වසංගත රෝග ඒකකය ප්‍රසිද්ධ කරන ඌව පළාතේ කෝවිඩ් දත්ත පට්ටපල් බොරු
Posted on August 29th, 2021

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර  

රෝගී සංඛ්‍යාවෙන් 50.5% ක් සඟවලා.  කෝවිඩ් දත්ත හපුතලේ කන්ද බහිනකොට වාශ්ප වෙනවාද?

වසංගත රෝග ඒකකය ඌව පලාතේ කෝවිඩ් රෝගීන් ගේ සංඛ්‍යාව 50% කින් කපා දමා වාර්තා ලියා ඇත. පට්ටපල් බොරු දත්ත සහ සංඛ්‍යා මත පදනම්ව සම්පත් බෙදාදීම හේතුවෙන් ඌවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඖෂධ හා උපකරණ හිඟයකට මුහුණ දී ඇති බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික් ලේඛන අනුව, 2021 අගෝස්තු 28 දින වන විට ඌව පළාතේ කෝවිඩ් රෝගීන් 31,137 ක් වාර්තා වී ඇත. එයින් බදුල්ලේ රෝගීන් 18,630 කි. මොණරාගල රෝගීන් 12,507 කි. ඌව පළාතේ රෝගීන් 342 ක් (බදුල්ල 259ක් හා මොණරාගල 83) මිය ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා ඒකකය අගෝස්තු 28 දින නිකුත් කර ඇති වාර්තාවට අනුව බදුල්ලේ කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව 9406 කි.  මොණරාගල රෝගීන් සංඛ්‍යාව 5599 කි. දිස්ත්‍රික්ක දෙකේ එකතුව (ඌව පළාත) රෝගීන් 15,005 කි. වසංගත රෝග ඒකකයේ මේ සංඛ්‍යා ලේඛන පට්ටපල් බොරු වේ.  

ඌව පළාතේ සෞඛ්‍ය බලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල, රෝහල්, අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථාන, දිස්ත්‍රික් ලේකම් කාර්යලය කෝවිඩ් දත්ත නිවැරදිව වාර්තා කර ඇත.  පළාත් දත්ත කොළඹ වසංගත රෝග අංශයට වාර්තා කිරීමෙන් පසුව දිගින් දිගටම සංඛ්‍යා වෙනස් කර ඇත. පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් තහවුරු කර ගත් රෝගීන් සංඛ්‍යාව බදුල්ලේ සිට කොළඹ කාර්යාලයට සන්නිවේදනය කිරීමේ දී මැකී යා හෝ හැලී යා හෝ නොහැකිය. අන්තර් ජලයේ දී හෝ ෆැක්ස් මගින් හෝ රෝගීන් සුව වන්නේ ද නැත.   පළාතේ කෝවිඩ් රෝගීන් සංඛ්‍යාවෙන් ජාතික දත්තවලට ඇතුළත් වන්නේ 48% ක් පමණී.  මොණරාගල දිස්ත්‍රික්කයේ කෝවිඩ් රෝගී සංඛ්‍යාවෙන් ජාතික මට්ටමේ දත්ත සඳහා ඇතුලත් වන්නේ 44% කි.  මේ වන විට පහසුකම් නොමැතිකමින් වැල්ලවාය, මැදගම, සියඹලාණ්ඩුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි පීඩාවට පත්ව ඇත.

බදුල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන්, හෙදියන්, ගිලන් රථ රියදුරන් හා සහාය කාර්ය මණ්ඩලයේ රැසකට ද කෝවිඩ් වැලඳී ඇත.

තොරුතුරු හා දත්ත සැඟවීමෙන් කෝවිඩ් උවදුර පාලනය කළ නොහැකි අතර එය තවදුරටත් පැතිරයාමට හේතු වේ.  රෝගින්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමකි.    

(සටහන – වසංගත රෝග අංශය නිකුත් කළ වාර්තාව සහ ඌව පළාත් සභාව නිකුත් කළ වාර්තා මේ සමඟ අමුණා ඇත. )

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress