දෙබරවැව සහ වලස්මුල්ල මූලික රෝහල් වෙත අග්‍රාමාත්‍යතුමා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
Posted on July 19th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා ලැබුණු රුපියල් මිලියන ගණනක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) දින පස්වරුවේ දෙබරවැව සහ වලස්මුල්ල මූලික රෝහල්වෙත පරිත්‍යාග කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා වෛද්‍ය උපකරණ බෙදා දීමේ වැඩසටහන යටතේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් මෙම උපකරණ තොගය ප්‍රදානය කෙරිණි.

දෙබරවැව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වසන්ත විජේවීර මහතා සහ වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිය නියෝජනය කරමින් පැමිණි ඖෂධවේදී එම්.එම්.සී ගයාන් මහතා අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සංකේතාත්මකව මෙම වෛද්‍ය උපකරණ තොග ලබා ගත්හ.

මුස්ලිම් ආධාර ශ්‍රී ලංකා” ආයතනය විසින් රු.මිලියන 30ක වෛද්‍ය උපකරණ පසුගියදා අග්‍රාමාත්‍යතුමාට භාර දෙන ලදි. එලෙස භාර දුන් වෛද්‍ය උපකරණවලින් කොටසක් මෙසේ දෙබරවැව සහ වලස්මුල්ල රෝහල් වෙත පරිත්‍යාග කර තිබේ.

වැඩිහිටියන් සහ ළමයින් සඳහා භාවිතා කළ හැකි වෙන්ටිලේටර් (Ventilators) , ඔක්සිජන් චිකිත්සක (Oxygen therapy) උපකරණ , පී.පී.ඊ (PPE) කට්ටල ඇතුළු වෛද්‍ය උපකරණ ඊට අයත් විය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress