අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමි බැහැදකියි
Posted on July 28th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ දී රාජගිරිය කලපළුවාව තපෝවන භාවනා මධ්‍යස්ථානයට පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් බැහැ දුටුවේය.

අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන්ට පිරිකර පුජා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව උන්වහන්සේගේ සුව දුක් විමසා සිටියේය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියෝ එහි දී කෙටි අනුශාසනාවක් පැවැත්වූහ.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම අපි ඉතා අගය කොට සළකනවා. ඔබතුමා මේ රටේ රාජ්‍ය නායකයෙක් ලෙස සඳහන් කළ හැකි රටට විශාල වැඩ කොටසක් කළ නායකයෙක්. කොරෝනා වසංගත තත්ත්වය සමඟ රට පත්ව ඇති තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නය ලෙස අපි හොද අවබෝධයක සිටිනවා. එවැනි පසුබිමක රජය ගෙන යන වැඩ පිළිවෙල ප්‍රසංසනීයයි.

විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමා බෞද්ධ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස සාමණේර හිමිවරුන්ගේ නිවාස අහිමි දුප්පත් පවුල් වෙනුවෙන් කරගෙන යන නිවාස වැඩසටහන තවත් පුළුල්ව සිදුකිරීම කෙරෙහි අවධානය යොමුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

පාසල් දරුවන්ගේ අතපසු වූ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගතයුතුයි. ළමා මෙහෙකාර සේවය හේතුවෙන් ඇතිවන අක්‍රමිකතා පිළිබඳව අද විවිධ පුවත් අසන්නට ලැබෙනවා. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍යයි. ඒ නිසා මේ රටට වෙනස් නොවන ප්‍රතිපත්තියක් පැවතීම ඉතා අවශ්‍යයි.

ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ. ඒ සඳහා ඉදිරියේ දී භික්ෂු මණ්ඩලයක් පත් කර ගැඹුරින් අධ්‍යයනය කර මතය ප්‍රකාශ කරන්න අප කටයුතු කරනවා යැයි අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියෝ පැවසූහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී වජිරවංශ පාර්ශවයේ අනුනායක රුසියාවේ ප්‍රධාන සංඝ නායක මහාචාර්ය පුජ්‍ය පල්ලෙකන්දේ රතනසාර අනුනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress