බෞද්ධ ජනරජ ප්‍රවාදය – 33 වැනි කොටස – ‍ප්‍රත්‍යක්‍ෂයේ අධ්‍යාපනය
Posted on August 30th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

බුදුදහමෙහි ආභාසය ලත් අපගේ මනස සැකැසී ඇත්තේ අත්දැකීම් මත පදනම් වූ ප්‍රත්‍යක්‍ෂය ඇසුරෙන් ලෝකය අවබෝධ කරගත හැකි ආකාරයකිනි. එහෙයින් වියුක්ත න්‍යායික කරුණු ග්‍රහණය කරගැනීම ද ඒ ඇසුරෙන් ලෝකය වටහාගැනීම ද අපගේ දරුවන් හට අපහසු ය. රූපසටහන් ඇසුරින් යම් යම් න්‍යායික කරුණු තම ශිෂ්‍යයන්ට පැහැදිළි කරදීමට අපගේ ඇතැම් ගුරුවරුන් කටයුතු කරන්නේ ද එබැවිනි. මෙය විශ්වවිද්‍යාල මට්ටමේ සෛද්ධාන්තික ගණිතය පිළිබඳ දේශනවල දී පවා කෙරෙන කාර්යයකි.

අපගේ මනස මෙ ලෙසින් හැසිරුණ ද, බටහිර මාදිලියේ අධ්‍යාපන ක්‍රමයක් මෙ රට ක්‍රියාත්මක වන බැවින් එයින් කෙරෙනුයේ ශිෂ්‍යයන් හට න්‍යායික අධ්‍යාපනයක් ලබාදීම ය. ලෞකික කාර්යයන්හි නිරතවීමට න්‍යායික දැනුම අවශ්‍ය බව සැබෑවකි. එ නමුදු, අපගේ මනස සහ අවශ්‍යතා මුළුමනින් ම නො සළකා සියලු ශිෂ්‍යයන් හට එවැනි අධ්‍යාපනයක් ලබාදීම ප්‍රායෝගික නොවන කටයුත්තකි. පංති කාමරවලට සීමා වූ මෙම අධ්‍යාපන ක්‍රමය විසින් අපගේ ජාතිය ඉතාමත් ව්‍යාකූල තැනකට ඇද දමා තිබේ.

මෙම නො ගැලපෙන අධ්‍යාපනයෙහි පරතෙරට යන්නෝ අන්‍යයන් මත යැපෙන නිකමුන් පිරිසක් බවට පත් වී සිටිති. සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදෙනු!” යන සටන් පාඨය නිර්මාණය වී ඇත්තේ ද එ බැවිනි. ස්වෝත්සාහයෙන් රැකෙන්නන් සහ ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින්නන් ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාගෙන ඇත්තේ මෙම අධ්‍යාපන ක්‍රමයෙන් පරිබාහිරව ය. සමාජ – ආර්ථික, කලා සියලු ක්‍ෂේත්‍රවල මෙම කාරණය නිරීක්‍ෂණය කළ හැකි ය.

ඉහළ ආර්ථික සාධනයක් සළසාගත හැක්කේ එයට දායකවිය හැකි දැනුමින් සහ අත්දැකීම්වලින් පිරිපුන් මානව සම්පතක් ඇති රටකට ය. අධ්‍යාපන ක්‍රමය විසින් බිහිකළ යුත්තේ ද එවැනි පිරිසකි. මෙම ලිපිය ආරම්භයේ දී ම දැක් වූ පරිදි, අත්දැකීම් මත පදනම් වූ ප්‍රත්‍යක්‍ෂය ඇසුරින් ලෝකය අවබෝධ කරගත හැකි පිරිසක් බිහි කරගත හැකි නම්, සමාජ – ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගැනීම අපහසු කටයුත්තක් නොවනු ඇත.

ගින්නට පිළිස්සෙන බව සහ පිහියකින් තුවාල සිදුවන බව කුඩා දරුවකු අවබෝධ කරගනු ලබන්නේ ඒ පිළිබඳ සෘජු අත්දැකීම්වලින් හෝ ආසන්න නිරීක්‍ෂණවලිනි. එයට අමතරව, ජීවිතයට අදාළ බොහෝ දෑ මෙවැනි ප්‍රායෝගික ක්‍රමවලින් ඔවුහු දැනගනිති. පුටු, මේස, පිඟන් ආදී එදිනෙදා භාවිතාවන දෑ පිළිබඳව කිසිවකු විසින් ඔවුනට එකින් එක කියාදෙන්නේ නැත. අනෙකුත් අය කරන කියන දෑ බලා සිට අනුකරණයෙන් ඔවුහු ඒවා පිළිබඳව දැනගනිති.

මෙ ලෙසින් ජීවිතයේ මුල් අවුරුදු පහ තුළ විශාල දැනුමක් ලබාගන්නා දරුවා එක්වර ම බාහිර පරිසරයෙන් වෙන්කර පංති කාමරයකට කොටුකිරීම වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළින් සිදුවෙයි. ගෙදරින් එළියට බහින දරුවාට තමන්ගේ ගම සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ දැනගැනීමේ අවස්ථාව මෙම ක්‍රමයෙන් අහිමිකෙරෙයි. එයින් පසු භාවිතයෙන් සහ පරිසරයෙන් ඈත් වූ බාහිර කරුණු විශාල ප්‍රමාණයක් තුළ ඔහුව සිරකරයි. තම ගමෙහි ජනගහනය ගැන නොදැන්නා දරුවාට බංග්ලාදේශයේ ජන ඝනත්වය ගැන කියාදෙයි. ගමේ ජල සම්පත් සහ ආශ්‍රිත ගැටලු ගැන කියා නො දී, ඔහුට එච්-ටූ-ඕ ගැන කියාදෙයි. ගමෙහි ගහ කොළ, වන සම්පත් ගැන ඔහුට කියා නො දී, ඇමේසන් වනාන්තරය ගැන කියාදෙයි.

පොල් ගස වනාහි තාල වර්ගයට අයිති ගසකි” වැනි කරුණු කියා දුන්න ද තම ගෙවත්තෙහි ඇති පොල් ගස් ගැන සොයාබැලීමේ, විමර්ශනය කිරීමේ කාර්යයක් දරුවාට නො පැවරෙයි. විවිධ වූ පස් වර්ග ගැන කියාදුන්න ද තම ගෙවත්තෙහි ඇති පස් පිළිබඳව දරුවා නො දනියි. භාෂාව උගන්වන්නේ ද ව්‍යාකරණවලට මුල් තැනක් දීමෙනි. සාහිත්‍ය ඇසුරට සහ භාෂා ව්‍යක්තභාවය වර්ධනය කිරීමට වැඩපිළිවෙළක් ඒ තුළ නැත.

බෞද්ධ ජනරජය තුළ ක්‍රියාත්මක කළ යුත්තේ තම අවට පවත්නා සම්පත් සහ ගැටලු ගැන දරුවන්ට කියාදෙන ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයකි. න්‍යායික කරුණු වැටහෙන සහ ඒවායින් වැඩගැනීමට දත් දරුවන් හඳුනාගෙන ඔවුනට ඒ ඔස්සේ ඉදිරියට යෑමේ අවස්ථාව සළසාදිය හැකි ය. කෙසේ වුව ද, සියලු ම දරුවන් එවැනි මාර්ගයක් වෙතට යොමුකිරීම බරපතල වරදකි.

මූලික සහ පශ්චාත් උපාධි න්‍යායික අධ්‍යාපනයට පමණක් සීමා කළ යුතු නොවේ. යම් දරුවකු පෙදරේරු ශිල්පයෙහි පූර්ණත්වයට පත්වන්නේ නම් ඒ පිළිබඳ උපාධියක් ඔහු හට ලබාදීම අනිවාර්යයෙන් ම කළ යුත්තකි. මෙය අනෙකුත් සියලු ක්‍ෂේත්‍ර සඳහා අදාළ විය යුතු කාරණයකි. න්‍යායික කරුණු කටපාඩම් කරගත් අයට උපාධි ලබාගැනීමේ අවස්ථා තිබීමත් සමාජ – ආර්ථික සාධනයට සෘජුව දායකවන අයට එම අවස්ථාව නොතිබීමත් බරපතල වරදකි.

බෞද්ධ ජනරජයෙහි අධ්‍යාපන ක්‍රමය සැලසුම් කළ යුත්තේ මෙම මූලික කරුණු සැළකිල්ලට ගැනීමෙනි. එය නොසළකා, බටහිර රටවල ක්‍රම ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කිරීමෙන් ලබාගත හැකි ජයග්‍රහණයක් නොමැත.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress