20 න් තටු කැපූ මැතිවරණ කොමිසම කැමැත්තෙන්ම පඹයෙකු බවට පත්වෙමින් සිටිනවා
Posted on July 18th, 2021

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්  

මැතිවරණ කොමිෂන් සභාව විසින්  ˝දේශපාලන පක්ෂ, සංවිධාන හා පුද්ගලයන් විසින් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් කරනු ලැබූ ප්‍රකාශ පිළිබඳ ˝ නිවේදනයක් 2021 ජූලි 16 දින නිකුත් කර ඇත. කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ  ˝පරිපාලන කටයුතු සම්බන්ධව අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ˝ ඒවායේ පළ කර ඇති බවයි.

මැතිවරණ කොමිසම වටින් පිටින් මේ කියන්නේ ˝කොමිසන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකු මාරු කිරීම හා පිළිගත් ක්‍රමවේදයට පිටින් පිරිසක් බඳවා ගැනීම˝ පිළිබඳව මම ත්, කරූ ජයසූරිය මහතාත් පළ කළ අදහස් පිළිබඳව ය. 2021 ජූලි 7 සහ 15 දිනවල මම මේ ගැන අදහස් දැක්වීමි.   හිටපු කථානායක හා ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ජූලි 11 දින සාධාරණ සමාජයක් සඳහා වු ව්‍යාපාරයේ පුවත්පත් සාකච්ඡාවේ දී මේ ගැන අදහස් දක්වා තිබුණි.    

අපගේ අදහස්, ප්‍රකාශ හා ඉල්ලීම් ගැන මැතිවරණ කොමිසම දැඩි කැලඹීමට හා කෝපයට පත්ව නිවේදනය නිකුත් කර ඇත. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා පුද්ගලයින් විවේචනය කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට ය.

එහි පහත කරුණු 6 දැක්වේ.  

1.      නිදහස් හා සාධාරණ මැතිවරණ ගැන කොමිසම කරනු ලැබූ කාර්යයන් හා ප්‍රයත්නයන් ගැන (කීර්ති)  නිහඬව සිටී.

2.      (කීර්ති) ස්වකීය දේශපාලන හා පටු අරමුණු උදෙසා ස්වාධීන කොමිෂන් සභා යොදා ගනී.

3.      ජනතාව විසින් ගොඩ නගා ගත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් දුර්වල කිරීම හා ජනතා විශ්වාසය බිඳ දැමීමට (කීර්ති) ප්‍රයන්ත දරයි.  

4.      (කීර්ති විසින් මතුකළ)  ස්ථාන මාරුවීම් ගැන ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමට හැකියාවක් ඇති නමුත්, එසේ කිරීම සදාචාරාත්මක නොවන බැවින් කොමිසම එය නොකරයි. අවශ්‍ය අයට කොමසාරිස් ජෙනරාල් අමතා එම තොරතුරු දැනගත හැකිය.

5.      පසුගිය කාල වකවානුවල කොමිෂන් සභා අවශ්‍ය නොවන බවට ජනමතයක් ගොඩනැංවීමට තරම් පසුගිය කොමිෂන් සභාවල ඇති වූ බලපෑම හේතු විය.  දැන් ඒවා ගැන කථා කිරීම යම් පාර්ශවයකට අගතියක් හෝ තවත් පාර්ශවයකට ප්‍රවර්ධනයක් වන්නේය.

6.      විවේචන අගයන නමුත් (කීර්ති ගේ හා කරු ජයසූරියගේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ) ඕනෑ එපාකම්වලට නතුවීමට කොමිසම සුදානම් නැත.  

නිවේදනය මාගේ පුවත්පත් නිවේදනය ගැන බැවින්, ඉහත අදහස් හා තර්ජන 6 ට පැහැදිලි පිළිතුරු ලබාදීම මාගේ වගකීමකි.

1.      17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහි කළ, 19 සංශෝධනයෙන් පසු ක්‍රියාත්මක වූ ˝මැතිවරණ කොමිසම˝ සහ 20 මගින් අඩු කඩා දමා ඇති කොමිසම එකක් නොව දෙකකි.  20 සංශෝධනය මගින් පාර්ලිමේන්තුව සතු බලතල, විධායකය විසින් උදුරා ගැනීම නිසා බිහිවී ඇත්තේ ˝තටු කැපූ කොමිසම˝ කි. ඒ කොමිසම දැනට ක්‍රියාත්මක වෙමින් තිබූ  තරුණ, කාන්තා, ඡන්දදායකයින් දැනුවත් කිරීම, ඡන්දදායකයින්ගේ දිනය සැමරීම, සිවිල් සංවිධාන වැඩසටහන්, ප්‍රජා කණ්ඩායම් වැඩසටහන් පවා නවතා දමා ඇත. 

2020 මහා මැතිවරණයේ, ජනාධිපතිවරණයේ ප්‍රධාන පැමිණිලි සම්බන්ධයෙන් වන සියළු පසු විපරම් නවතා දමා ඇත.

පසුගිය මැතිවරණ තුන සම්බන්ධයෙන්ම (පලාත් පාලන, ජනාධිපතිවරණ, මහා මැතිවරණ) වාර්තා නිකුත් කර නැත. පසු විපරම් හා උගත් පාඩම් රැස්වීම් පවත්වා ද නැත. පක්ෂ නායක, නිත්‍ය නියෝජිත, මැතිවරණ නිරීක්ෂක රැස්වීම් පවත්වා ද නැත.

(පසුගිය කොමිසම විසින් කෙටුම්පත් කළ) ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය සඳහා වූ කෙටුම්පත වත්මන් කොමිසම, නියමිත පරිදි තාක්ෂණික දෝෂ සකස් කිරීමකින් තොරව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට, න්‍යාය පත්‍රයට ඇතුලත් කරනු ලැබීය. ජූලි 6 දින පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමට තිබූ සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැකි බව දක්වමින් ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ආණ්ඩු පක්ෂ කාර්යාලය ආපසු එවා තිබුණි. වත්මන් කොමිසමේ කාර්යයන් හා ප්‍රයත්නයන් ඒ ආකාරය.   

පසුගිය මාස 7 ට නව කොමිෂන් සභාව කළ සාධනීය කාර්යයන් පිළිබඳ කිසිදු සටහනක් ඔවුන්ගේ වෙබ් අඩවියේ, සමාජ මාධ්‍යයේ හෝ පුවත්පත් නිවේදනවල හමුවන්නේ ද නැත.  එබැවින්, කියන්නට එකම හොඳක් හෝ මා නම් දන්නේ ද නැත.    

2.      අද වන විට මම කිසිදු දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක සාමාජිකයෙකු නොවෙමි. මා හට ˝පටු අරමුණ˝ ක් ඇතැයි නිවේදනය කියයි.  එය කුමක්දැයි නොකියයි.  මේ ˝පටු අරමුණ˝ පුරවැසියාට පැහැදිලි කිරීම නිවේදනය ලියූ පුද්ගලයාගේ වගකීමකි. 

3.      ජනතාව විසින් ගොඩනගා ගත් ˝ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය˝17  වන හා 19 වන ව්‍යවස්ථා සංශෝධන යි.  කරු ජයසූරිය ‘ස්වාධීන කොමිසන් සභා‘ අදහස විධිමත්ව ඉදිරිපත් කළ ප්‍රමුඛ දේශපාලනඥයා ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පදනම් වූ ˝සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ˝ පළමු 12 වැදෑරුම් ප්‍රතිපත්තිය ද, දෙවන 10 වැදෑරුම් ප්‍රකාශනය ද ලිව්වේ මා ද ඇතුලත් කමිටුවකිනි. එහි කෙටුම්පත සකස් කළේ මගේ අතින් මාගේ පරිගණකයේ ය.   ජනතාව විසින් ගොඩනගා ගත් 17 හා 19 ව්‍යවස්ථා සංශෝධනයන් මගින් බිහි වූ  ˝ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ˝ මළගම 20 වන ව්‍යවස්ථා සංශෝධනය යි.  එයට සම්බන්ධ වූ කිසිදු පක්ෂයකට, සංවිධානයකට මාගේ කිසිදු සම්බන්ධතාවක් නැත. අපට අලුතෙන් බිඳ දැමීමට තරම් ජනතා විශ්වාසයක් 20 වන සංශෝධනය විසින් මැතිවරණ කොමිසමට තබා අනෙකුත් කිසිදු කොමිසමකට ඉතිරි කොට නැත. අවශ්‍ය නම්, මැතිවරණ කොමිසමට ඒ බිඳවැටුණු විශ්වාසය ක්‍රියාවෙන් නැවත ගොඩ නංවා ගත හැකිය.

4.      //ස්ථාන මාරුවීම් ගැන ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමට හැකියාවක් ඇති නමුත් එසේ කිරීම සදාචාරාත්මක නොවන බැවින්//  යැයි නිවේදනයේ දැක්වේ.  එක් ජනාධිපතිවරයෙක් වරක් ˝මගේ ලඟ ඔබ කාගෙත් ෆයිල් තියෙනවා.  හැබැයි එළියට දාන්නේ නෑ˝ යැයි සිදු කළ ප්‍රකාශය, නිවේදනයේ වචන හා අර්ථ සම වේ.  මේ කථා කරන්නේ පසුගිය මාස 7 තුල ස්ථාන මාරුවීම් සිදු කළ ටී. හෙන්ස්මන්, සුරංග රණසිංහ, නාලක රත්නායක, ධරණී වීරසේකර, රාජේන්ද්‍රන් සසීලන්, තිලිණ වික්‍රමරත්න, දිලිප් ගම්ලත්, නාමල් තලංගම, ගයාන් පතිරණ, පරිපාලන නිලධාරි ජේ.යු. ප්‍රියනාත්, ගණකාධිකාරි තිලක් කුමාර, ශානික රූපසිංහ, රිසාන් මන්සිල්, බන්දුල රණතුංග, සහ පී.ආර්.බී.සුමංගලී යන අය 15 දෙනා සම්බන්ධයෙනි.  ඔවුන් සියළු දෙනා රාජකාරි මට්ටමින් මා දන්නා අයයි.  නිවේදනය ඉගි කරන ආකාරයේ ප්‍රසිද්ධියේ කථා කළ නොහැකි වරදක්, දුෂණයක්, අගතියක් නිලධාරි සිදු කර ඇතැයි මම නොදන්නෙමි.  එසේ කර ඇති නම් ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගත යුතුය.  එසේ නොමැතිව ˝මගේ ලඟ ෆයිල් තියෙනවා. ආවොත් පෙන්නන්නම්˝ කතා පළක් නැත.  ස්ථාන මාරුවී ගිය නිලධාරීන් 15 දෙනා තමාගේ ˝සදාචාරාත්මක නොවන කරුණු˝ මොනවාදැයි  පැහැදිලි කර ගත යුතුය.         

5.      //පසුගිය කාල වකවානුවල කොමිෂන් සභා අවශ්‍ය නොවන බවට ජනමතයක් ගොඩනැංවීමට තරම් පසුගිය කොමිෂන් සභාවල ඇති වූ බලපෑම හේතු වූ බව// නිවේදනයේ දැක්වේ. මහින්ද දේශප්‍රිය හා නිමල් පුංචිහේවා කොමිෂන් සභා දෙකේම කොමසාරිස් ජෙනරාල්වරයා සමන් ශ්‍රී රත්නායක ම ය. ඔහු නිවේදනයක් මගින් ලිඛිතව හා පැහැදිලිව පවසන්නේ පසුගිය (මහින්ද දේශප්‍රියගේ )  කොමිෂන් සභාවට බලපෑම් එල්ල වූ බව ය.  ඒ බලපැම් කොමිෂන් සභා එපා යැයි කියා ජනමතයක් ගොඩනැගීමට තරම් ප්‍රබල වූ බවය.  මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් හෝ කැක්කුමක් ඇති අයෙකු ඔය කියන බලපෑම් කාගෙන්?, කාට?,කොතැනදී? කෙලෙස? කවදා? එල්ලවූවාදැයි යන්න හෙළිකළ යුතුය.  මැතිවරණ කොමිසමට නිල වශයෙන් බලපෑමක් කළ හැක්කේ ජනාධිපති, අගමැති හෝ කථානායකට පමණී. බලපෑම් කළ ජනාධිපති, අගමැති, කථානායක කවුදැයි කොමසාරිස් ජෙනරාල් රටට කිව යුතුය. දේශපාලන පක්ෂයක් හෝ පාතාල/මැර/විදේශ කණ්ඩායමක් බලපෑම් කරන්නේ නම් එය ද ප්‍රසිද්ධියේ කිව යුතුය. මැතිවරණ කොමිසමට කරන මේ බලපෑම් මොනවාදැයි සොයා බැලීමට දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය යුහුසුළු විය යුතුය.  

නිවේදනයේ කියන පරිදි, මැතිවරණ කොමිසමට එල්ල කළ බලපෑම් හෙළිදරව් වීමෙන් අගතියට පත් වන්නේ කවුද? ප්‍රවර්ධනය වන්නේ කවුදැයි? රටට වැදගත් වන්නේ නැත. ˝මම කතාව දන්නවා. කියන්නේ නෑ˝ යැයි නිල නිවේදනයක ඇතුලත් කරමින් වහසි බස් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති ක්‍රියාවෙහි යෙදවීම පැවරී ඇති කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් ය.  ‘බලපෑම් තියෙනවා. කියන්නේ නෑ.‘ මේ මොන ලැජ්ජා නැති වැඩක් ද? 

6.      කොමිසම අපගේ හෝ කාගේ හෝ උවමනා එපාකම්වලට නතුවිය යුතු නැත. නමුත්, එහි වෙබ් අඩවියේ අගයන් එනම්,  1. අවංකබව (සෘජු බව) 2. පාරදෘෂ්‍ය භාවය 3. විවෘතභාවය 4. කැපවීම 5. වගකීමට ඇති බැඳීම 6. වගවීම  7. අපක්ෂපාතීභාවය  8.  කණ්ඩායම් හැඟීම හා එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම කොමිසමේ වගකීමකි. නැතිනම්, ක්‍රියාවෙන් මේ අගයන් නැති ආයතනයක් බවට කොමිසම පත්වන්නේය.

වත්මන් කොමිසම, අවංක (සෘජු බව) නැත.  පක්ෂ නායක රැස්වීම, නීත්‍ය නියෝජිතයින්ගේ රැස්වීම, මැතිවරණ නිරීක්ෂකයින්ගේ රැස්වීම තබා සහකාර කොමසාරිවරුන්ට ප්‍රශ්න කථා කරන්නට රැස්වීමක් නොදෙන්නේ ඒ නිසාය.

වත්මන් කොමිසම, පාරදෘෂ්‍ය භාවයක්, විවෘත භාවයක්, වගවීමක් පෙන්නුම් කරන්නේනැත.  මාරුවීම් ගැන ˝හේතු තියෙනවා. එළිපිට කියන්නේ නෑ.  කතා කළොත් ෆයිල් එක අදින්නම්˝ කියන්නේ ඒ නිසාය.

වත්මන් කොමිසම, අපක්ෂපාතීභාවයක් පෙන්නුම් කරන්නේ ද නැත.  ලිපි ගොනු අරගෙන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සවසට දේශපාලනඥයින්ගේ නිවෙස්වලට රිංගන්නේ ඒ නිසාය.

වත්මන් කොමිසම, අතුරලියේ රතන හිමි සහ බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අධි වේගයෙන් ගැසට් ගැසුවේය.  ඒ කාර්යක්ෂමතාව ‘නිදහස් හා සාධාරණ මැතිවරණ‘ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ද යෙදවිය යුතුව ඇත.  කොමිසමට විශ්වාසයක් ගොඩ නගා ගත හැක්කේ එමගින්ම පමණී.

රජිත් කීර්ති තෙන්නකෝන්

හිටපු ආණ්ඩුකාර

ඇමුණුම්

මැතිවරණ කොමිෂන් සභාවේ නිවේදනය – https://www.facebook.com/SriLankaElectionCommission/photos/a.675555132581200/2221929807943717/

කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදන – https://www.facebook.com/Keerthi.tennakoon/posts/10223208133205185

https://www.facebook.com/Keerthi.tennakoon/posts/10223187774696235

සාධාරණ සමාජයක් සඳහා වු ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ගේ ප්‍රකාශය

https://www.facebook.com/lankaenews/posts/4417748501623614

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress