ශ්‍රී ලංකා ඔරු පැදීමේ (Rowing) හා ස්කොෂ් (Squash) ක්‍රීඩාවන් හි ප්‍රවර්ධනයට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් මූල්‍ය ප්‍රදානයන් හිමිවෙයි.
Posted on August 13th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

ඔරු පැදීමේ හා ස්කොෂ් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකර ගැනීමේ අරමුණ ඇතිව එම ක්‍රීඩාවන් හි නිරත ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමය හා ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩා සංගමයසමඟ ගිවිසුම්ගතවෙමින් ඔවුන්ට මූල්‍යමය ප්‍රදානයන් ලබාදීම අද (13) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී සිදුවිය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමය වෙනුවෙන් එහි සභාපති දිමුත් ගුණවර්ධන මහතාත් ස්කොෂ් ක්‍රීඩා සංගමය වෙනුවෙන් එහි සභාපති සුරේන් කොහොඹන්ගේ මහතාත් අදාළ ගිවිසුම්වලට අත්සන් තැබූහ.

මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කළ ක්‍රීඩාවන් අතරට මෙම ඔරු පැදීමේ ක්‍රීඩාව සහ ස්කොෂ් ක්‍රීඩාව ද ඇතුළත්ය.

මෙම ක්‍රීඩාවන්හි නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයට රුපියල් 42,143,294.60/-ක මුදලක් සහ ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයට රුපියල් 52,400,900.00/-ක මුදලක්  ද මෙම ගිවිසුම්වලට සමගාමීව ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවන් සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරින් සහ ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමය හා  ශ්‍රී ලංකා  ස්කොෂ්  සංගමය නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress