කාබනික පොහොර භාවිතය විමසා බැලීම සඳහා දුමින්ද දිසානායක මහතා අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයේ
Posted on September 13th, 2021

තිසර සමල් – අනුරාධපුර.

රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට වත්මන් රජය ගත් තීරණය සම්බන්ධයෙන් ගොවීන්ගේ පවතින මතය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයේ බඩඉරඟු ඇතුළු අතිරේක භෝග වගා කරන ගොවීන් හමුවී ඔවුන් සමඟ සාකච්ජා කර ගොවි බිම්ද නිරීක්ෂණය කරනු ලැබීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 75 000 කට ආසන්න භූමි ප්‍රමාණයක දිස්ත්‍රික්කය පුරා ගොවි ගෙවිලියන් දස දහස් ගණනක් බඩ ඉරඟු වගාව සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ ලෙස වගා කිරීම සිදු කරනු ලබයි.

මාස් කන්නයේ වැසි ජලයෙන් බහුලව බඩඉරඟු වගාව සිදු කරන අතර ඒවා මිනිස් පරිභෝජනයට, ත්‍රීපෝෂ නිෂ්පාදනය හා කුකුල් කෑම ඇතුළු සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අලෙවිය සිදු කිරීම මගින් උපයා ගන්නා මුදල එම ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. සුළු පරිමාණයෙන් සිදු කළ බඩ ඉරඟු වගාව අභාවප්‍රාප්ත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා විසින් අනුරාධපුර ප්‍රචලිත කිරීම සිදු කරනු ලැබීය.එතුමන්ගේ පුත්‍ර රත්නය වන සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඌරාකොටේ, කුට්ටිකුළම, පඩිකෙටුවැව යන ගම්මානයන්හී ගොවීන් හමුවට ගොස් රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට වත්මන් රජය ගත් තීරණය සමඟ ගොවීන්ගේ ඉදිරි වගා කටයුතු සම්බන්ධයෙන් ගොවීන්ගෙන් විමසා සිටියේය.

එහිදී ගොවීන් කියා සිටියේ කාබනික පොහොර භාවිතා කර මීට පෙර බඩඉරඟු වගා කර නොමැති බැවින්, ගොවීන් මහා පරිමාණයෙන් වගා කිරීමට බියක් දක්වන බවයි.එබැවින් පසුගිය වසර වල මෙන් විශාල බඩඉරඟු අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකි බවද ගොවීන් පැවසීය.පසුගිය කන්න වලදී මේ වන විට වගා කටයුතු සඳහා බිම් සකස් කළ නමුත් මේ වන තෙක් ගොවීන් හේන් සුද්ධ පවිත්‍ර කිරීමටවත් කටයුතු කර නොමැති බවද ගොවීන් පෙන්වා දුන්හ.

පසුගිය කන්න වලදී විශාල ලාභයක් බඩ ඉරඟු වලින් ලබා ගත් බවද ගොවීන් එහිදී පැවසීය.බඩ ඉරඟු බීජ පැකට්ටුවක් රුපියල් 8000-9000 ක් වන බවත්, එවැනි බීජ පැකට් 20-25 ක් කන්නයකට වගා කරනවාබිම් සැකසීමට ට්‍රැක්ටර් කුළියද ලබා දී බඩ ඉරඟු සිටවා පොහොර නැති වුණාම පාඩුව කවුද ගෙවන්නේ? ඒ නිසා භයට ගොවියෝ තාම වගාවට යොමු වෙලා නෑ, පාලුවට ඇරලා තියෙන්නේ හේන් ඔක්කොම.රජයෙන් දෙනවා කියන නයිට්‍රජන් දියර නොමිලේ දුන්නත්, සල්ලි වලට දුන්නත් අපිට අත්දැකීමක් නැති නිසා මහා පරිමාණයෙන් වගාවන් කරන්න භයයි.අපිට මේ කන්නයේ ආදයම් නැති වුණාම අපිට තියෙන්නේ ග්‍රාම සේවකලාට, සමෘද්ධි නිළධාරීන්ට කරදර කර කර ආධාර ඉල්ලන්න තමයි තියෙන්නේ.මේ වෙනකල් අපි ආණ්ඩුවට කරදර කලේ නෑ, දැන් අපිට ආණ්ඩුවට කරදර කන්න වෙනවා.

බර්ටි ඇමතිතුමා බඩ ඉරඟු ව්‍යාපෘතිය මේ අනුරාධපුරයට ගෙනාවේ නැත්නම් මේ ගමේ හැමතැනම තිබ්බේ මැටි ගෙවල්, බඩ ඉරඟු වැඩසටහන නිසා තමයි ගොවියෝ යම් මට්ටමකට ආවේ.අපේ ගමටම ට්‍රැක්ටර් 05-06 ක් ගෙනවා ගිය කන්නයේ.

මීට කලින් ආණ්ඩුව ඔය කියන කාබනික පොහොර ආදර්ශන හදලා ඔය කියන නයිට්‍රජන් දියර පොහොර ගහලා ආදර්ශ වගාවක් පෙන්නුවා නම් ගොවියාගේ මනස හදන්න පුළුවන්.එහෙම නැතිව දැන් එක පාරම කරන්න බෑ.තාම පිටරට තියෙන දියර පොහොර ගැන අපි කොහොමද විශ්වාස කරන්නේ.බඩ ඉරඟු ගොවිතැනින් තමා අපි ගෙයක් දොරක් හදාගන්නේ, ගෙදරට බඩු මුට්ටුවක් ගන්නේ යැයි ගොවීන් පැවසීය.

කාබනික පොහොර හොඳයි කියලා දන්නවා, මේ වැඩපිළිවෙල ආව ක්‍රමය වැරදියි, ක්ෂණික ආදායමකට තමයි ගොවියෝ හුරු වෙලා ඉන්නේ.ඔය දෙනවා කියන නයිට්‍රජන් දියර වුණත් වෙලාවට ලැබුණේ නැත්නම් අපිට වැඩක් නෑ.සහනාධාර පොහොර වුණත් අපිට හම්බුනේ කාලය පහු වෙලානේ. 

එහිදී රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාර්ථකවම බඩඉරඟු වගා කළානේ, මට තියෙන ප්‍රශ්නය ඔයගොල්ල වගේම හැමෝම බඩඉරඟු වගාව අත්හැරියොත් ගොවියන්ට ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා වගේම, බඩ ඉරඟු නිෂ්පාදනය නැති නිසා කුකුල් කෑම, ත්‍රිපෝෂ නිෂ්පාදනය වගේ රටේ ආහාර ගැටලු ඇති වෙනවා වගේම අමතර ප්‍රශ්න ඇති වෙනවා.ගොවියෝ වගා කරන මේ ප්‍රමාණයනේ රටටම කන්න දෙන්නේ.ඒ නිසා මම මේක ගොවියෝ එක්කම සාකච්ජා කරලා ගොවීන්ට තියෙන ප්‍රශ්න ටික බළධාරීන්ට දැනුම් දෙන්න තමයි මම අද ආවේ.අනුරාධපුර වගේම හැම තැනම ගොවියන්ට මේ පොහොර ගැටලුව තියෙනවානේ.දැන් රජය කියනවානේ නයිට්‍රජන් දියර පොහොර දෙනවා කියලා, අපිට වගාව පටන් ගන්න බෑද?  ඔයාලා ආණ්ඩුව මේ නයිට්‍රජන් දියර පොහොර ගෙනත් දෙනවා කියන එක විශ්වාස කරන්නේ නැද්ද? අපි ආණ්ඩුවත් එක්ක සාකච්ජා කරලා ස්ථිර තැනකට එමු.කිසිම දෙයක් නැතිව අතාරිනවාට වඩා, රජයෙන් දෙන නයිට්‍රජන් ටික භාවිතා කරලා අපි වගාව කරමු.රසායනික පොහොර නැති කරන එක හොඳ වැඩක්, අස්වැන්න අඩු නොවී යන විදිහට අපි මේ වැඩේ කරන්න ඕන.යූරියා යූරියා කියලා අපි කිව්වට ඒකේ තියෙන්නේ නයිට්‍රජන්නේ, රජය ඒ සඳහා නයිට්‍රජන් දියර පොහොර දෙනවා, අනික් අවශ්‍යය පෝෂකත් දෙනවා, කාබනික වල් නාශකත් ගෙනාවොත් අපිට වගාව කරන්න පුළුවන්නේ. යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ගොවීන් කියා සිටියේ, මේ වන විට ගොවීන් බහුතරයක් නිවෙස් වල හා ගොවි බිම් වල කාබනික පොහොර සකස් කරන බව පැවසූවද, රජයෙන් අක්කර 2 ½ කට ලබා දෙන රුපියල් 12500 ක මුදල ලබා ගැනීමට ඒවා සකස් කර ඇති බවයි.ඒවා පරික්ෂා කරලා බැලුවොත් එහෙම කොම්පෝස්ට් නෙමෙයි.

අනතුරුව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා හා ගොවීන් පිරිසක් සමඟ ගොවීන් අතැර දමා ඇති  බඩඉරඟු හේන් නිරීක්ෂණය කරනු ලැබීය.

එහිදී ගොවීන් පෙන්වා දුන්නේ පසුගිය කන්නයේ පොහොර හිඟය හේතුවෙන් වෙළඳපොලෙන් මිලදී ගෙන කාබනික පොහොර යොදා බඩඉරඟු වගාව සිදු කළ බවත්, එම වගාවන් අසාර්ථක වූ බවයි. රසායනික පොහොර යොදා සිදු කළ වගාවන් ඉතා සාර්ථකව සිදු වූ බවද ඔවුන් පෙන්වා දුන්හ.මේක ඉක්මනට විසඳා ගත්තේ නැත්නම් ගොවියෝ අසරණ වෙනවා.මම කියන්නේ මේ අභියෝග මැද්දේ කොහොම හරි වගා කරමු.මිනිස්සුන්ට දේශපාලනය කළකිරුනාම හොඳ එකාටත් තැනක් නැති වෙනවා, නරක එකාටත් තැනක් නැති වෙනවා.හැබැයි මම ආවේ දේශපාලඥයෙක් විදිහට නෙමෙයි,  අපි අනුරාධපුරයේ විදිහට මේ ගොවි ජනතාවගේ ආර්ථිකය නැති වුණොත් අපේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැති වෙනවා.ඒ නිසා මම මේකට මැදිහත් වුණේ.ස්වභාවයෙන් ඇති වෙන්න යන විනාශය මට නවත්වන්න ඕන.

ඔබතුමා විතරයි මේ අවස්ථාවේ අපි ගැන හොයා බලන්න ආවේ, ඒ නිසා ඔබතුමාට අපි ස්තූති වන්ත වෙනවා, අපි ඔබතුමා විශ්වාස කරලා වගා කටයුතු කරනවා  යැයිද ගොවීන් එහිදී  පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහසභාපති නිදහස් බඩඉරඟු ගොවි සන්සදයේ සභාපති  ඒ.ටී.එම් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු ගොවි ගෙවිලියන් පිරිසක් සහභාගී වූහ.

මාවතවැව, ඉලුප්පුකන්නිය, පුළියන්කුළම, ගැටලාව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress