දිගටම ගජරමෙට සිද්වන LRC ඉඩම් මංකොල්ලය – අංක 1.
Posted on September 6th, 2021

Rainforest Protectors of Sri Lanka

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සිරිමාවෝ බණ්ඩාරනායක විසින් වසර 50 කට ආසන්න කාලයකට පෙර පිහිටුවන ලද්දේ එක්තරා පැහැදිලි කාර්යක් සිදුකිරීම සඳහා පමණි. එනම්, එවක පවුල් 6000කට අයිතිව තිබු, අක්කර ලක්ෂ 15කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් පවරාගෙන රජය යටතට පත්කිරීමටය.

 කෙසේනමුත් මේ වනවිටත් LRC ආයතනයේ විශාල අකාරයේ ඉඩම් මංකොල්ලයන් ප්‍රමාණයක් අප වෙත වාර්තාවී ඇති අතර, අමාත්‍යවරුන් මුදල් ලබාගැනීම්, නිලධාරීන් අල්ලස් ගැනීම්, සහ තම හිතවතුන්ට ඉඩම් ලබාදීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත. ඉඩම් පවරාගත් පාර්ශ්වයන්ට ඉඩම් ලබාදීම පවා සම්පුර්ණ කරනොමැති පසුබිමක, (තමන්ගේ ඉඩම් ගත්තායි බොරු ලේඛන ඉදිරිපත් කර දේශපාලුවන් සහ ව්‍යාපාරිකයින් ඉඩම් සොරකම් කර ඇති බවටද අප වෙත තොරතුරු ඇත) ඉඩම් නොමැති දුප්පත් මිනිසුන්ගේ ඉඩම් අවශ්‍යතාව සඳහා ඉඩම් වෙන්කර නොමැති පසුබිමක, මෙසේ හිතෙන හිතෙන ආකාරයට ව්‍යපාරික, පෞද්ගලික ලාභ හෝ දේශපාලන අවශ්‍යතා මත ඉඩම් බැහැරකිරීම මහා අපරාධයකි.

යම් යම් පාර්ශව මෙසේ ලබාගන්නා ඉඩම් වනසා මුදල් හම්බකරගැනීමත්, එසේ නොමැතිනම් වෙනත් පාර්ශ්වවලට අධික ලාබහයකට නැවත බදුදීමත් මෙන්ම මෙවැනි ඉඩම්වල පස්කැපීම, කළුගල් කැඩීම මෙන්ම වෙනත් ඛනිජ කැනීම්ද, LRC න් ලබාදිය යුතු ඉඩම් වෙනුවට JEDB වටිනා ඉඩම් ලබාදීමට/විකිණීමට උත්සාහ කිරීම, (එසේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ කරන ලද එවන් ඉඩම් මංකොල්ලයක් සම්බන්ධව මේ වන විටත් විභාගයක් සිදුවෙමින් පවතින බවට වාර්තාවේ. ඒ සම්බන්ධව ඉදිරියේදී වෙනම ලිවීමට බලාපොරොත්තු වෙමු) යම් යම් ප්‍රදේශවල LRC ඉඩම් එහි නිලධාරීන් විසින් කූථ ලෙස විකිණීම ඇතුළු වංචා දුෂණ අක්‍රමිකතා මෙම ආයතනයෙන් විශාල ලෙස වාර්තාවේ. මේවා බහුතරයක් පසුපස සිටින්නේ චන්ද්‍රසේන ඇමතිවරයා විසින් මෙවැනි සොරකම් සඳහාම සුදුසු තමන් හොරෙකු බව හඬ පටයක් ලීක් කරගත්තා යයි කියන නිලධාරියා ඇතුළු කීප දෙනෙකි.

එතෙක් ලොකුම ගැටළු පසෙක තබා කුඩාම සහ අලුතෙන්ම වාර්තාවන ගැටළු කිහිපයකින් LRC ඉඩම් මංකොල්ලය ගැන සහ LRC වනවිනාශය ගැන පටන් ගන්නෙමි. ඉඩම් ප්‍රතිසන්කරන කොමිසම, ජනාධිපති කාර්යාලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ආයතන විශාල ප්‍රමාණයකට අප විසින් මෙම ඉඩම් අවභාවිතාවන් සහ කොල්ලයන් සම්බන්ධව එකින් ඒක පැමිණිලි ඉදිරිපත් කරන අතර එහි පළමුවැන්න මේ වන විටත් යවා අවසානය.

ඒ අනුව මෙම පළමු ඉඩම් කොල්ලය නම් රත්නපුර දිස්ත්‍රික්කයේ කො⁣ලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උල්ලිදුවාව ග්‍රාමසේවා වසමේ ඇඹිලිපිටිය ඉඩම් ප්‍රථිසංස්කරන කොමිෂන් සභා කාර්යාලයට අයත් ප්‍රදේශයේ (අධ්‍යක්ෂ රංජන් වීරසිංහ සහ ක්ෂෙත්‍ර නිලධාරී සමන්ත) යන අය විසින් අයුතු ලෙස ඉඩම් අල්ලාගැනීමට යම් යම් පාර්ශ්වයන්ට අවසර ලබාදීමයි. ගම්මුන් අප වෙත ලබාදුන් ප්‍රකාශ අනුව මෙලෙස ඉඩම් ලබාදීමේදී සන්තෝෂම් ලෙස දශ ලක්ෂ ගණනක් (ඔවුන්ට අනුව ලක්ෂ 60 ත් – 70ත් අතර මුදලක් මුදලක්) ලබාගෙන ඇති බව පවසයි. එලෙස ඉඩම් ලබාදී ඇති අයවලුන් කිහිපයකගේ නම් පහත දැක්වේ.

 01). නිහාල්.

02). සරත්.

03). සනී.

04). ඉන්දික.

05). සුනිල්.

06). එරන්ද.

ඉහත දැක්වෙන්නේ මුළු අක්‍රමවත් ඉඩම් බැහැරකළ ප්‍රමාණයෙන් සුළු පිරිසක් පමණි. මින් ඇතැමෙක් ප්‍රාදේශීය ලේකම්ට පවරන ලද සහ රක්ෂිත ලෙස නම්කිරීමට පැවරීමට ඇති ඉඩම් පවා අල්ලලාැනීමට කටයුතු කරමින් සිටී.

එසේම මෙම ප්‍රදේශය ගින් ගඟේ පෝෂකයක් වන අතර වන සංරක්ෂණයට පවරාදී වනාන්තර ලෙස පවත්වාගෙන යාම විනා වෙනත් කටයුත්තක් සිදුකළ හැකි භූමියක් නොවන්නේ මෙම බෑවුම නාය යාමේ අධි අවධානම් කලාපයක් ලෙස නම් කර අවදානම් දැන්වීම් පවා නිකුත් කර ඇති නිසාය.

එසේම, අප විසින් කළ සොයාබැලීමේදී ඇඹිලිපිටිය ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලයෙන් දැනගැනීමට ලැබුනේ ප්‍රධාන කාර්යාලයෙන් එවන ලද ලැයිස්තුවකට අනුව ඉඩම් ලබාදෙන්නේට කටයුතු කළ බවත්, එය මේ වන විට අක්කර 100 ක පමණ ප්‍රමාණයක් බවත්, තමන් මේ සම්බන්ධව තීරණ නොගත් බවත්ය. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වනවිටත් එක් එක් අය විසින් තමාගේ යයි සලකුණු කර ඇති ප්‍රදේශය අක්කර සිය ගණනක් බවයි. එසේනම්, මෙසේ ඉඩම් අවභාවිතාකර කොල්ලකෑමට හැරීමෙන් මුදල් ගරන්නෝ කවරහුද? ඉඩම් ලබාදීමට අනුගමනය කළ ක්‍රමවේද මොනවාද? ලැයිස්තු සැකසුවේ කවුරුන්ද? එසේම ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරිකයින්ට ඉඩම් ලබාදුන්නේ කෙසේද?

LRC සතුව සිංහරාජය වටා සහ අවශේෂ කලාප වන මෙම ප්‍රදේශයේ වනාන්තර සහ අධි සංවේදී ඉඩම් විශාල ප්‍රමාණයක් ඇත (හේස් වත්ත, මතුරට වැවිලි සමාගමේ සිට ඇබරෆොයිල් වතුයාය දක්වා සහ ඒවා අවට). ඊයේ පෙරේදා “ඉත්තෑකන්දේ” හිමිද LRC ඉඩමක් අලාගන්නනට කරක් ගසන ලද අතර එය ඉතා හොඳින් වැඩුණු ඝන වනාන්තර කොටසකින්ද යුතු ඉඩමක් වූ අතර ගම්මුන්ගේ විරෝධය හමුවේ LRC ය අකුලාගෙන යන ලද නමුත් එක් එක් අයගේ අවශ්‍යතාවන්ට LRC ඉඩම් වැනසීම සහ lRC වනාන්තර ඉඩම් වැනසීම දිගටම සිදුවෙයි.

කෙසේ නමුත් ඉදිරියට මේවා එකින් එක ගේන එන අතර LRC (Land RIP OFF commission) පරිපාලනය මේවාට උත්තර දිය යුතුය. රටේ සම්පත් දේශපාලන අවශ්‍යතා මත හෝ තමන්ගේ මඩිය තර කරගැනීමට දුෂිත නිලධාරීන්ට හෝ ආයතන ප්‍රධානීන්ට වැනසීමට ඉඩදීමට අයිතියක් නැත. මෙම පළමු ගැටලුව සම්බන්ධව අදාළ ආයතන ගන්නා පියවර සම්බන්ධව අප අවධානයෙන් බලාසිටින අතර, LRC ඉඩම් කොල්ලය සහ ඉඩම් අවභාවිතාව සම්බන්ධව කළ හැකි ඉහලම මැදිහත්වීම සහ ක්‍රියාමාර්ග ගැනීමටද, අප බලාපොරොත්තු වෙමු !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress