බෞද්ධ ජනරජ ප්‍රවාදය – 28 වැනි කොටස ​‍යාන්ත්‍රික සමගි
Posted on July 26th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සාමූහිකත්ව ඇගැයීම් උද්දීපනය කිරීමෙන් සහ සැලසුම්සහගතව ඒවා භාවිතයට යොමු කිරීමෙන් මූල්‍ය ප්‍රාග්ධනය රැස් කරගත හැකි ආකාරයත් බෙදී වෙන් වී තිබෙන ඉඩම් සම්පතින් වැඩ ගත හැකි ආකාරයත් අපි පසුගිය ලිපිවලින් හඳුනාගත්තෙමු. ආර්ථික සාධනයට අදාළ අනෙකුත් සාධකවලින් වැඩගැනීම සඳහා ද මෙම ක්‍රමය උපයෝගී කරගත හැකි ය. ආර්ථික කාර්යයන් සඳහා යොදාගනු ලබන විවිධ වූ යන්ත්‍ර සූත්‍රවලින් වැඩි ඵලදායිතාවක් අත්පත් කරගත හැකි ආකාරය අපි මෙම ලිපියෙන් විමසමු.

ඉතාමත් කුඩාවට බෙදී තිබෙන ඉඩම් සම්පත ඒවායේ පුද්ගලික අයිතිය සුරැකෙන අයුරින් ම එකතුකර සමූහ සමාගම් සාදන විට එම බිම්වල වැඩට ගනු ලබන යන්ත්‍ර සූත්‍ර ද ඒකරාශී කළ හැකි ය. බෙදුණු ඉඩම්වලින් වෙන වෙන ම වැඩ ගැනීමේ දී ඒ සඳහා අවශ්‍ය ට්‍රැක්ටර් ආදී යාන්ත්‍රික උපකරණ වෙන වෙන ම මිල දී ගැනීම හෝ කුලියට ගැනීම ගොවියන් විසින් සිදුකරනු ලබති. මෙ ලෙසින් මිල දී ගත් යන්ත්‍රවලින් ඉතා සුළු කාර්යයක් කරවාගෙන ඒවා නිවෙස්වල ගාල් කර තිබීම බොහෝ විට සිදුවෙයි. මෙම යන්ත්‍ර ද ඒවායේ පුද්ගලික අයිතිය තහවුරු වන පරිදි ම හවුල් සමාගමක කළමනාකරණයට නතුකරන්නේ නම් ඒවායින් ඵලදායී සේවයක් ලබාගත හැකිවෙයි. එම යන්ත්‍රවල හිමිකරුවන් සතුවිය යුතු කොටස් වටිනාකම ගණනය කර ඒ අනුව ඔවුනට අදාළ ලාභාංශ බෙදාදීම කළ හැකි ය.

මෙම ක්‍රමය අදාළ කරගත හැක්කේ ට්‍රැක්ටර් වැනි කෘෂිකාර්මික උපකරණ සඳහා පමණක් නොවේ. වඩු වැඩ, මේසන් වැඩ සහ ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගනු ලබන යන්ත්‍ර සූත්‍ර ද මෙම ක්‍රමයට ඒකරාශී කළ හැකි ය. මේ වනවිට බොහෝ වඩු කාර්මිකයෝ තමන්ගේ කටයුතු සඳහා විශාල මුදලක් වැයකර තමන්ට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිල දී ගනිති. කෙසේ වුව ද, තමන් විසින් මිල දී ගන්නා එවැනි බහුකාර්ය වඩු පට්ටලවලින් උපරිම සේවයක් ලබාගැනීමට ඔවුනට නො හැකි ය. මෙවැනි එක් යන්ත්‍රයකින් වඩු කාර්මිකයන් කිහිප දෙනකු සඳහා ම සේවා ලබාදිය හැකි ය. එහෙත් ඒ ඒ වඩු කාර්මිකයා විසින් මේවා වෙන වෙන ම පවත්වාගෙන යෑමෙන් එ්වායේ උපරිම ඵලදායිතාව ලබාගත හැකි නොවේ. එහෙයින්, මෙවැනි යන්ත්‍ර සූත්‍ර ද එක් රැස්කර ඒවායේ පුද්ගලික අයිතිය නැති නොවන අයුරින් හවුල් සමාගම් ඇති කරන්නේ නම් විශාල ආර්ථික සාධනයක් අත්පත් කරගැනීම ඉතා පහසුවෙයි.

මෙ රට බොහෝ නිවෙස්වල මහන මැෂින් තබාගෙන සිටීමේ සිරිතක් තිබේ. එහෙත් වර්තමානයේ දී මෙම මැෂින්වලින් වැඩගන්නා පිරිස ඉතාමත් අල්ප ය. එහෙයින්, ඒ සඳහා වැයකළ ධනය නිරර්ථක වියදමක් බවට පත් වී තිබේ. මේවා විසින් නිවෙස්වල යම් ඉඩක් ඇහිරී ඇත. මෙය ඉතාමත් බරපතල සම්පත් නාස්තියකි. මෙම යන්ත්‍ර ද ග්‍රාමීය හවුල් සමාගමක් හෝ කිහිපයක් යටතේ ඒකරාශී කළ හැකි ය. යෝජිත ක්‍රමය තුළින් පුද්ගලික අයිතිය අහිමි නොවන බැවින් මේවායින් යම් ආදායමක් උපයාගැනීමට සෑම කෙනකුට ම හැකිවෙයි. එයට අමතරව, මෙම යාන්ත්‍රික සම්පත් ඵලදායි ලෙස භාවිතයෙන් රැකියා සැළකිය යුතු ප්‍රමාණයක් ද ඉපැදෙයි.

ගෙවතු වැඩට ගන්නා තණකොළ කැපීමේ යන්ත්‍ර වැනි දේ ද මෙම ක්‍රමය යටතේ ඒකරාශී කළ හැකි ය. දැනට ඒවායින් වැඩක් ගන්නේ ඒවා හිමි අයගේ ඉඩම්වල තණකොළ වැවී ඇති අවස්ථාවල පමණකි. එසේ නොවන කාලය තුළ ඒවා භාවිතා කරන්නෙක් නොමැත. මෙය ද සම්පත් නාස්තියකි. එ මෙන් ම, ඒවායින් ආදායමක් උපදින්නේ ද රැකියා උපදින්නේ ද නැත.

යාන්ත්‍රික නොවන වෙනත් භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් ද ඵලදායි වැඩකට නොගෙන ඇතැම් ගැමියෝ තම නිවෙස්වල ගොඩ ගසාගෙන සිටිති. විශාල ප්‍රමාණයේ ඇළුමිනියම් හට්ටි, මුට්ටි, තාච්චි වැනි දේ අතර වෙයි. ගැමියන් විසින් මේවා මිල දී ගෙන ඇත්තේ නිවසෙහි දානයක් වැනි කටයුත්තක් පවත්වන විට භාවිතයට ගැනීමේ අදහසිනි. එහෙත් එබඳු දානමාන කටයුතු කරනුයේ වසර ගණනාවකට වතාවක් බැගිනි. එහෙයින් මෙය ද විශාල සම්පත් නාස්තියක් ලෙසින් සැළකිය හැකි ය. මෙම උපකරණවල පුද්ගලික අයිතිය රැක දී ඒවා ද ඔවුනට කොටස් හිමි සමූහ සමාගම්වල කටයුතු සඳහා යොදාගත හැකි ය.

වසා දමා තිබෙන නිවාස සඳහා ද මෙම කාරණය අදාළ වේ. බොහෝ නිවෙස් හිමියන් විසින් මෙම සම්පත් කුලියට හෝ බද්දට හෝ නොදෙනුයේ ඒ ආශ්‍රිතව ඇතිවෙන නොයෙකුත් ගැටලු හේතුවෙනි. ඒ නිසා එම සම්පත් ද නාස්තිවෙමින් සහ විනාශවෙමින් පවතියි.

උක්ත කාර්යයන් සඳහා අවශ්‍ය මැදිහත්වීම සහ නායකත්වය සැපැයීම මෙම ප්‍රවාදයෙන් යෝජිත බිම් මට්ටමේ පාලන ආයතනවලට (ගම් සභා සහ නාගරික සභාවලට) සිදුකළ හැකි ය. විශ්වාසය ගොඩනැගීම තුළින් මෙම ආර්ථික කටයුතු සාර්ථක වනු නිසැක ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress