තවමත් හමුනොවූ “සාධාරණය සොයා“ කෘතිය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි
Posted on July 26th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජ්‍යෙෂ්ඨ නිතීඥ කල්‍යාණන්ද තිරාණගම මහතා, තමන් විසින් රචනා කළ  කළණවත හෙවත් තවමත් හමුනොවූ  සාධාරණය සොයා කෘතිය අද (26) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදි.

පොලිස් කූඩු,  හිර ගෙවල්, අධිකරණ ශාලා හා  ජනතා වේදිකා හරහා ගිය ගමනේ කල්‍යාණන්ද තිරාණගම මහතා විසින් ලබාගත් අත්දැකීම් පාදක කොට ගෙන මෙම කෘතිය රචනා කර තිබේ.

මෙහි දී විශේෂ අනුශාසනාවක් පැවැත් වූ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින්වහන්සේ මෙසේ පැවසූහ.

ලංකාවේ ඉතිහාසය ලියලා තියෙන්නේ දේශපාලනය සම්බන්ධව, අපිට එය කියන්න පුළුවන් ඉතිහාසයේ රාජකීය ඉතිහාසය කියලා. මහාවංශය ලියලා තියෙන්නෙත් රජවරුන්ගේ ඉතිහාසය ගැන. ඊට අමතරව අපේ රටේ ගොවිතැන, ඉදිකිරීම් ශිල්පය, භෞතික සම්පත්, ඇදුම් පැළඳුම් ආදිය පිළිබඳ ලියවිලා නැහැ. මෙම කෘතිය ලංකාවේ ඉතිහාසය ලිවීම සඳහා කරුණු සම්පාදනය කර ගත හැකි කෘතියක් ලෙස හැඳින්විය හැකි යැයි උන්වහන්සේ සදහන් කළහ.

පුජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමීන් වහන්සේ , ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල,  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න,  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress