තිරප්පනය ප්‍රාදේශිය සභා කසල අංගනයේ ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන
Posted on July 22nd, 2021

තිසර සමල් – අනුරාධපුර 

තිරප්පනය ප්‍රාදේශිය සභා කසල අංගනයේ ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම”  ජාතික ප්‍රථිපත්තියට අනුව කාබනික වගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් තිරප්පනය ප්‍රාදේශීය සභාව මගින් තිරප්පනය, නාච්චාදුව, ගල්කුළම  යන නගරයන්ගෙන්  එක්කාසු කරන දිරාපත් වන කැලි කසල හා ප්‍රදේශයේ වැව් වල පවතින පාසි හා ජපන් ජබර  යොදා ගෙන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

තිරප්පනය ප්‍රාදේශීය සභා කසල අංගනයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි කටයුතු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

දිරාපත් වන කසල හා අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍යයන්ද යොදා ගෙන කාබනික පොහොර විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තම සභාව සතු බවද එහිදී තිරප්පනය ප්‍රාදේශීය සභාවේ සභාපති රොෂාන් ඉලංගසිංහ මහතා පැවසීය. කාබනික පොහොර මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට අවශ්‍යය යන්ත්‍ර සූත්‍ර කීපයක අඩුවක් තම සභාව සතුව  පවතින බවද එහිදී රොෂාන් ඉලංගසිංහ සභාපතිතුමන් රාජ්‍යය අමාත්‍යයවරයාට පැවසීය. 

ඒ අනුව ජනපතිතුමන් ඇතුළු අදාළ බළධාරීන් සමඟ සාකච්ජා කර කඩිනමින්  ප්‍රාදේශීය සභාවන වෙත කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍යය යන්ත්‍ර  සූත්‍ර කඩිනමින් සපයා දීමට කටයුතු කරන බවද රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

කාබනික පොහොර ව්‍යාපෘතිය සමාරම්භය සිහි වීම පිණිස තිරප්පනය ප්‍රාදේශීය සභා කසල අංගන භූමියේ පොල් පැළයක් රෝපනය කිරීමද රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිස අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මිහින්තලය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ හිටපු සභාපති උපාලි අනුරාධ දිසානායක, අමාත්‍යයතුමන්ගේ පෞද්ගලික ලේකම් කවින්ද දිසානායක යන මහත්වරුන් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress