ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් නියෝගයක්
Posted on July 29th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමඟාමීව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සඳහා වහා පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) පස්වරුවේ නියෝග කළේය.

ජල සම්පාදන අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

ඒ අනුව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කරමින් එම ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා පරිසර අමාත්‍යංශය හා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී ජලසම්පාදන අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍යතුමා මෙම සාකච්ඡාවේ දී මෙසේ ද සඳහන් කළේය.

දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබා දීමේ වැඩසටහන අප විසින් කඩිනම් කළ යුතුයි. පානීය ජලය නොමැති වීම නිසා වියළි කලාප වල ජනතාව විශාල වශයෙන් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. මේ සඳහා අවශ්‍යවන පානීය ජල ව්‍යාපෘති සඳහා අනුග්‍රහය විදේශ ආධාර හෝ ප්‍රදානයන් ලෙස ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

පරිසරය රැකගැනීම වගේම අලුතින් ගස් රෝපණය කිරීමත් කළ යුතුයි. ඒ වගේම ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක් විධිමත්ව ක්‍රියාත්මක කරන්න අවශ්‍යයයි. ඒ සඳහා පරිසර අමාත්‍යංශය එක්ව වැඩපිළිවෙලක් සකස් කරන්න” යැයි අග්‍රාමාත්‍යතුමා  උපදෙස් දුන්නේය.

මේවන විට දිවයිනේ සියලු ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි නල මගින් ආරක්ෂිත පානීය ජලය ලබාදීමේ සැලසුමක් ක්‍රියාත්මකවන බවත් ඒ අනුව ඉදිරි වසර තුනක කාලයේ දී සියලුම පවුල් සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජලසම්පාදන අමාත්‍යංශයේ නිලධාරීන් මෙහි දී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම, ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, ජාතික සැළසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එච්. ඩබ්ලිව්. ඒ. කුමාරසිරි, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress