, ක්‍රීඩක ක්‍රීඩිකාවන්  උසස් දක්ෂතා ගිවිසුම්වලට යොමුකරමින්, පුහුණුවීම් කරලා ජාතික ඔලිම්පික් කමිටුවත් සමග එකතු වෙලා පුහුණුකරුවන්, ක්‍රීඩකයින් සමග විශාල කැපකිරීමක් කරලා අද අපි මේ තත්ත්වයට ඇවිත් තිබෙනවා.

විශේෂයෙන්ම මළල ක්‍රීඩා ඉසව්වක් නියෝජනය කරන ක්‍රීඩකයෙක්ගේ, ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් නියෝජනය කරන ක්‍රීඩකයෙක්ගේ සිහිනයක් ඔලිම්පික් වරම් ලබාගන්න එක.

ඒ සිහිනය සැබෑකරගන්න ඔබ සැමට හැකිවෙලා තිබෙනවා. ඒ වගේම පුහුණුකරුවන්ගේ සිහිනය වෙන්නෙ තමන්ගේ ක්‍රීඩකයාව ඔලිම්පික් තරගාවලියට හෝ ලෝක කුසලානයකට සහභාගී කරවා පදක්කමක් ජයග්‍රහණය කරන තැනට රැගෙන යන එක.

අද මොවුන්ගේ පුහුණුකරුවන් සියලුදෙනාටම ඉතාමත් සතුටුයි. ඉතාමත් ආඩම්බර විය හැකියි තමන්ගේ ක්‍රීඩකයින් ඔලිම්පික් වරම් ලබාගෙන තිබෙනවා.

ඒ අතර විශේෂ කාරණා කිහිපයක් තිබෙනවා. මෙවර ඔලිම්පික් වරම් ලැබූ ක්‍රීඩකයින් 09 දෙනාගෙන් 05 දෙනෙක් ක්‍රීඩිකාවන්.

රටක් විදියට කාන්තා සහභාගීත්වය ඉහළ තැනක තිබෙනවා. ඒක අපේ රටේ කාන්තාවන්ට මහත් ගෞවරයක් විදියට අපි දකිනවා.

ජිම්නාස්ටික් ක්‍රීඩාවට ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් සහභාගීවීමේ සුදුසුකමක් ලැබිලා තිබෙනවා. අපි විවිධ ක්‍රීඩා ඉසව් ගණනාවකින් මෙවර ඔලිම්පික් නියෝජනය කරනවා.

තරග ජයග්‍රහණවලට වගේම ඔබේ උපරිම පෞද්ගලික තරග වාර්තාවට යාමට මෙම ඔලිම්පික් තරගාවලිය තුළ ඔබ කැප විය යුතුයි.

ඔබ මෙවර ඔබේ  හොඳම පෞද්ගලික තරග වාර්තාවට ගියොත් එය මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුළ වාර්තාවක් විතරක් නොවෙයි, ඒ තුළ ලෝකයේම අවධානයට ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත යොමුවෙනවා කියන එක අපේ විශ්වාසයයි.

කොරෝනා වසංගතයේ තුන්වෙනි රැල්ලෙන් අපි එළියට ආවා විතරයි. රට වැහිලා තිබ්බේ. ඒ තත්ත්වය මත වුවත් අපිට හැකියාව තිබුණා ඔබේ පුහුණු කටයුතු කරගෙන යන්න.

විදේශ පුහුණුව අවශ්‍ය ක්‍රීඩකයින්ව විදේශ රටවලට යවලා පුහුණුවීම් ලබාදෙන්න අපිට හැකියාව ලැබුණා. තෝරා ගැනීමේ තරග සදහා අවශ්‍ය පහසුකම් ලබාදෙන්න හැකි වූවා.

මහේල ජයවර්ධන මැතිතුමා ප්‍රමුඛ ජාතික ක්‍රීඩා සභාව, අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුලු නිළධාරීන්, ක්‍රීඩා අධ්‍යක්ෂතුමා ඇතුලු නිළධාරීන්, මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඇතුලු සියලුදෙනාගේ කැපවීම හා උනන්දුව මම අගය කරනවා.

ක්‍රීඩකයින්, පුහුණුකරුවන් හා කළමණාකරුවන් විදියටත්  ඔලිම්පික් කණ්ඩායමකට ලැබුණු උපරිම වරප්‍රසාද ඔබට ලැබෙනවා.

ඒ වගේම මම හිතන්නේ අද සමාජයේ වැඩිම අවධානය යොමුවෙලා තිබෙන්නේ ඔබ කණ්ඩායමට.

අමාත්‍යාංශයක් විදියට අපෙන් ඉල්ලුවේ මොනවාද ඒ ඉල්ලීම යථාර්තයක් කරන්න අපිට හැකියාව ලැබිලා තිබෙනවා.

මෙවර ඉතිහාසයේ පළමු වතාවට අපි අමාත්‍යාංශයක් විදියට ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් වෙනුවෙන් යම්කිසි දීමනාවක් ලබාදෙන්න කටයුතු කරලා තිබෙනවා.

මේ කාල  සීමාව තුළ රටක් විදියට අපි කතා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හෝ අනෙකුත් ප්‍රධාන පෙලේ ක්‍රීඩා ගැන.

ඒ ක්‍රීඩාවලට සමාන්තරව හා නොදෙවෙනි දීමනාවක් මේ ඔලිම්පික් යන ක්‍රීඩකයින්ටත්, පුහුණුකරුවන්ටත් ලබාදෙන්න අපිට මේ අවස්ථාවේ හැකියාව ලැබිලා තිබෙනවා.

ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ සඳහා ජාත්‍යන්තරය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇගයීමක් ලබා දෙන්නේ කොහොමද ගෙවීම් කරන්නෙ කොහොමද ඒ හා සමානව ඔබ ජයග්‍රහණ කරා යන විට එම ජයග්‍රහණවලට ඇගයීමක් හා වටිනාකමක් අපේ රටේත් ක්‍රීඩකයින්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා.

මේ තරගාවලිය තුළ ඔබේ කැපවීම, ඔබ දක්වන දස්කම්, ඔබ ක්‍රීඩා කරන විලාසය පිළිබදව මේ රටම බලාගෙන සිටිනවා. ඒ වගේම ඔබේ විනය පිළිබදව මුලු රටම බලාගෙන සිටිනවා.

මම ගෞරවයෙන් ඉතා ආදරයෙන් ඉල්ලන්නේ ඔබ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව, ඔබ නියෝජනය කරන්නේ අපේ ජාතික කොඩිය. අපේ ජාතිකත්වය.

ජාතිකත්වය හා රට නියෝජනය කරන මේ අවස්ථාවේදී ඔබ විශේෂයෙන්ම ඔබේ විනය කියන කාරණයට ප්‍රමුඛතාවය දෙන්න.

කණ්ඩායම් හැගීම කියන කාරණයට ප්‍රමුඛතාවය දෙන්න. ඔබ සහභාගී වන්නේ ඔලිම්පික් තරගාවලියට කියන දේ අමතක කරන්න එපා.

ඔබේ උපරිම දක්ෂතාවලට යන්න අවශ්‍ය කායික හා මානසික ශක්තියත් එක්ක මානසිකව ක්‍රීඩාවට සූදානම්වීම තුළ ජයග්‍රහණය ලබා ගන්න පුලුවන් තැනට ඔබ යන්න කියන ආදරණීය ඉල්ලීම මම කරනවා.

මම ඔබ සැමට සුභ පතනවා යැයි  අමාත්‍යවරයා ඔවුන්ට  සුබ පැතුම් එක් කළේය.

මාධ්‍ය ඒකකය

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress