විශාල ජල යෝජනාවලින් ආවරණය නොවන ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රජා ජල යෝජනා ක්‍රම මගින් පිරිසිදු පානීය ජලය ලබාදෙනවා – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on July 28th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

විශාල ජල යෝජනා ක්‍රම වලින් ආවරණය කිරීමට නොහැකි ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ප්‍රජා ජල යෝජනා ක්‍රම මගින් පිරිසිදු පානීය ජලය ලබා දීමේ  වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

විසල් මාතලේ” ජල සම්පාදන ව්‍යාපෘතිය අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් මාතලේ නගරය හා අවට ප්‍රදේශ සඳහා පැය 24 පුරාවටම ජලය සැපයීමට බලාපොරොත්තුවන අතර එමගින් සෘජුව පවුල් 90000ක 354000ක ප්‍රතිලාභීන් සඳහා සෙත සැලසෙයි.

ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශයේ මූල්‍යාධාර යටතේ රුපියල් මිලියන 31000ක් මෙම ව්‍යාපෘතියට වැය කර තිබේ.

විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත්‍රවරුනි,

අපි දන්නවා ජලය කියන්නේ අපට නැතිව බැරි දෙයක්. ජලය තිබුණත් ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීමයි අද දුෂ්කර කාර්යයක් වී තියෙන්නේ. රටේ විවිධ පළාත්වල විශාල පිරිසක් ආරක්ෂිත පානීය ජලය නොමැතිකමින් කාලයක් තිස්සේ පීඩා විඳිනවා. මේ තත්ත්වය මගහරවන්න රජයක් විධියට සැමට ජලය” කියන සාමුහික සැළැස්ම අපට ඉදිරිපත් කරන්න පුළුවන්වුණා.

මට මතකයි පසුගිය මැතිවරණ වෙලාවේ දී ඇතැම් ප්‍රදේශවල ජනතාව අපිව වටකරගෙන පානීය ජල අවශ්‍යතායවය ගැන අපට කිව්වා. ඔවුන් එදා ඉල්ලුවෙ අපට වෙන මොකුත් එපා බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න කියලා. මට මතක විධියට මාතලේ ප්‍රදේශ කිහිපයක ජනතාවත් ඒ අතර සිටියා.

අපි බලයට ඇවිත් මේ ගැන හොයලා බැලුවා. විශේෂයෙන් ග්‍රාමීය ජනතාව තමයි මේ ගැටලුවෙන් වැඩිහරියක්ම පීඩා විදින්නේ. බොන්න පිරිසිදු වතුර ටිකක් ගේන්න කිලෝ මීටර් ගානක් දුර යනවා. ඒ ගිහිල්ලත් ඒ අයට ලැබෙන්නේ පිරිසිදු වතුරමද කියල ගැටලුවක් තිබුණා.

ජනතාවට වගවෙන රජයක වගකීම තමයි පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදීම. අපේ රටේ තාමත් හරි අඩකටවත් නල මගින් ආරක්ෂිත පානීය ජලය ලැබෙන්නේ නැහැයි කියලා ජලසම්පාදන මණ්ඩලයෙ වාර්තාවලින්  සඳහන් වෙනවා. සමහර ව්‍යාපෘති අපි බලයෙ සිටි කාලයේ ආරම්භ කළත් ඒවා පහුගිය ආණ්ඩු හිතාමතාම නතර කරපු බව ඔබට මම අමුතුවෙන් කියන්න ඔීන නැහැ.

ඒ නිසාම තමයි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි ඒ වෙනුවෙන් වැඩි ඉඩක් වෙන්කරලා තියෙන්නේ. එහෙම කරලා අපි ඒ දේවල් කොළ කෑල්ලකට සීමා කළේ නැහැ. අපි බලයට ආව ගමන්   රටේ සමස්ත ජනතාවටම පැය 24 පුරා නල මගින්  පිරිසිදු පානීය ජලය ලබාදීමට අවශ්‍ය ව්‍යාපෘති රැසක් රට පුරා ආරම්භ කළා. අද අපි මේ ජනතා අයිතියට පත්කරන විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතියත් ඒවායින් එකක්.

ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරීන්  කිව්ව  හැටියට අපේ රජය බලයට පත්වන විට මුළු රටේම නල ජල ආවරණය තිබුණෙ ජනගහනයෙන් සියයට 39  හෝ 40 කට විතරයි. ඒ නිසා ක්‍රමවත් සැලැස්මකට අනුව හැමෝටම ආරක්ෂිත පානීය ජලය ලබාදෙන සැළැස්මක් ඇමතිතුමා අපිට  ඉදිරිපත් කලා.

විදේශ තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් අපිව හමුවෙන්න ආවම හැමදාමත් වගේ මම මේ ගැන මතක් කළා. මුළු රටටම ආරක්ෂිත පානීය ජලය දෙන වැඩපිළිවෙලට හැකි අයුරින් උදව් කරන්නැයි ඉල්ලුවා. ඔවුන්ගෙන් ඊට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අදටත් ලැබෙනවා.

මිත්‍රවරුනි,

ඔබට මතක ඇති අපි ළඟදි කුරුණෑගල දැදුරුඔය ජල සම්පාදන යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරුවා.  එමගින් විශාල පිරිසකට නල මගින් ආරක්ෂිත පානීය ජලය දෙන්න අපට හැකිවුණා. ඒ වගේමයි කෑගල්ලේ ගලිගමුවේ, ගාල්ල හපුගල ජල සම්පාදන යෝජනා ක්‍රමත් අපි ජනතා අයිතියට පත්කළා. එම ජල යෝජනා ක්‍රම කිහිපයෙන් විතරක් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද පිරිසිදු පානීය ජලය ලබනවා.

මිත්‍රවරුනි,

අද ජනතා අයිතියට පත්කරන විසල් මාතලේ ජල ව්‍යාපෘතියත් අපේ කාලයේ ආරම්භ කළ වැඩක්. මේ ව්‍යාපෘතියෙනුත් පවුල් අනූ දාහක,  ලක්ෂ තුනකට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය ලබනවා. එහෙම බැලුවම අපි ඉතා කෙටිකාලයක් තුල වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය දෙන්න හැකි වෙලා තියෙනවා අපිට.

අපේ රජයේ ඉලක්කය ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47 කට  පිරිසිදු පානීය ජලය ලබා දෙන්න කියලයි මම විශ්වාස කරන්නේ.

ඒ සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශිය අරමුදල් යොදවා ජල ව්‍යාපෘති රැසක්ම මේ මොහොතේත් රටපුරා ක්‍රියාත්මක වෙනවා. මේ අවුරුද්දේ විතරක් නිවාස දෙලක්ෂ හතලිස් පන්දහස් පන්සීයකට අලුතින් ජල සැපයුම ලබාදෙන්න, ව්‍යාපෘති 33 ක් ජනතා අයිතියට පත්කරන්නවා යැයි අපේ වාසුදේව ඇමතිතුමා ප්‍රමුඛ ජල සම්පාදන අමාත්‍යංශය සූදානමින් සිටින බව අපිට මතක් කලා.

සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා, අමාත්‍යංශ ලේකම්තුමා, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා, ජල සම්පාදන සභාපතිතුමා ඇතුළු සියලු දෙනා එකතුවෙලා මේ ව්‍යාපෘති කඩිනම් කරන්න විශාල කාර්යය භාරයක් ඉටු කරන බව මම හොඳින්ම දන්නවා.

මෙතුමන්ලා කියපු විධියට මේ ව්‍යාපෘතිවලින් බොහොමයක වැඩ දැන් අවසන් අදියරේ තියෙන්නේ. ඒ නිසා ඉතා නුදුරේ දීම තවත් ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කරන්න අපට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

මිත්‍රවරුනි,

එදා යහපාලන ආණ්ඩුව අපෙන් බලය ගන්නකොට අපි  ජලයෝජනා ක්‍රම රැසක්ම ආරම්භ කරලයි තිබුණේ. නිසි කලට ඒ ව්‍යාපෘති අවසන් කළා නම් අද මේ වෙන කොට  මුළු රටේම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබන්න වාසනාව  ලැබෙනවා. අපි පටන් ගත්ත නිසා කියලා සමහරු මේවා ප්‍රමාද කළා. නැතිනම් මේ ව්‍යාපෘති ජනතා අයිතියට පත්වෙන්නෙ මීට හුඟාක් කලින්.

මාතලේ , රත්තොට, යටවත්ත, උකුවෙල, පල්ලේපොළ, අඹන්ගඟකෝරලේ  සහ  නාවුල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත්වන ජනතාවට අද පටන් කිසිදු දුෂ්කරතාවයකින් තොරව පිරිසිදු පානීය ජලය ලබාගන්න පුළුවන් කියලයි මම විශ්වාස කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ අවට ප්‍රදේශ ගණනාවකට අද පටන් මෙමගින් සෙත සැලසෙන බව අපේ ජල සම්පාදන නිලධාරින් අපිට සඳහන් කළා.

මිත්‍රවරුනි,

මාතලේ විතරක් නෙමෙයි. යුද්ධයකුත් තියාගෙන අපි ඒ කාලේ දඹුල්ලටත් රුපියල් බිලියන 10 ක විසල් ජල යෝජනා ක්‍රමයක් ලබාදුන්නා. දඹුල්ල සහ ගලේවෙල, ජීවත්වන ජනතාවට විතරක් නෙමෙයි,  පොළොන්නරුව , අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පිහිටා තියෙන  හබරණ, කැකිරාව , පලාගල සහ පලුගස්වැව වැනි පිරිසිදු පානීය ජලය නොමැතිව පීඩාවිඳින ගම්මානවල  ජනතාවටත් එමගින් සෙත සැලසුවා.

ඒ විතරකුත් නෙමෙයි විල්ගමුවේත්, ලග්ගලත් තවත් ජල සම්පාදන යෝජනා  ක්‍රම දෙකක ඉදිකිරීම් දැනටත් නිම වෙමින් පවතින බව වාසුදේව නානායක්කාර මැතිතුමා අපිට පැවසුවා. මේ සියලු ජල සම්පාදන ව්‍යාපෘති ඉදිකර අවසන් වෙනකොට මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සියයට 90 කට විතර නල මගින් පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සැපිරෙනවා.

මතක තියා ගන්න ජලය කියන්නේ සීමිත සම්පතක්. ඒ සම්පතත් දැන් දූෂණය වෙමිනුයි තිබෙන්නේ. ඒ නිසයි අපිට සිදුවෙලා තියෙනවා පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදෙන්න. ජලය පිරිසිදු කරල නල මගින් ලබාදෙන්න රජය විශාල පිරිවැයක් දරනවා. ඒ නිසා ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන්නත් ජනතාව වගබලා ගන්න ඔින කියන එකත් මේ අවස්ථාවේදි අපි මතක් කරනවා.

ඒ වගේම තමයි අපේ රටේ ගංඟා  ටිකත් දූෂණය වෙමිනුයි තිබෙන්නේ. සුරකිමු ගංඟා වැඩ සටහනෙන් එම ගංගා වලින්  17 ක් සංරක්ෂණය කරල, පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නත් අපි පහුගිය කාලයේ මුලපිරුවා. 

මිත්‍රවරුනි,

අපි විශාල ජල යෝජනා ක්‍රම ගැන කතා කලත්, මේ විශාල ජල යෝජනා ක්‍රම වලින් ආවරණය කරන්න බැරි  ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවටත් ප්‍රජා ජල යෝජනා ක්‍රම මගින් පිරිසිදු පානීය ජල පහසුකම් දෙන්න වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඒ නිසා ඔබේ ගම්මානයට ආරක්ෂිත පානීය ජලය ලැබෙන සැළැස්ම අපි දැනටමත් සකස් කරලා අවසන් බව අපි සතුටින් දන්වන්න කැමතියි.

ඒ විතරක් නෙමෙයි, සියයට 40කට ආසන්න වෙලා තිබුණු මුළු රටේම නල ජල ආවරණය 2025 වසරවනවිට සියයට 80ක් දක්වා ගෙනයෑම අපේ ඉලක්කයයි.

ඔබ දකින්න ඇති ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් තමන්ගේ නිවාඩු දිනයක් වූ පසුගිය ජූලි 03 වෙනි සෙනසුරාදා  වැටුප් හෝ දීමනා කිසිවක් නොලබා ස්වෙච්ඡාවෙන් ප්‍රජාවත් සමඟ එකතුවෙලා ජල නල එළලා රටට රුපියල් කෝටි 20ක් ඉතිරියක් කරල තිබුණා. එදා ඔවුන්ගෙ අරමුණ වෙලා තිබුණෙ දිගු කාලයක් පිරිසිදු පානීය ජලය නොමැතිව පීඩාවිදින ජනතාව වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් සේවය ලබා දීම. එය උතුම් කටයුත්තක් ලෙසයි අප සලකන්නෙ.

ඒ නිසා ඔබ ලබා දෙන ශක්තියත් අරගෙන අපේක්ෂිත ඉලක්කයටත් පෙර මුළු රටේම ජනතාවට නල මගින් ආරක්ෂිත පානීය ජලය ලබාදීමට හැකිවනු ඇතැයි අපට විශ්වාසයි.

ඔබ සැමට සුබ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන වාසුදේව නානායක්කාර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රෝහන දිසානායක , ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , නාලක බණ්ඩාර  කෝට්ටේගොඩ, ගයාෂාන් නවනන්ද, ප්‍රංශ තානාපති එරික් ලෙවෙන්තු, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, මාතලේ නගරාධිපති සන්දමන් ප්‍රකාශ් මහත්වරු සහ මාතලේ ඇතුළු ඒ අවට ප්‍රාදේශීය සභාවන්හි සභාපතිවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress