වෙළබඩගේ සර් පිළිබඳ මතකය
Posted on September 4th, 2021

වෛද්‍ය රුවන් එම් ජයතුංග

වෙළබඩගේ සර් යන්නට ගොසිනි. එහෙත් වෙළබඩගේ සර් පිලිබඳ මතකය තවමත් මිළින වී නොමැත. නැුම් ගුරුවරයෙකු ලෙස වෙළබඩගේ සර් නාලන්දාවට එන්නේ 1967 දීය. සුදු ජාතික ඇඳුම ඇඳ  ,කැරළි සහිත කළු කොන්ඩයකින් යුත් වෙළබඩගේ සර් සිසු පරම්පරා කීපයකටම උගන්වා තිබේ. 

ඒ කාලයේ ප්‍රාථමික අංශයේ රැස්වීම තිබුනේ වර්තමානයේ පිහිනුම් තටාකය තිබෙන ස්ථානයට ආසන්නවය. ධර්ම ගුණසිංහ මහතා රැස්වීම අමතන විට වෙළබඩගේ සර් පසෙකින් සිටිමින් රැස්වීමේ සම් පාදන කටයුතු කිරීම එකල සුලබ දසුනකි. ළමයෙකු කලන්තේ දැමූ විට වෙළබඩගේ සර් වහාම ක්‍රියාත්මක වී ළමයාට ප්‍රථමාධාර ලබා දෙයි. 

නාලන්දාවේ යම් සංදර්ශනයක් තිබුනේද එහි නැටුම් පුහුණු කලේ වෙළබඩගේ සර් ය. 1976 වසරේ දී වෙළබඩගේ සර් බාලදක්‍ෂ කන්ඩායමට නැටුමක් පුරුදු කිරීමට ආවේය. ඒකාලයේ පෝතක බාලදක්‍ෂයෙකු වූ මා ඇතුළු බොහෝ  බාලදක්‍ෂයන් වරද්දන වරද්දන නැටුම් පියවරක් පාසා වෙළබඩගේ සර් ගෙන් කෑවෙමු. වෙළබඩගේ සර් වේවැල වෙනුවට අත තබාගෙන සිටියේ ලී කෙළි පොල්ලකි. 

1979 වසරේදී පාසලේ නව විද්‍යාගාරය ජනාධිපති ජේ . ආර් ජයවර්ධන මහතා අතින් විවෘත කෙරුණි. ජනාධිපති ජේ . ආර් ජයවර්ධන පිළිගැනීමේ ගීතය සහ නැටුම  සංවිධානය කරන ලද්දේ වෙළබඩගේ සර් විසිනි.

වෙළබඩගේ සර් සම්බන්ධයෙන් තවත් කරුණක් මගේ මතකයේ තිබේ. දොලහේ පන්තියේ සිටියදී අප නාට්‍යක් සංවිධානය කලෙමු. මේ නාටකය සඳහා යක් බෙරයක් අවශ්‍ය විය. අප එය වෙළබඩගේ සර්ගෙන් ඉල්ලා ගත්තෙමු. නාට්‍ය රඟ දැක්වීමෙන් පසුත් මේ යක් බෙරය පන්තියේ තිබූ අතර සමහර සිසුන් දේයි දේයි ගාමින් යක් බෙරයට ගැසූහ. තවත් සිසුවෙක් ලී කෙළි වලට ගන්නා ලී කොට දෙකකින් යක් බෙරයට ගසා යක් බෙරයේ එක් මුහුණතක් පැළුවේය. මේ අතර වහාම යක් බෙරය නැටුම් කාමරය වෙත ගෙන එන ලෙස වෙළබඩගේ සර්ගෙන් විධානයක් ලැබුණි. 

මේ නියෝගයෙන් ගත සීතලවූ අප බේරීම සඳහා එක්සත්ව ක්‍රියා කලෙමු. සුදු  කඩදාසියක් ගෙන යක් බෙරයේ  පැලී ගිය මුහුණත මත ඇලවූයෙමු. ඉන් පසු කළු කඩදාසියක් ගෙන එය රවුමට කපා සුදු  කඩදාසිය මධ්‍යයේ ඇලවූයෙමු. ඉන්පසු යක් බෙරය ප්‍රවේසමෙන් ගෙන නැටුම් කාමරයට ගියෙමු. 

නැටුම් කාමරයේ වෙළබඩගේ සර් සිටියේය. අපේ නඩයේ එක් කොල්ලෙක් සර් මෙන්න යක් බෙරය ගෙනාවා කියා බෙරයේ පැළුනු මුහුනත බිමට සිටිනසේ යක් බෙරය නැටුම් කාමරයේ බෙර තිබූ තැනින් තිබ්බේය . අප  වහ වහා පිටවී ගියෙමු. යක් බෙරය කොල්ලන් පලා තිබෙන බව නැටුම් සර් දැන ගත්තේ දොමි කිත කිත තා…. කියා යක් බෙරය ගැසීමට ගිය අවස්ථාවක බව අපට පසුව දැනගන්නට ලැබුණි. නමුත් යක් බෙරය පැලුවේ කව්දැයි සොයා ගැනීමට නැටුම් සර් අපොහොසත් වූයෙන් අපට හුස්ම වැටුණි. 

පසු කාලයක මම උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ සේවය කරන විට ශල්‍යකර්මයක් කර ගැනීමට වෙළබඩගේ සර් පැමිණියේය. මම සර්ව විශේසඥ ශල්‍ය වෛද්‍ය සරත් කොල්ලූරේ මහතා වෙත යොමු කිරීමට සහාය වූයෙමි. 

වෙළබඩගේ සර් අද දින අප හැර ගියද එතුමාගේ නාමය නාලන්දා ඉතිහාසයේ ගැඹුරින් සටහන් වනු නිසැකය. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress